පහන් කණුව ධර්ම දේශනා පස්වන වෙළුම ISBN 955-98864-0-1 කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම ප්‍රකාශනය ධර්මග්‍රන්ථ මුද්‍රණහාරය මහාභාරකාර දෙපාර්තමේන්තුව 2004 ධර්මදානයකි මුදලට විකිණීම සපුරා තහනම් වෙයි. ප්‍රථම මුද්‍රණය - 2004 අගෝස්තු පොත ලබාගත හැකි ස්ථාන පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම. රෝයල් ඉන්ස්ටිටියුට්, 191, හැව්ලොක් පාර, කොළඹ 5. ඩී.ටී. වේරගල මහතා 422, වැලිපාර, තලවතුගොඩ. අනුර රූපසිංහ මහතා 27, කොළඹ වීදිය, මහනුවර මහා භාරකාර දෙපාර්තමේන්තුව 2, බුලර්ස් පටුමග, කොළඹ 07.. මුද්‍රණය කොලිටි ප්‍රින්ටර්ස් 17/2, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ. දුරකථනය: 011-4302312 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං බුද්ධවග්ග, ධම්මපද හැම පවින් කුසල් වෙතටම සිත පිරිසිදු සස්න මෙයමැයි හැම වැළැකුම එළැඹුම කැරැම බුදුන්ගෙම පටුන හැඳින්වීම ප්‍රකාශක නිවේදනය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය අමා ගහ x 21. ‘ආරෝග්‍යපරමා ලාභා’ 22. ‘යථාපි රුචිරං පුප්ඵං’ 23. ‘අනික්කසාවො කාසාවං’ 24. ‘අසංසට්ඨං ගහට්ඨේහි’ 25. ‘දිස්වා ආදීනවං ලෝකේ’ හැඳින්වීම දහම් දන හැමදන්ම පරදයි දහම්රස හැම රසම පරදයි දම් ඇල්ම හැම ඇල්ම පරදයි නිවන් සුව හැමදුක්ම පරදයි අනුත්තර ධම්රාජයාණන් වහන්සේගේ ධම්විජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුලාවී සසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධම්විජය පරමාර්ථය විය. දුක් ගිනි වඩන දිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධම්විජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ. ධම්දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූර්ණ ජීවිත පරිවර්තනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැලසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහොතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අපූරු රසයකි. සසර වඩන ගේහසිත ඇලුම් මෙන් නොව, ලොවතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණ්හා පිපාසය සන්සිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි. ‘නිවනේ නිවීම’ පොත් පෙළෙන් අප දියත් කළ ධර්මදාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ ‘පහන් කණුව ධම් දේශනා’ පොත් පෙළ එළිදැක්වීමට හැකිවීම මහත් වාසනාවක් ලෙස සලකමු. මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින් ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධම්දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. සසරදුක් ලියලවන විවිධ විෂම දෘෂ්ටි මතවාදයන්ගෙන් ගැවසීගත් පොත් පත් සඟරා ‘සහරාවක’ අතරමං ව සිටින වත්මන් පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මහට යම් ‘තරු සලකුණක්’ හෝ ලැබෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සලකමු. ‘ආනුපුබ්බී කථා’ නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම ‘අනුපිළිවෙළ කථාවක්’ ධම්දේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සග්ග කථාව, කාමයන්ගේ ආදීනව හා නෙක්කම්මයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, මෘදු, පුබුදු, පහන්වූ සිතට චතුරාර්‍ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුද්ධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්, උපමා, නිදර්ශන, ආදියෙන් ධම් කරුණු සඳැකීන කිරීම (‘සඳැස්සේති’), සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපේති), ඒවා ප්‍රතිපත්තියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුත්තේජේති) සහ අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පහංසේති).   ධර්මපදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධර්ම අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුද්ධෝත්පාද කාලයක ලැබිය හැකි අග්ඵලය වන අර්හත් ඵලයෙන්ම දේශනාවක් කුළුගැන්වීමට උනන්දු වීමු, වෙනත් සුලභ ලෞකික පරමාර්ථ තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. ‘පහන් කණුවෙන්’ විහිදෙන මෙම ධර්මආලෝකයෙන් ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි වේවා! මෙම ‘පහන් කණුව ධම්දේශනා’ පොත් පෙළද, ‘නිවනේ නිවීම’ දෙසුම් පෙළ එළිදැක්වීම උදෙසා කොළඹ හැව්ලොක් පාරේ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ පින්වත් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද ‘ධම් ග්‍රන්ථ මුද්‍රණහාරය’ මගින් මුද්‍රණය කිරීමට මහාභාරකාර තැන්පත් යූ. මාපා මහතා තීරණය කිරීම අපට මහත් ධෛර්යයක් විය. අමිලවූ ධම්ය මිල කිරීමකින් නොපිරිහෙළා පාඨකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොළටත්, මේ සත්කාර්යයට සහාය දීමට මෙතෙක් ඉදිරිපත්වූ පරිත්‍යාගශීලී හැම පින්වතුන්ටත්, පටිගත කළ ‘පහන් කණුව’ දෙසුම් පිටපත් කරදීමේ කාර්යට සහාය වූ පින්වත් ඒ.එස්.වයි. අබේවර්ධන මහතාට සහ අනුලා හේනගොඩ, එම්. නාගහවත්ත, ජයන්ති රණවීර යන මහත්මීන්වත්, දෙන දේ පිරිසිදුව දීමට ශෝභන ලෙස මුද්‍රණ කටයුතු නිම කරන, සීමාසහිත කරුණාරත්න සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක මහතුන්ට හා කාර්ය මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධම්දානමය කුශලය පරම ශාන්ත නිර්වාණාවබෝධය පිණිසම හේතුවාසනා වේවායි පතමු. ‘චිරං තිට‍්ඨතු ලෝකස‍්මිං - සම‍්මාසම‍්බුද‍්ධ සාසනං’ මෙයට, සසුන් ලැදි, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර දේවාලේගම (2542) 1999 පෙබරවාරි 12 ප්‍රකාශක නිවේදනය අති පූජ්‍ය ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ “නිවනෙ නිවීම” දේශන මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බැතිමත් බෞද්ධ සැදැහැවතුන් අතට පත්කිරීමේ මූලික අදහස අප තුළ ඇතිවීමුත්, එම මුද්‍රණය සඳහා වැයවන මුදල් උපයා ගැනීම ප්‍රශ්නයක් විය. මෙය විසඳීම පිණිස, අප කිහිපදෙනෙක් යෝජනා කොට සිටියේ ඒ සඳහා වැයවන මුද්‍රණ වියදම පමණක් අයකර ගැනීම පිණිස පොතක් සඳහා කිසියම් අනුපාතික විකුණුම් මිළක් නියම කිරීමයි. අපගේ මෙම යෝජනාව ගරු ඤාණානන්ද ස්වාමීන්වහන්සේ එකහෙළා ප්‍රතික්ෂේප කළහ. “ධර්මය මිල කරන්න බැහැ. එය අවශ්‍ය අයහට නොමිලයේ ලබාගැනීමට හැකි විය යුතුයි….” යනුවෙන් උන්වහන්සේ මෙම වටිනා දහම් පොත “විකිණීම” කෙරෙහි අප අගෞරවත් කළහ. එබැවින්, උන්වහන්සේ අදහස් කළ පරිදි “නිවනෙ නිවීම” දේශනා මාලාව මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමේ ක්‍රියා පිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ‘ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය’ නමින් අරමුදලක් ආරම්භ කරනු ලැබීය. “නිවනෙ නිවීම” පළමුවන වෙළුම සඳහා මුද්‍රණ වියදම තනිවම ඒ මහතා විසින් දරණ ලදී. එතැන් පටන්, මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා ඇති 2, 3, 4, 5, 6, 7 කාණ්ඩ මුද්‍රණය කිරීම සඳහා බලාපොරොත්තුවූවාටත් වඩා ලත් අනුග්‍රහය ධර්ම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය. එසේ ආරම්භ කරන ලද “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ හාර අරමුදල” මගින්ම “පහන් කණුව ධර්ම දේශනා” මාලාව ද මුද්‍රණය කොට නොමිලයේ බෙදා දෙමින් සිදු කෙරෙන ශාසනික මෙහෙවරට අපහට නිල වශයෙන් හෝ දායකවීමට හැකිවීම ඉමහත් කුසලයකි. මෙම උතුම් ධර්මදාන ක්‍රියාවලියට දායකවීමට කැමති භවතුන්හට තම පුණ්‍යාධාර “ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන” නමින් චෙක්පත් හෝ මුදල් ඇණවුම් (මුදල් ඇණවුම් නම් ටෝරින්ටන් චතුරශ්‍ර උපතැපැල් කාර්යාලයෙන් මාරුකරගත හැකි පරිදි) මගින් ධර්ම ග්‍රන්ථ මුද්‍රණ හාර අරමුදලට බැර කිරීම පිණිස පහත සඳහන් ලිපිනයට එවිය හැකි බැව් කරුණාවෙන් දන්වා සිටිනු කැමැත්තෙමි. *ජී.ටී. බණ්ඩාර, ස්ථාපක, ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය රෝයල් ඉන්ස්ටිටියුවී, 191, හැව්ලොක් පාර, කොළඹ 5. යූ.මාපා ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන මහා භාරකාර දෙපාර්තමේන්තුව තැ.පෙ. 548, 2, බුලර්ස් පටුමග. කොළඹ 07. 1999 පෙබරවාරි 12 ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළ කරනු ලබන ‘නිවනෙ නිවීම’ පොත් පෙළෙහි සයවැනි වෙළුම දක්වා මුද්‍රණය කිරීම් සම්බන්ධීකරණය මෑතක් වනතුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාභාරකාර තනතුර දැරූ යූ. මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ධර්ම කරුණු සහිත එම වටිනා දහම් පොත් පෙළ එළි දැක්වීමට හැකිවූයේ ඒ මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය. මෙම පොත් පෙළෙහි හත්වැනි වෙළුම මුද්‍රණයට සකස් වෙමින් තිබෙන අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ලෙස මියන්මාර් (බුරුමයේ) දේශයට යෑමට සිදුවිය. ථේරවාදී බුදු දහම නිර්මලව පවතින එවැනි දේශයකට පත් වී යෑම හුදෙක් ඒ මහතාගේ ශාසනික සේවයේ තවත් පියවරක් ලෙස දකිමු. මාපා මහතා විසින් එසේ නික්ම යාමට පෙර, “නිවනෙ නිවීම” සෙසු කාණ්ඩ මුද්‍රණය කිරීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම පිණිස, අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේලේ මෙම දේශනවල අගය දන්නා අප කීපදෙනෙක් මහාභාරකාර කාර්යාලය වෙත කැඳවා, ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් සකස් කරන ලදී. එම ක්‍රියා පිළිවෙල අනුව “නිවනෙ නිවීම” දේශනා මාලාව සහ ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළකරනු ලබන “පහන් කණුව ධර්ම දේශනා” ග්‍රන්ථ එපරිද්දෙන්ම ඉදිරියේදී පළකෙරෙනු ඇත. මෙම උතුම් ශාසනික සේවය ඉටු කිරීමට මාහට එම භාරයේ ස්ථාපක වශයෙන් මෙතැන් සිට වගකීම පැවරී තිබේ. එම මහඟු කාර්යය ඉෂ්ට කරගැනීම පිණිස ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම බැතිමත් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙමු. මෙම ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන නමින් පහත සඳහන් ලිපිනයට එවිය හැක. තවද ආධාර දෙන පින්වතුන්ගේ පහසුව තකා දැන් නුගේගොඩ සම්පත් බැංකු ශාඛාවෙහි “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් ගිණුම් අංක 000360001415 දරණ ජංගම ගිණුමක් විවෘත කර ඇති බව සලකන්න. ජී.ටී. බණ්ඩාර, ස්ථාපක, ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය 1999 ඔක්තෝබර් 25 වැනි දින. රෝයල් ඉන්ස්ටිටියුවී, 191, හැව්ලොක් පාර, කොළඹ 5. අමා ගහ මහවැලි ගඟ උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති ප්‍රදේශවල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුණු ගොයම් සරුව නිල්වන්ව කරලිත් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන ප්‍රදේශ වැසියෝ තුටු කඳුළු වගුළහ. දහම් අමා ගඟ “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලෞකික - ලෝකෝත්තර මල් පල නෙළා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ. “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් දියත් කළ මෙම ධර්මදාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධර්මදාන සංකල්පය පමණි. අමාගඟ “උතුරට” හැරවූවෝ සසුන් ගුණ හඳුනන පරිත්‍යාගශීලී සැදැහැවත්හුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එළි දැක්වීමෙන් නොනැවතී “පහන් කණුව ධර්මදේශනා” පොත් පෙළෙහි “බර පැන” දැරීමටත්, දෙස් - විදෙස්වල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එළි දැක්වීමටත් ඔවුහු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවම දීමේ” අදහසින් අමිල වූ දහම් ඊට නිසි ශෝභන මුද්‍රණයකින්ම ධර්මකාමීන අතට පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමඟම “නැවත මුද්‍රණ” පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යාම නොවීමට දැඩි අදිටනකින් ඇප කැපවුහ. ”පොත් අලෙවිය” පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංච්වලින් තොරව, තමන් අතට නොමියේම පත් කැරෙන ”දහම් පඩුර” තුළින් ධර්මදාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්හු තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අන් දහම් ලැදියනටද දී ධර්ම දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් ”ධර්ම ග්‍රන්ථ මුද්‍රණාලයට” උරදීමටද ඉදිරිපන්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ. සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමා ගඟ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි. “සබ්බදානං ධම්මදානං ජිනාති” මෙයට, සසුන් ලැදි කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම 2000 ජූනි 05 (2544 පොසොන්) 21 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආරෝග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං විස්සාසපරමා ඤාති - නිබ්බානපරමං සුඛං සැදැහැවත් පින්වතුනි, සැප, සහනය, සැනසීම ලඟාකර ගැනීමටයි හැම කෙනෙක්ම මුළු ජීවිතය පුරාම වෙහෙසෙන්නෙ. නමුත් ඒ ගන්න උත්සාහය තුළින් දුක අසහනය, වැනසීම ලඟාකර ගන්නවා නිතර දකින්න ලැබෙනවා. වැරදි මූලධර්ම, වැරදි ක්‍රියා මාර්ග, අනුගමනය කිරීම නිසයි ඒ විදියේ තත්ත්වයක් ඇතිවෙන්නෙ. බුදුපියාණන් වහන්සේ මතුකර දෙන වටිනාකම් හරියාකාරව තේරුම් ගත්තොත් කෙනෙකුට පුළුවන් වෙනවා සැප සහනය සැනසීම ලඟාකර ගන්න. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථා ධර්මයේ සඳහන් වෙන්නෙත් ඒ විදියේ වටිනාකම් හතරක්. මේ ගාථාව දේශනා කරන්ට යෙදුනෙ පසේනදි කොසොල් රජතුමාටයි. මේ කොසොල් රජ්ජුරුවන්ට පුරුදු වෙලා තිබුණා දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්න. ද්‍රෝණයක් කියල කියන්නෙ ඒ කාලේ තිබුණු ලොකු ධාන්‍ය මිම්මක්. ද්‍රෝණයක්පමණ හාල්වල බත් අනුභව කරනවා කියල දක්වලා තියෙනවා එක වේලකට. එක දවසක්දා උදෑසන ඒ වගේ හුඟක් ආහාර අරගෙන ඇවිල්ලා බුදුපියාණන් වහන්සේ ළහට කෙළින් හරියට ඉඳ ගන්නවත් බැරුව ඒ අතට මේ අතට පෙරළෙමින්, බත් මතේ නිදිකිරා වැටෙමින් ඉන්නකොට බුදුපියාණන් වහන්සේ අහනවා, ඇයි මහරජ? ටිකක් විවේක අරගෙන නෙවෙයිද ආවෙ? කියල. එතකොට කියනවා, ස්වාමීනි මම මේ ආහාර ගත්තු හැටියෙයි ආවෙ. ආහාර ගත්තු වේලාවේ ඉඳලා බොහොම ඇඟට අමාරුයි කියල. එතකොට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, එසේය මහරජ ප්‍රමණට වඩා ආහාර ගැනීම තුළින් ඔය විදියට දුක ඇති වෙනවා කියලා රජුට ටිකක් උපහාසාත්මක අවවාදයක් වශයෙන් එක්තරා ගාථා ධර්මයක් වදාළා. මිද්ධී යදා හෝති මහග්ඝසෝ ච - නිද්දායිතා සම්පරිවත්තසායී මහාවරාහෝව නිවාප පුට්ඨෝ - පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ ඒ ගාථාවේ තේරුම - හුඟක් ආහාර අරගෙන නිදිමතේ ඒ අත මේ අත පෙරළෙමින් නිදාගන්නා මෝඩ පුද්ගලයා හරියට, මරන්න නොයෙකුත් ආහාර දීලා තරකරපු ඌරකු වගේ නැවත නැවතත් මව්කුසකට පැමිණෙනවා. කියලා ඒ විදියෙ ගාථාවක් බුදු පියාණන් වහන්සේ වදාරලා ඊළඟට තව දුරටත් ප්‍රකාශ කළා “මහරජ, ආහාරය කියන එක, ප්‍රමාණ දැන අනුභව කළයුතු දෙයක්. ප්‍රමණ දැන අනුභව කළාම තමයි ඇඟට සනීපයක් දැනෙන්නෙ” කියලා ඔන්න මේ අවවාදය මතක තියාගන්න කියලා තවත් ගාථාවක් වදාළා. මනුජස්ස සදා සතීමතො - මත්තං ජානතො ලද්ධභොජනෙ තනුකස්ස භවන්ති වේදනා - සණිකං ජීරති ආයුපාලයං ඒ ගාථාවෙ තේරුම - හැම කල්හිම සිහි ඇතිව සිටින, ලැබුණු ආහාරයෙහි පමණ දන්නා වූ මනුෂ්‍යයාට වේදනාවල් අඩුවෙනවය - ඒ මනුෂ්‍යයාගේ වේදනා අඩුවෙනවය - ඒ වගේම ආයුෂය පාලනය කරගනිමින්, හෙමින් ජරාවට, මහලු වයසට, පත්වෙනවය කියල ආනිසංසයක් ප්‍රකාශ කළා, අර ආහාර අඩුවෙන් ගැනීමේ. මේ ගාථාව ප්‍රකාශ කළාට මොකද රජතුමාට මේක කටපාඩම් කරගන්න බැරි උනා. ඒ තරමට නිදිමතයි. ඉතින් රජ්ජුරුවෝ ඊළඟට කියනවා තමන් එක්ක ආ ඒ සුදස්සන කියන තමන්ගේ බෑණා වන තරුණයාට “මං වෙනුවෙන් මේක කටපාඩම් කරගන්න” කියලා. සුදස්සන මාණවකයා මේ ගාථාව කටපාඩම් කරගෙන බුදුපියාණන් වහන්සේගෙන් අසුවා “මොකක්ද භාග්‍යවතුන් වහන්ස මේ ගාථාවෙන් කරන්නෙ?” කියල. භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දෙනවා මේ රජ්ජුරුවෝ ආහාර ගන්න වේලාවට පැත්තකින් ඉඳගෙන හරියට අන්තිම බත් පිඩ කට ළහට එනකොට මේ ගාථාව කියන්නය, එතකොට රජ්ජුරුවො ගාථාවේ අර්ථය සළකල ඒ බත් පිඬ පැත්තකට කරාවිය, ඒ බත් පිඬේ තියෙන බත් ඇට ගණනට හාල් අඩු කරලා ඊළහ දවසේ සුදානම් කරලා තියන්න. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් රජුට ආහාර අඩුකරන පිළිවෙත පුරුදු කරන්නය. ඉතින් ඒ විදියටම අර සුදස්සන මාණවකයා ක්‍රියා කළා. රජ්ජුරුවො වෙන එකක් තබා ඒ ගාථාව කියන කොට දාහක් තෑගි දුන්නා අර සුදස්සන මාණවකයට. ඔය විදියට කීප දවසක් කරගෙන යනකොට රජ්ජුරුවන්ට නැළියක් පමණ ආහාරයකින් යැපෙන්න පුළුවන් තත්ත්වයක් පැමිණියා. ඒ එක්කම ඒකේ ආනිසංස හැටියට රජ්ජුරුවන්ට ලොකු කායික පහසුකමක්, සැහැල්ලු බවක්, ශක්තියක්, වීර්යයක්, ඇති උනා. ඉතින් ඒ විදියට ඒකෙ ආනිසංස දැකලා එක දවසක්දා රජ්ජුරුවො බොහොම සතුටෙන් ඇවිල්ලා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්ස දැන් මට මුවෙක් පස්සෙ, අශ්වයෙක් පස්සෙ, ඵලවල අල්ලගන්න පුළුවන් තරමට ඇඟට ශක්තිය තියෙනවා. ඇඟ දැන් බොහොම සැහැල්ලුයි අර ඉස්සර තිබුණු තරබාරු ගතිය නෑ. බොහොම සනීපයි. මේක මට බොහොම සැපයට හේතුවුණු දෙයක් කියල, තවත් සැපයකට හේතුවුණු කාරණා කීපයක් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. පහුගිය දවස්වල මට මගේ බෑනණුවන් වන අජාසත් රජු එක්ක සටන් තිබුණා. දැන් ඒ සටන් මං සන්සිඳුවාගෙන තියෙන්නෙ, මගේ දියණිය වන වජිරා කුමාරිය ඒ රජුට පාවාදීලා ඒ වගේම ඒ සටනට හේතුවුණු - කාසි කියන ගමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය උඩයි ඒ සටන ඇති වුණේ. - ඒ කාසි කියන ගමත් ඒ දියණියට නානහුණු - නෑමේදී පාවිච්චි කරන හුණුවලට ගාස්තු, ඒ කියන්නෙ දායාදයක් හැටියට හරියට සබන් වියදම කියල කියන්න පුළුවන් මේ කාලේ හැටියට කියනව නම් - ඒක රජවරුන්ගෙත් එක්තරා මෝස්තරයක්. ඒ දියණියට දායාද කරලා ඒ ගමත් හාර දුන්නය, දැන් ඒක නිසා සටන් නැතිවීම නිසා මට ඒකත් ලොකු සතුටක්ය, කියලා. තවත් සතුටට හේතුවක් කියනවා. පහුගිය දවසේ මේ රජ ගෙදර තිබුණු අපේ මේ කුලසන්තක මැණිකක් නැති වෙලා සොයාගන්න බැරිව තිබුණ. ඒකත් හදිසියේම හමුඋනා. ඒකත් මට සැපයට කාරණයක්. ඊළඟට හතරවෙනුව දක්වනවා තවත් කාරණයක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මා වඩාත් විශ්වාසවන්ත වෙන්න, ප්‍රියමනාප වෙන්න කාරණයක් හැටියට සළකලා භාග්‍යවතුන් වහන්සේගේ ඥාති දියණියක් - මේ කියන්නෙ ශාක්‍යකුලයේ ‘වාසභඛත්තියා’ කියන ඒ කුමාරි ගැනයි. - ඒ ඥාති දියණියක් මම සරණපාවා ගත්තාය. ඉතින් මේ විදියට කාරණා කීපෙකින් මට දැන් බොහොම සැපයක් සතුටක් ඇතිවෙලා තියෙනවා කියලා ප්‍රකාශ කළාම බුදුපියාණන් වහන්සේ අන්න ඒකට අදාළව තමයි මේ ගාථාව වදාළේ. එසේය මහරජ ලාභයන් අතුරෙන් නිරෝගී බව තමයි ලොකුම ලාභය. ධනයන් අතර ලදදෙයින් සතුටුවීම තමයි ලොකුම ධනය, පරමධනය. ඥාතීන් අතුරෙන් නෑයන් ගැන සළකල බලනකොට විශ්වාසය කියන කාරණය තමයි උතුම්ම නෑයා. ඊළඟට සැපත හැටියට සළකලා බලන කොට පරම සැපත නිවනය කියල ඒ අදහස දෙමින් මේ ගාථාව වදාළා. අපි කලින් සඳහන් කළ ගාථාව. ආරෝග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං විස්සාස පරමා ඤාතී - නිබ්බාන පරමං සුඛං ඉතින් මෙන්න මේ ගාථාවත් ඒ වගේම මේකෙ තියෙන කථාන්තරයත් අපට බොහොම ආදර්ශවත්. පළමුවෙනි කාරණය අපට පැහැදිලිව පේනවා. නිරෝගිබව කියල ප්‍රකාශ කෙළේ රජතුමා හා සම්බන්ධ කාරණයයි. ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එතෙන්දී අපි කල්පනා කරලා බලනවා නම් බුදුපියාණන් වහන්සේ ඒ රජතුමාගේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නය තුළින් කොයිතරම් වටිනා ධර්මයක් මතු කළාද කියලා, පළමුවෙන්ම අර වෙන එකක් තබා දුන් උපමාව පවා - අර ගාථාවේ ඌරෙකුගෙ උපමාව දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ බය නෑ රජතුමාට වුනත් උපහාසාත්මකව යමක් කියන්න. ඒ තරමටම රජතුමාත් බුදුපියාණන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇතිව හිටි කෙනෙක්. ඉතින් මේ ඌරා කියන සතා මේ පින්වතුන් කවුරුත් දන්නවා ආහාර ගැනීමට සකස් වුණු කටක් ඇතිව, විශාල කටක් ඇතිව, විශාල බඩක් ඇතිව ඉන්න සතෙක්. බිම ගෑවෙන බඩක් ඇතිව. ඉතින් ගෙදරවල් වල, ඒ ගෙදරවල්වල පිටිපස්සෙ තියෙන නොයෙකුත් අපවිත්‍ර දේවල් කවන්නෙ ඌරට තියෙන ආදරෙට නෙවෙයි. කිරිගන්න නෙවෙයි. මේ පින්වතුන් හොඳට දන්නවා. ඉතින් අන්තිමට ඒ තරවෙන ප්‍රමාණයටම, තරමටම නමයි මරණයත් ඉක්මන් වෙන්නෙ. ඒක හොඳ උපමාවක්. මේ රජුට මතක තියා ගන්න. අන්න එතකොට ඒ විදියට ප්‍රමාණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලය මෙතන අපට ධර්මානුකූලව හිතනව නම් අර නිදිමත අලස බව අකර්මණ්‍ය බව ආදිය නිසා ධර්මයට නැඹුරු වීම අඩුවෙනවා. ඒක නිසා තව තවත් සංසාරය දිග් ගැස්සෙනවා. ඒ කියන්නෙ මාරයාට ගොදුරු වෙනවා නැවත නැවත මරණයට පත් වෙනවා. අර විදියට අධික ආහාර සේවනය කිරීමෙන්. ඉතින් ඔය විදියට ඒ උපමාව වගේම ඊළඟට බුදුපියාණන් වහන්සේ රජතුමාට දුන්න උපාය මාර්ගය, අර ආහාර අඩු කිරීමේ උපාය මාර්ගය, පුදුම විදියේ ප්‍රායෝගික වටිනාකමක් ඇති දෙයක්. මොකද්ද පමණ දැන ආහාර ගැනීම කියන ඒ ප්‍රතිපත්තිය. ඒ පමණ කාගේද? අනුභව කරන කෙනාගේ. එතකොට අනුභවකරන කෙනාමයි දන්නෙ තමන්ට පමණ. ඒක මැනල කියන්න බෑ වෙන කෙනෙකුට. අන්න එතකොට ඒකට ගැලපෙන ආකාරයට එතන රජ්ජුරුවන්ට අර ප්‍රත්‍යවේක්ෂාවක් වගේ ගාථාවක් ඊළඟට වදාළේ. ඒකේ අදහසත් අපි කලින්ම කියලා තියෙනවා. අඩුවෙන් ආහාර ගැනීමේ ආනිසංස පක්ෂය අර සුදස්සන මාණවකයා ඒ ගාථාව කියන කොට රජතුමාට මතක් වෙනවා. වේදනාවල් අඩු වෙනවා ආහාර අඩුවෙන් ගන්න කොට කියල. අන්තිම බත් පිඬ හරියට යන කොට ඔන්න ඒක අත්හරිනවා. ඒ විදියට අත හැරීමෙන් ගිහිල්ලා තමයි ක්‍රම ක්‍රමයෙන් තමන්ට යැපෙන ප්‍රමාණය හරියට තේරුම් ගත්තෙ. අර ද්‍රෝණයක් කියන විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කළ රජතුමාට ඊළඟට නැළියකින් සෑහීමකට පත් වෙන්න පුළුවන් උනා. ඉතින් එතනත් ඒ බුදුපියාණන් වහන්සේගෙ පුදුම පුරිසදම්ම සාරථි ගුණය ඒ තුළින් අපට පේනවා. කෙනෙක් හික්මවා ගන්න ගැලපෙන ආකාරයට උපාය මාර්ගයක් එතන දැක්වුවා. ඊළඟට අපි පොදුවේ කල්පනා කරලා බලනකොට මෙන්න මේ දුර්වලතාව ආහාරය පිළිබඳව - ගිහි පින්වතුන්ටත් මේක මේ ආහාර වැඩියෙන් ගැනීමේ අභියෝගය ඉදිරිපත් වෙනවා. ඔය හෝජන සංග්‍රහ ආදියේදී, ඒවා බොහෝ විට ඔය ආටෝප සාටෝප විසිතුරු තත්ත්වය ප්‍රකාශ කිරීම් වශයෙන් ආහාර මේසයෙන් තමන්ගේ වත්කම පෙන්නුම් කරන, ඒ විදියේ දේවල් වලට නැඹුරුවන යුගයක ආහාරයත් පරිස්සම් විය යුතු එකක් බව අපට පෙන්නුම් කරනවා. ගිහි පින්වතුන්ට වගේම සංඝයා වහන්සේලාටත් ඔය සාංඝික දාන ආදියේදී පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා ඔය කියාපු කාරණයෙන්. මොකද, පමණට ආහාර නොගත්තොත් වෙන්නෙ නොයෙකුත් විදියේ රෝග පීඩා ඇතිවෙනවා පමණක් නෙවෙයි ශරීරය අකර්මණ්‍ය වෙනවා. නිදිමත අලස ගතිය ඇතිවෙනවා. ඒ නිසා ආදීනව රාශියක් ඇතිවෙනවා. ඉක්මණින් දිරනවා. සණිකං ජීරති ආයු පාලයං” හෙමින් දිරීමට පත්වෙනවා ඒ ආහාර අඩුකරාම කියල කියන්නෙ මොකද, නොපැසුණු ආහාර නිසයි බොහෝ විට ජරාව ඉක්මන් වෙන්නෙ. මහලු වයස ඉක්මන් වෙන්නෙ. ලෙඩ රෝග බහුල වෙන්නෙ. ඉතින් මෙන්න මේ කාරණයත් අපට සිහිපත් කරගන්න වටිනවා. මේක අන්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙනවා ආහාරය පිළිබඳ වැදගත් ප්‍රතිපත්ති දෙකක්. ‘හිතභුක්, මිතභුක්’ කියලා. හිතභුක් කියන්නෙ පින්වතුනි, පථ්‍ය ආහාර ගැනීම. ගුණ ආහාර, තමන්ගේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හිතභුක් ප්‍රතිපත්තිය. ඊළඟට මිතභුක් කියන්නෙ ඒ ආහාරයේ පමණ දැන ගැනීම. ඒක දැන් ශාසනික වචනවලින් කියනවා නම් මේ හිතභුක් ප්‍රතිපත්තියම තමයි සප්පාය අසප්පාය කියන වචන වලින් දක්වන්නෙ. “සප්පායසේවී” කියන්නෙ අන්න අර පථ්‍ය ආහාර ගැනීම. ගුණ ආහාර ගැනීම. ඒ ප්‍රතිපත්තියයි. අගුණ දේ අතහැරලා තමන්ට සප්පාය දේ තමන් දැනගෙන, අසප්පාය දේ ඉවත් කරල සප්පාය දේ ගන්නවා. එතකොට අර මිතභුක් කියන එකට ගැලපෙනවා ‘භෝජනෙ මත්තඤ්ඤුතා’ කියල සංඝයා වහන්සේලාට - විශේෂයෙන්ම යෝගාවචරයින්ට - සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි යෝගාවචර පින්වතුන්ට බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රමාණ දැන ආහාර ගන්නෙයි කියලා. ඒක තුළින් තමයි තමන්ට බණ භාවනා සාර්ථකව කරගන්ට පුළුවන් වෙන්නෙ. අර කියාපු නිදිමත අලස ගති ඉවත් කරලා ශරීරය සිත කර්මණ්‍ය කරල, අවදිමත් කරල, තබාගන්ට උපකාර වෙනවා, රස තෘෂ්ණාවට යට නොවීම. සංඝයා වහන්සේලාට නම් ඒ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය වඩාත් දැඩියි. ඒක නමයි ඔය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියල කියන්නෙ. පැරණි වචනයක් ඔය පස්විකා වළඳනවා කියල සංඝයා වහන්සේලා පිළිබඳව දැක්විලා තියෙන්නෙ. දැන් මේ කාලේ කියැවෙන අර්ථය නෙවෙයි. පස්විකා වළඳනව කියන්නෙ ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සළකල ා බලලා වළඳනවාට. ආහාර අනුභව කරන්න බුදුපියාණන් වහන්සේ විශේෂ පාඨයක් පවා සංඝයා වහන්සේලාටත් - දැන් අර කොසොල් රජ්ජුරුවන්ට අර විදියේ විශේෂ ගාථාවක් දුන්නා වගේ - සංඝයා වහන්සේලාටත් විශේෂ පාඨයක් දක්වලා තිබෙනවා. මතක් කරලා දෙනවා, ගිහියන් වගේ ශරීර ශක්තියට, ශරීරය ශෝභමාන කරගන්න නෙවෙයි මේ ආහාර ටික ගන්නෙ. හුදෙක් - හුදෙක් කියන වචනය විශේෂයෙන්ම යොදනවා - මේ, කය, ශරීරය පවත්වා ගැනීම සඳහා, මේ උතුම් බ්‍රහ්මචාරී ජීවිතය ගෙනයාම සඳහා. ඊළඟට බඩගිනි වේදනාව යටපත් කරල, වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන වේදනාව ඉවත් කරලා, යහතින් මේ බණ භාවනා කර ගැනීම සඳහායි කියල ඒ විදියට තව නොයෙකුත් ආකාරයෙන් ඒකත් භාවනාවකට හරවගෙන ආහාර අනුභව කරන්න කියල බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරලා තිබෙනවා. එතකොට ආහාර පිළිබඳ මේ ප්‍රතිපත්තිය තුළින් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා හැම කෙනෙකුටම අර කියාපු නිරෝගී බව, ආරෝග්‍ය සම්පත්තිය, ලභා කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ආරෝග්‍යය උතුම් ලාභය කියල දැක්වුවේ මොකද, අනික් කොයිතරම් ලාභ තිබුණත්, කොයිතරම් තමන්ට ධන ධාන්‍යාදී ලාභ තිබුණත්, තමන් රෝගියෙක් නම් ඒවා විඳින්න බෑ. ඇතැම් ඔය මහා කෝටිපතියන් ගැන සඳහන් වෙනවා, මේ ලෝකයේ හිටපු ඇතැම් කෝටිපතියන් ගැන. සමහර විට ඔවුන්ට එක පාන් පෙත්තෙන් යැපෙන විදියට ආහාර වේල ගන්න බැරී තත්ත්වයක් තිබුණා. කර්මරෝග නිසා සමහර විට. දැන් මේ කාලයෙත් ඔය නාගරික ජීවිත ගතකරන පින්වතුන් ඇතැම් විට අර කියාපු අතීතකර්ම නෙවෙයි මේ කාලේ කරගත්තු කර්ම, හෝජන සංග්‍රහවල නුසුදුසු ආකාරයට කොසොල් රජතුමා මුල් කාලයේ ආහාර ගත්තා වගේ අරගෙන අන්තිම කාලේ පාන් පෙත්තකින්, සමහර විට පරළු පාන් පෙත්තකින්, යැපෙන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වයකට පත්වෙනවා. අන්න ඒක තමන්ගේ රෝගී බවට හේතු වෙනවා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා වැඩිපුර ආහාර ගැනීමෙන් නොයෙකුත් ලෙඩරෝග ඇති වෙනවා කියල. ඉතින් මේ පණිවිඩය ඉතාමත් වටින පණිවිඩයක් ලෝකයට. සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගතකරන එදිනෙදා කටයුතු කරන පින්වතුන්ට පමණක් නෙවෙයි බණ භාවනා කරන, නිවන් සඳහා කටයුතු කරන, හැම කෙනෙකුටම ඒ ප්‍රතිපත්තිය කැඩුවොත් වෙන්නෙ අර ඌරට වුණු දේ වගේ දෙයක්මයි. බාහිරව බලනකොට තරබාරු උනාට ඉක්මණින්ම මරණයට පත්වෙනවා පමණක් නෙවෙයි සංසාරයෙන් දිගට මරණ රාශියක් ලබාගන්න හේතු වෙනවා, අර ආහාරයට රසයට ගිජුවීම නිසා. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට නම් මහ පුදුම විදියේ උපමාවලින් දක්වලා තියෙන්නෙ, මේ ආහාරය පිළිබඳ ප්‍රතිපත්තිය. හරියට රෝගයකට බෙහෙතක් හැටියට ආහාර ගන්න කියලා. මොකක්ද රෝගය, මේ කුසගින්න නමැති කාටත් තියෙන ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩෙට මේක බෙහෙතක් හැටියට සළකල ා ගන්නය කියලා. විනෝදවෙන විදියට නෙවෙයි, සමහර විට සංවේගය ඇතිවන විදියට ආහාරය පිළිබඳව බුදුපියාණන් වහන්සේ යෝගාවචරයින්ට ප්‍රකාශ කරලා තියෙනවා ඒකම නිවනට උපකාරවන ආකාරයට. ඊළඟට තවත් උපමාවක් දෙනවා ගමන් කරන රථයක කඩ ඇණය ක්‍රියාත්මක වෙන්න තෙල් යොදෙනව. අන්න ඒ වගේ කියල හිතාගන්න. මේ ශරීරය හතර ඉරියව්වේ පැවැත්වීම තමයි මේ ශරීරය ගමන් කරවීම. මේකට උපකාරවන තෙල්වගේ තමයි, අර ලිහිසිතෙල වගේ තමයි, මේ ආහාරය. අන්න එහෙම හිතන්න කියලත් කියනවා. තවත් ඊටත් වඩා සංවේගජනක උපමා දක්වලා තිබෙනවා. මේ පින්වතුන්ට බයත් හිතෙන්න පුළුවන්, ඒවා අහනකොට, මේ සංසාර කාන්තාරයෙන් එතෙරවෙන්න තමන්ට නොගෙන බැරි නිසා ගන්න ආහාරය අමුතු විදියෙ ආහාරයක් එතන බුදුපියාණන් වහන්සේ උපමාකථාවකින් දක්වනවා. කාන්තාරයකින් එහාට යන්න තමන්ගෙ එකම දරුවාත් එක්ක පිටත්වුණු මව්පියන්ට මඟදි ආහාර නිමවුණු නිසා වෙන කරන්න දෙයක් නෑ. අර දරුවා මරාගෙන කෑවාය, කොයි ආකාරයෙන් මැරුණා හෝ ඒක පිළිබඳව ඇතැම් කෙනෙක් නොයෙකුත් විදියට දක්වනවා. අපි හිතාගනිමු ඒ මැරුව හෝ මැරෙන්න සැලැස්සුව හෝ ඒ වෙනදේකට නෙවෙයි තමන්ගෙ ජීවිතය පවත්වා ගැනීම සඳහා. එතකොට ඒ ආහාරය ගන්නෙ, ඒ දරුවගේ මස් ආහාරයට ගන්නෙ, විනෝදවෙමින් නෙවෙයි. පපුවටත් අත් ගස ගසා ‘අනෙ අපේ එකම දරුවා’ කිය කියා. අර කාන්තාරයෙන් එතෙර වීම සඳහා. ඒ වගේ සංවේග ජනක ආකාරයට ආහාරය දිහා බලන්න ඒ වගේ දෘෂ්ටි කෝණයක් පවා බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළා ආහාරය පිළිබඳව. ඒක නිවනටම උපකාරවන ආකාරයට. ඔය විදියෙ නොයෙකුත් උපමාවලින් බුදුපියාණන් වහන්සේ දැක්වූවෙ මේ ආහාරය ඇත්ත වශයෙන්ම ජීවිතය පැවැත්ම සඳහා අවශ්‍යයි. අර නිගණ්ඨයයින් වගේ නොකා නොබී ඉන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාවකට අනුව තමන්ගේ බණ භාවනා කටයුතු සඳහා, මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා, නිවන් දැකීම සඳහා, උපකාර කරගතයුතු දෙයක්. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේ ආහාරය පිළිබඳව අර කියාපු මිතභුක් ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් තමන්ගේ පමණ දැනගෙන ආහාර වැළඳීම, වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි හිතල බලනව නම් අර ‘සන්තුට්ඨි පරමං ධනං’ කියාපු එක - ලද දෙයින් සතුටු වීම. ඒකත් සමාජයේ ඉතාමත්ම වටිනා ගුණයක්. ඒකට හේතුව මොකද, කොයිතරම් කෝටිපතියෙක් උනත් මසුරෙක් නම්, ඒ වගේම ඊර්ෂ්‍යාකාරයෙක් නම් සෑහීමකට පත්වෙන්නෙ නැත්නම් ලදදෙයින්, එයා හැම තිස්සෙම හිතෙන් දුප්පත්. හිතෙන් පොහොසත් නෙවෙයි හිතෙන් දුප්පත්. ඒකයි අර ලද දෙයින් සතුටුවීම කියන එක ලොකුම ධනය හැටියට සළකල තියෙන්නෙ, ‘සන්තුට්ඨි පරමං ධනං’ - ලද දෙයින් සතුටුවීමේ ගුණය නැති කෙනා කොයිතරම් ධනයක් තිබුණත් එයා නිර්ධනයි. දුප්පත් දිළින්දා. ඉතින් ඒක කෙටින්ම කියතොත් මේ කොසොල් රජතුමා පිළිබඳ කථාවටත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව මොකද? මෙතෙන්දී අපට කියන්න වෙනවා, මේ කොසොල් රජතුමා පිළිබඳව අර කෙටියෙන් ඒ රජතුමා ප්‍රකාශකළ කාරණයට අදාළ අර අජාසත් රජු හා තිබුණු සටන පිළිබඳ පුවෘත්තියක්. ඒ අර කාසි ගම පිළිබඳ ප්‍රශ්නය මොකක්ද? මේ සූත්‍ර දේශනාවල ඒ ඒ තැන්වල සඳහන්වන කරුණු එකතු කරලයි මේ කාරණා පෙන්නුම් කරන්නෙ. පළමුවෙන්ම කියන්න වෙන්නෙ දැන් ඔය බිම්බිසාර රජතුමාට පාවා දුන්නා, මහා කෝසල රජතුමා - ඒ කියන්නෙ පසේනදී කොසොල් රජතුමාගේ පියා - තමන්ගේ දියණිය. ඒ කියන්නෙ පසේනදී කොසොල් රජතුමාගේ සොහොයුරිය පාවා දුන්නා. ඒ තැනැත්ති හැඳින්වූයේ කෝසල දේවී කියලා. ඒ කෝසල දේවියගෙ පුතා තමයි මේ අජාසත්. එතකොට අජාසත් රජු කුමාර කාලයේදීම පියා මරලා රජකම ගත්තා. පියා මැරුවට පස්සෙ පසේනදී කොසොල් රජ්ජුරුවෝ ඒක ගැන ඇති වෙච්ච හිත් පීඩාව නිසා මේ පිතෘ ඝාතකයාට අපේ කුල සන්තක ඉඩමක් දෙන්න වටින්නෙ නෑ කියලා අර කාසි කියන ගම - ඇත්ත වශයෙන්ම ඒ කාසි කියන ගමත් අර මහා කෝසල රජ්ජුරුවො දායාදයක් හැටියටයි දීලා තිබුණෙ, අර කියපු හැටියට සබන් වියදමට - නමුත් පසේනදී කොසොල් රජ්ජුරුවෝ ඒක අයිති කරගත්තා - නැවතත්. අන්න ඒ කාරණය උඩයි අජාසත් රජු පසේනදී කොසොල් රජ්ජුරුවෝ එක්ක සටන් වැදුනෙ. ඉතින් ඒ සටනෙදි පළමුවෙනිවර කොසොල් රජ්ජුරුවෝ පරාද වුණා. දෙවෙනිවර කොසොල් රජ්ජුරුවො අජාසත් රජු ජීවග්‍රාහයෙන් අල්ල ගෙන ප්‍රාණපිටින්ම අල්ලගෙන, ඒ සිවුරඟ සෙනඟ තමන් සන්තක කරගන්නා. අත් අඩංගුවට ගත්තා. ඒ කාරණය දැනගන්න ලැබුණහම බුදුපියාණන් වහන්සේ එක්තරා ගාථා පෙළක් වදාළා. ඒ ගාථා පෙළෙන් කොසොල් රජතුමා පිළිබඳ ප්‍රශංසාවක් නෙවෙයි එතනින් කියැවෙන්නෙ. මේ කෙල්ලකෑමේ ආදීනව කොයිතරම්ද කියන්නත් ප්‍රකාශ කරනවා. ඒ ගාථාවෙ සාමාන්‍ය අදහස - ඇතැම් කෙනෙක් තමන්ට හිතුමතේට එක එක්කෙනා කෙල්ල කාගන්නවාය. ඒ අය ඉදිරිපත්වෙලා තමන්ව කොල්ලකා ගත්තු දවසට තමයිය තේරෙන්නෙ. ඊළඟට තවත් ඒ වගේම වටිනා උපදේශාත්මක කාරණා කීපයක් ඒ ගාථා පෙළේ සඳහන් වෙනවා. මරන්නා මරන්නකු ලබයි. දිනන්නා දිනන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. බනින්නා බනින්නකු ලබයි. කොල්ලකන්නා කොල්ලකන්නකු ලබයි. ඒ කියන්නෙ කෙනෙක් මරනවා නම් තමන්ටත් මරණය සිද්ධ වෙනවා. ඒ තැනැත්තා අතින්. එහෙම නැත්නම් වෙන කෙනෙක් අතින්. අනික් කියන කාරණා ගැනත් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්. ඒවයි විපාකයි. අර කොල්ලකන්නා ඒ කර්මය ආපහු කරකැවිලා වට පස්සේ තමන්ම තමන්ගේම වස්තුව කොල්ලකනු ලැබීමට භාජනය වෙනවා. එතන කියවිල නැතත් කොසොල් රජ්ජුරුවන්ට කිව්ව කියල කොසොල් රජ්ජුරුවන්ට ආරංචි වෙන්න ඇති මේ බුදුපියාණන් වහන්සේ වදාළ ගාථාව. මේ උපදේශාත්මක ගාථාව. ඒ ආරංචි වෙලා වෙන්න ඇති කොසොල් රජතුමා අර කලින් ප්‍රතිපත්තිය ඉවත්කරලා අර ඉස්සෙල්ල අජාසත් රජු අල්ලගත්තු අවස්ථාවේ තමන්ගේ බෑණයි කියල නෑකම විතරක් හිතලා යන්න ඇරියා. නමුත් අර සිවුරඟ සෙනඟ තමන් යටතට ගත්තා. මේ ගමනෙ කළේ මොකක්ද? ඒ ඔක්කොමත් බාරදීලා තමන්ගේ දියණියන් විවාහ කරලා දීලා දෙවෙනි වරටත් බෑණා කරලා අර ගමත් අර විදියට නානසුණු හැටියට පරිත්‍යාග කළා. එතකොට ඒ කොසොල් රජතුමා එතන බොහොම පරිත්‍යාගශීලී බොහොම වටිනා ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. කොල්ලකනව වෙනුවට. අන්න ඒක තුළ තියෙන්නෙ සන්තුට්ඨි ‘පරමං ධනං’ ලද දෙයින් සතුටුවීම. අර එක එක්කෙනාගේ දේ අල්ලගෙන ධනය විශාල කර ගැනීම නෙවෙයි. එතකොට කොසොල් රජතුමාත් බුදුපියාණන් වහන්සේගෙ ඇසුරින් යම්කිසි හැඩගැස්මක් ලබාගත්තු බව, ඒ වගේම මේ ‘සන්තුට්ඨි පරමං ධනං’ කියන එක රජතුමාගේ ජීවිතයටත් සම්බන්ධ බව අපට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි පදේට එමු. ‘විස්සාස පරමා ඤාති’ - නෑයන්ගෙන් ලොකුම නෑයා විශ්වාසයයි. ඒක එක පාරටම කල්පනා කරනකොට තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන්. මේ කියන්නෙ මොකක්ද? දැන් තමන්ගෙ මව්පියන් වුණත් - තමන්ගෙම මව්පියන් - නෑයන් ගැන හිතනකොට ඉස්සෙල්ලාම මව්පියන්නෙ සිහිපත් වෙන්නෙ. නමුත් අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම්, අවිශ්වාස නම්, එතන නෑකමක් නෑ. නමුත් කිසිම ලේ නෑකමක්වත්, වෙන කිසිම නෑකමක්වත් නැතත් යම් කෙනෙක් පිළිබඳව විශ්වාසය තියෙනවනම්, අන්‍යෝන්‍ය විශ්වාසය තියෙනවනම්, ඒ තැනැත්තා තමයි නියම නෑයා. අන්න ඒකයි එතන බුදුපියාණන් වහන්සේ මතුකරලා දෙන්නෙ. ඒකටත් ගැලපෙනව මෙතන. දැන් අර අජාසත් රජු කලින් ඉඳලම නෑයා, බෑණා. නමුත් බෑණා උනාට මොකද අර විදියට අන්‍යෝන්‍ය විශ්වාසයක් නැති නිසයි සටන් වැදුනෙ. ඒ වගේම ඒ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් නැතිවෙනවා අර සිවුරඟ සේනාව තමන්ගේ අත්අඩංගුවේ තියාගෙන හිටිය නම්. ඒ වෙනුවට ඒ කාරණය තේරුම් අරගෙන තමයි කොසොල් රජතුමා ඒ ඔක්කොමත් පාවා දීලා, තමන්ගේ දියණියන් පාවා දීලා, අන්න අර නියම ආකාරයෙන්ම විශ්වාසය ඇතිකරගත්තෙ. ඒ විශ්වාසයයි නියම නෑකම. ඒ පැත්තට ගත්තත් එහෙමයි. ඊළඟට තවත් කාරණයක්, තව අමතර කාරණයක් කොසොල් රජ්ජුරුවෝ ප්‍රකාශ කළා එතන. සංඝයා වහන්සේලාට තමා වඩාත් විශ්වාස වෙන්න හිතාගෙන - සංඝයා වහන්සේලා මට වැඩියත් සළකාවි කියල හිතාගෙන - මොකද කළේ. ශාක්‍ය කුලයෙන් වාසභඛත්තියා කියන කුමාරියක් සරණ පාවා ගත්තා. ඉතින් ඇත්ත වශයෙන් බලනකොට ඒවා බුදු පියාණන් වහන්සේ අනුමත කළා නොවෙයි, ඒ විවාහ කරගන්නා හෝ නොකර ගත්තා හෝ, ඇත්ත වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයමයි නියම නෑයා. ලොකුම නෑයා. ඉතින් ඒකත් ඒ කොසොල් රජ්ජුරුවන්ගේ ජීවිතට වගේම මේ පින්වතුන් හැම කෙනාගේම ජීවිතට ඒක සම්බන්ධ කරගත හැකි දෙයක් බව මෙයින් අපට හිතාගන්න පුළුවන්. දැන් ඉතින් මේ අනුව අපට එදිනෙදා ජීවිතයට අදාළ - අපි මේ එදිනෙදා ජීවිතය කියල කියනකොට බොහෝ දෙනා ඔය ලෞකික පැත්තයි හිතන්නෙ - ඒකට වුනත් උපකාරවත් වන කාරණා තුනක් තමයි ඔතන කියවුනෙ. නිරෝගී බව පිළිබඳ වටිනා ප්‍රතිපත්තියක්. අපි මේ ගන්නා ආහාරය, ජීවත් වීම සඳහා ගන්න ආහාරය අපි මරණයට උපකාර කරගන්න නරකයි. මරණය ළං කර ගන්න උපකාර කරගන්න නරකයි. නමුත් බොහෝ විට සමාජයේ දැන් කෙනෙක් මනින්නෙ ගන්න ආහාරයෙන්. ඒ විදියේ සංකල්පයක් ඇතිවෙලා තිබෙනවා. එහෙම නැත්නම් ආහාර ගන්න තැන තියෙන තරු ගණනින්. ඔය විදියේ පුහු වටිනාකම් නිසා මනුෂ්‍යයින් අකාලයේ මිය යනවා. අකාලයේ මේ ශරීරයෙ ලෙඩ හදාගන්නවා. තමන්ට සප්පාය අසප්පාය, හිතකර අහිතකර ප්‍රමාණය, ඒවා ගැන කිසි සැලකිල්ලක් නැතිව ආහාරපාන අරගෙන ඒවා තමන්ට බෙහෙතක් වෙනුවට විසක් කර ගන්නවා. විසක් - විසක් කරගන්නවා. එබඳු යුගයක්. එතකොට මේ බුදුපියාණන් වහන්සේ අර ‘ආරෝග්‍යපරමාලාභා’ කියන එක තුළින් ඉදිරිපත් කළ කාරණය කොසොල් රජ්ජුරුවන්ට පමණක් නෙවෙයි අප අපටත් උපකාර වෙනවා. ඊළඟට ලද දෙයින් සතුටුවීමේ ප්‍රතිපත්තිය උනත් - අපි මේ සැකෙවින් ගන්තෙත් මේ කාරණා කීපය - ඒකත් එදිනෙදා ජීවිතයට, දැන් වටපිට බලන කොට පේනවා තම තමන්ගේ අසල්වාසීන් පාවිච්චි කරන, පරිහරණය කරන උපකරණ දිහා බලලා තමන්ගේ වත්පොහොසත්කම මනින සිරිතක් මේ සමාජයේ තිබෙන්නෙ. අර චාම් ජීවිතයට - අපි අර නිතර මතක් කරන චාම් දිවිපැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ සංකල්පනාව අනුව නොවෙයි. අසල්වාසියා පාවිච්චිකරන නවීනතම සුඛෝපභෝගී භාණ්ඩය නැතිනම් මම දුප්පතා කියල ඒ විදියට හිතාගෙන ඒක ලබා ගන්න ණයතුරුස් වීම් ආදී අන්න ඒ විදියේ විපත්තිකර තත්ත්වයකට පත්වෙන සමාජයක් අද තිබෙන්නෙ. ඉතින් ඒ හැම කෙනෙක්ම එදිනෙදා ගතකරන්නෙ - කොයිතරම් තමන්ට මිලමුදල් වශයෙන් බලන කොට කෝටි ගණන් තිබුණත් - හිතෙන් දුප්පත්ව. ලද දෙයින් සතුටු වීම නැති නිසා. නමුත් සමහර විට ඒ නරම් වත්කමක් නැති, ඇතැම් විට දිළින්දෙක් හැටියට සමාජයේ සලකන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කියාපු ලද දෙයින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් - ලද දෙයින් සතුටු වීම කියල කියන්නෙ තවත් උපයන්නෙ නැතිව ඒ දෙයින් සෑහීමකට පත්වීම නෙවෙයි. නමුත් තමා ළඟ දැනට තියෙන ටිකෙන් ඒකට ගැලපෙන ආකාරයට ජීවත් වෙනවා. අද තියෙන වත්කමෙන් තව අවුරුදු ගාණකින් ඉලක්ක කරල තියෙන ඒ සැලැස්මට අනුව ජීවත්වෙන්න ගියොත් මොකද වෙන්නෙ? ණය තුරුස් වෙනවා. අද තියෙන වත්කමින් ඒ විදියට ජීවත් වෙනවා. ඒක ටිකක් වැඩිවෙන කොට ඒකට ගැලපෙන හැටියට. නමුත් ඒකත් ඉතිරි පහදු කරගෙන ජීවත් වෙන්ට පුරුදු වෙන්න ඕන. ඒවා ගැන අපි නොකිව්වත් මේ පින්වතුන් කල්පනා කරලා බලනව. මේ පින්වතුන්ට කොතෙකුත් ඒවට අදාළ බණ අහන්නත් ලැබෙනව ඇති. නමුත් මේක ආශ්‍රයෙන් අපට කියන්න තියෙන්නෙ ඔන්න ඔය වටිනාකම් පිළිබඳව. බොහෝ විට මේව අවුල්වෙලා තියෙන්නෙ ජීවන වටිනාකම් පිළිබඳ වැරදි අවබෝධ නිසා. බුදුපියාණන් වහන්සේ මතුකරලා දෙන මේ “සන්තුට්ඨි පරමං ධනං” කියන එක අපි එදිනෙදා ගෙදරදොරවල් වලදී මතක් කරගත්තොත් අන්න අර වගේ හූල්ලමින් ඉන්නෙ නැතිව තමන්ට තියෙන දෙයින් යැපෙමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන් දූ දරුවන් සමග. ඔය තියෙන ටිකෙන් අපි යැපෙමු. ඒ ඇති අපට කියලා. ඉතින් අන්න ඒ විදියේ ප්‍රතිපත්තියකට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඥාතීන් ගැන - ඔය නෑ හිතවත්කම් ඇතිකර ගෙන ලොකු ලොකු අය එක්ක සබඳකම් ඇතිකර ගැනීම ගැන නොයෙකුත් විදියට බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙනවා. සමාජයේ ලොකු තත්ත්ව ලබා ගන්න. ඒ කොයි විදියට නෑකම් ඇතිකර ගත්තත්, ලේ නෑකම් ඇතිකර ගත්තත්, ඒ කොයි දේ ඇති කර ගත්තත්, අර කියාපු විශ්වාසය නැත්නම්, අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම්, එකිනෙකා දිහා - හරියට මූණදිහා - බලන්න බැරි විදියට නොහොඳ නෝක්කඩු තියෙනවා නම්, අවිශ්වාසය තියෙනවා නම්, සැකය තියෙනවා නම්, ඊර්ෂ්‍යාව තිබෙනව නම්, එතන නෑකමක් නෑ. අන්න ඒක නිසා එතකොට නියම නෑකම අර කියාපු විශ්වාසයයි. හොඳට විශ්වාස යාළුවෙක් ඉන්නව නම්, ඒ තැනැත්තා තමයි හොඳම නෑයා. ආයි වෙන නෑකම් ඕන නෑ. ඒකත් ඔය සමාජයට ඉතාම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි එන්නෙ ඔන්න ධර්මයේ ගැඹුරුම කොටසට. අපි ගැඹුරුම කිව්වට කවුරුත් බය වෙන්න එපා. අපි මේ හැම තිස්සෙම උත්සාහ කරන්නෙ අර බුදු පියාණන් වහන්සේ පමණට අපට බැරි උනත් යම් යම් සරල ක්‍රම වලින් ඒ ගැඹුරට යන ආකාරයට මේ ධර්මය ඉදිරිපත් කිරීමටයි. මොකද මේ “නිබ්බාන පරමං සුඛං” කිව්වෙ නිවන ලොකුම සැපත කියල කිව්වෙ මොකද? අපි ටිකක් ඒ ගැන හිතමු. දැන් සැප කියන එක අපි කවුරුත් සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්නේ සැප වේදනාවත් එක්කයි. නමුත් බුදුපියාණන් වහන්සේ මහ පුදුම දෙයක් ලෝකයට වදාළා. “යං කිඤ්චි වේදයිතං තං දුක්ඛස්මිං” ඒ කියන්නෙ යම්තාක් වේදයිතයන් තියෙනවා නම්, වේදනා වශයෙන් ගත හැකි යම් දෙයක් තියෙනවා නම්, ඒ හැම එකක්ම දුකයි කියල බුදුපියාණන් වහන්සේට වැටහුනා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් වේදනා කියනකොට වේදනා තුනක් තිබෙනවා. මේ පින්වතුන් සමහරවිට අහලත් ඇති - සැප වේදනා, දුක්වේදනා ඊළඟට මධ්‍යස්ථ වේදනා. ඒක ධර්මයේ හඳුන්වන්නෙ මෙහෙමයි. “සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ” ඒවට අපි සිංහල වචන ගත්තොත් අපි ගනිමු - ඉස්සෙල්ල ගනිමු දුක් වේදනාව. දුක් වේදනාව, සැප වේදනාව, මධ්‍යස්ථ වේදනාව හඳුන්වන්න පුළුවන් නොදුක් නොසුව වේදනාව කියලා. නොදුක් නොසුව. ඒකට අර ශාසනික වචනය “අදුක්ඛමසුඛ”. ඒක මධ්‍යස්ථ වේදනාව.   සාමාන්‍ය පුද්ගලයාට මේ මධ්‍යස්ථ වේදනාව පිළිබඳව හැඟීමක් නෑ. කොටින්ම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ පෘථග්ජනයාගේ ස්වභාවය මොකක්ද? දුක් වේදනාවෙන් පීඩිත වූ අවස්ථාවේ පෘථග්ජනයා සැප වේදනාව බලාපොරොත්තුවෙන් සැප වේදනාවට නැඹුරු වෙනවය, මොකද පෘථග්ජනයාට දුක්වේදනාවෙන් මිදීමට වෙන මගක් නැත. දුක් වේදනාව ආව හැටියේ පෘථග්ජනයා සැප වේදනාව අල්ල ගන්නවා. මොකද, ඒ තැනැත්තාට මධ්‍යස්ථ වේදනාවක් ගැන එච්චර අවබෝධයක් නැත. නමුත් ඒක අර අතීත ආචාර්යවරු උපමාවකින් දක්වනවා. දැන් යම් පර්වතයක් උඩින් මුවෙක් ගියාම ඒ මුවා පර්වතය ළහට ආපු පාර පේනවා. එතනින් බැහැලා ගිය පාරත් පේනවා. අර පර්වතය උඩ ගිහිච්ච අඩිපාරවල් පේන්නෙ නෑ. ඒ වගේ සාමාන්‍ය කෙනාට අර මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් වැටහෙන්නෙ නෑ. ඒක සියුම් දෙයක්, නමුත් ඒ සියුම් වේදනාව දැනෙන්නෙ භාවනාමය මනසටයි. ධ්‍යාන භාවනා වඩන අයටයි. ඉතින් මෙතන තියෙන්නෙ සැප දුක් සහ මැදින් තියෙන නොදුක් නොසුව. දැන් මේ කාරණය ගැන තව ටිකක් අපි හිත යෙදෙනවා නම් මේකට අපි කිට්ටු කරගනිමු පොඩි උපමාවක්. දැන් ඔය ගමේ ගොඩේ ළමයි එහෙම පොල්පිති පදිනවා කියල පොඩි ක්‍රීඩාවක් කරනවා. පොල්පිති බිඩංගයක නැගලා ඒ පැත්තට මේ පැත්තට පැද්දෙනවා. ඒ ක්‍රීඩාවටම තවත් පොඩි ක්‍රීඩා භාණ්ඩයක් සමහර විට හදා ගන්නවා. යම්කිසි ලී කොටයක් වගේ මොකක් හරි අඩයක් උඩ තියනවා ලෑල්ලක්. තියලා දෙන්නෙක් දෙපැත්තෙන් නැගලා ඉඳගෙන ඕකේ ඒ අතට මේ අතට පැද්දෙනවා. ඒක පොඩි ක්‍රීඩාවක්. ‘සීසෝ - සීසෝ - සීසෝ’ කියලා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම සීසෝ කියල කියන්නෙ ඔන්න ඔය ක්‍රීඩා භාණ්ඩයට තියෙන විජාතික නමක්. මේකත් සමහර විට දැන් භාවිතයට ඇවිල්ල ඇති. ඔය සීසෝවක් හදාගන්නවා. ඉතින් ඔය සීසෝව අතර තියෙන්නෙ පැදිල්ලක්. ඉතින් ඇත්ත වශයෙන් පැවැත්මත් ඔන්න ඔය විදියේ දෙයක්. මේ සංසාරික පැවැත්මත් ඔය විදියේ දෙයක්. දුකත් සැපත් අතර පැදීමක් තියෙන්නෙ. අර කියාපු විදියට ඕචිලි පැදීමක් වගේ මේක එක්තරා විදියක පැදීමක්. ඔය දෙක අතරේ තමයි මේ මුළු මහත් සංසාරික පැවැත්ම තියෙන්නෙ. සීසෝ කිය කිය ඉතින් පැද පැද ඉන්නවා. නමුත් බුදුපියාණන් වහන්සේට පෙනුනා මේකේ තියෙන අවදානම් තත්ත්වය, භයානක තත්ත්වය. මේක කවදාවත් කෙළවර වෙන්නෙ නෑ. මේක තුළ දුකටමයි පත්වෙන්නෙ. දුක් වේදනාවෙන් මිදෙන්න හිතලා සැප වේදනාවට යනවා. එතන ගිහිල්ල බලනකොට ඒක නිත්‍ය නෑ. එතන ඒක ඉවර වෙනකොට අයි මේ පැත්ත පහත් වෙනවා. ඔය විදියේ දෙයක් තියෙන්නෙ. ඉතින් ඒකමයි ඔය වේදනා තුන ගැන බුදු පියාණන් වහන්සේ දක්වන්නෙත්. දුක් වේදනාවේ ස්වභාවය, ඒක තියෙන තෙක් දුකයි. වෙනස් වෙනකොට සැපයි. සැප වේදනාවේ ස්වභාවය ඒක තියෙනකොට සැපයි. වෙනස් වෙනකොට දුකයි. නමුත් මධ්‍යස්ථ වේදනාව - මැදින් තියෙන වේදනාවේ ස්වභාවය - ඒක සියුම් දෙයක්. ඒක නොදැනෙන තාක් දුකයි. තේරුම් ගත්තොත් සැපයි. ඒක දක්වන්නෙ “අඤ්ඤාණ දුක්ඛා ඤාණ සුඛා” “අඤ්ඤාණ” කියල කියන්නෙ තේරුම් නොගැනීම. මධ්‍යස්ථ වේදනාව තේරුම් නොගන්නතාක් ඒක දුකක්. නමුත් යම් අවස්ථාවක එතෙන්ට ප්‍රඥාව, නුවණ, තේරුම් ගැනීම, ආවොත් ඒක සැපයකට හරවගන්න පුළුවන්. ඔන්න ඔය ධර්මතාව උඩ මේ සංසාරයෙන් මිදීමේ උත්සාහය දැරූ අර අතීත යෝගීන් බුද්ධකාලයටත් කලින් ඉඳලම පඤ්චකාම සම්පත්තිය කියල කියන සාමාන්‍ය ලෝකේ පෘථග්ජනයා එරිල ඉන්න ඒවයින් ඉවත් වෙලා, ධ්‍යාන භාවනා වඩලා, ක්‍රම ක්‍රමයෙන් අර කියාපු තුන්වැනි තත්ත්වයට, එහෙම නැත්නම් මධ්‍යස්ථ තත්ත්වයට හිත ගෙනාවා. ඉතින් මේක සංස්කාර වශයෙන් බලනවා නම් දැන් ධර්මයේ තිබෙනවා - ඒකත් අපි මතක් කර ගතයුතු දෙයක් - බුදුපියාණන් වහන්සේ නිවන හඳුන්වනවා “සබ්බ සංඛාර සමථ” කියලා. සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම කියලා. අපි කියමු සකස් කිරීම් කියලා. මේ සංස්කාර කියන වචනය බොහොම ගැඹුරු වචනයක්. “සබ්බේ සංඛාරා අනිච්චා” කියල එහෙම දාලා තියෙන්නෙ. සියලුම සංස්කාරයින් අනිත්‍යය කියලා. මේ මුළු මහත් සංසාර පැවැත්ම තුළම තියෙන්නෙ සංස්කාර රැස්කිරීමක්, නමුත් මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය නිසා මේ මුළු මහත් සංසාරයම දුකක් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. ඉතින් ඒක තමයි “සංඛාර පරමා දුක්ඛා” කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ අපි ඕළාරික ගොරහැඩි හැටියට හිතන දුක් හැම එකක්ම ඉවත් කරල ඒවායින් මිදිලා ඉවර වුනත් අන්තිමට මේ සංස්කාර ස්වභාවයම දුකක්. සංස්කාර තමයි ලොකුම දුක. ඉතින් මේ සංස්කාරවල සියුම් මට්ටම් තුනක් තිබෙනවා. යෝගාවචරව ඒ ධ්‍යාන වඩන පින්වතාට හසුවෙන මේ “ආශ්වාස ප්‍රශ්වාසය” කියන එක. වෙන බාහිර කටයුතු පිළිබඳ තියෙන ඒ ගැහැට කරදර ඒවත් දුකක් තමයි. වෙන එකක් තබා අවම වශයෙන් බලන කොට මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එකෙත් දුක් ස්වභාවයක් තිබෙනවා. සාමාන්‍ය ලෝකයා තේරුම් නොගත්තත්. කොටින්ම ඒ ආශ්වාස ප්‍රශ්වාස කියන එක හඳුන්වන්නෙ කාය සංස්කාර හැටියට. කාය සංස්කාරය - කාය සංස්කාරයේ සියුම්ම මට්ටම. ඊළඟට වචී සංස්කාරය කියල කියන්නෙ වචනය පිළිබඳ සංස්කාර - වචනය පිළිබඳ අර විදියේ සකස් කිරීම් තමයි - අවම මට්ටමින් බැලුවොත් ඒක දක්වනවා විතක්ක විචාර කියලා. සිත ඇතුළේ සිතිවිලි. නොයෙකුත් විදියේ සිතිවිලි. දැන් යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිදි නැති රාත්‍රියක එහෙම ඔන්න හොඳට දැනගන්න පුළුවන් මේ විතක්ක-විචාර කියන එක මොන දුකක්ද කියලා. නින්ද යන්නෙ නෑ හිතිවිලි. එකක් යන්න එකක් එනවා. බේරෙන්න බෑ. මේක හරියට අඟුරු වළකට දෙ අතින් අල්ලල ඇදගෙන යන්නා වගේ. අන්න විතක්ක - විචාර. ඒකත් දුකක් බව සිත සියුම් වෙන්න සියුම් වෙන්න, ධ්‍යාන මට්ටම්වලට යනකොට, තේරෙනවා. ඒක අර වචී සංස්කාර. ඔන්න ඊළඟට ඊටත් එහායින් තියෙනවා චිත්ත සංස්කාර කියලා. ඒ කියන්නෙ මේ සිත - කෙළින්ම සිත හා සම්බන්ධ. එතැන දක්වනවා සංඥාවයි වේදනාවයි. සංඥාව කියල කියන්නෙ හැඳිනීම. මේ අපේ සිත්වල තියෙනවා එක්තරා ශක්තියක්, යමක් හඳුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ වගේම විදීම් ශක්තියක්, ඒක ගැනම තමයි අපි පටන්ගත්තේත් සැප දුක් අදුක්ඛමසුඛ කියලා. ඔන්න ඔය සංඥාවයි වේදනාවයි කියන දෙක ඉතාම සියුම් සංස්කාර. ඒකට කියනවා චිත්ත සංස්කාර කියලා. ඔය සංස්කාර මට්ටමින් මිදෙන්නයි අර අතීත යෝගීන් උත්සාහ දැරුවෙ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ දැරූ උත්සාහයෙ ඒගොල්ලන්ට පුළුවන් අන්තිම කෙළවරට ගිහින් හිටියා. ඒ ගිහින් හිටිය එක් කෙනෙක් තමයි උද්දකරාමපුත්ත කියල කියන්නෙ. මේ පින්වතුන් අහල තියෙනවා, බුදුපියාණන් වහන්සේ අර ගුරුවරුන් සොයා ගෙන යනකොට ආළාරකාලාම, උද්දකරාමපුත්ත කියල ගුරුවරුන් දෙදෙනෙක් ළහට ගියාය. ආළාර කාලාම කියන ඒ ගුරුවරයා “ආකිඤ්චඤ්ඤායතන” කියන ඉතාම උසස් ධ්‍යාන තත්ත්වයකට ගිහිල්ලා හිටියා. ඊටත් වඩා උසස් නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන කියන තත්ත්වයට උද්දකරාමපුත්ත කියන ශාස්තෘවරයා ගිහින් හිටියා. ඉතින් මේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කියන එක - ඒක තේරුම් කරලා ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නෙ. “සංඥාව ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ.” අන්න අපි දැන් එනවා අර සීසෝවට, ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතන’ සංඥාව නැත්තෙත් නෑ. ඇත්තෙත් නෑ. ඒක තුළ තියෙන්නෙ අර හෙලෙත්තාඩුවක්. දෙගිඩියාවක්, චංචල බවක්, වැට උඩ සිටීමක්. ඔන්න ඔය විදියේ තත්ත්වයකට පත්වෙලයි හිටියේ, ඒ කාලේ යෝගීන්, බුදුපියාණන් වහන්සේ පහළ වෙනකොට. ඉතින් ඒ උද්දකරාමපුත්ත නමයි අන්තිමටම ගිය ශාස්තෘවරයා. මොකක්ද ඔබතුමා උගන්වන්නෙ? කිව්වහම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කිව්වා. බුදුපියාණන් වහන්සේ ඒ ශාස්තෘවරයා තොල් හොල්ලනකොටත් ඒක ලබා ගෙනත් ඉවරයි. අතීත සංසාරයේ ඒවා කොතෙකුත් අවස්ථාවල ලබාගෙන තිබුණු නිසා. කොහොම නමුත් එයින් සෑහීමකට පත් උනෙ නෑ බුදුපියාණන් වහන්සේ. මොකද, තාම හෙලෙත්තාඩුව. අර සීසෝවේ මැදට වෙලා හිටියත් ඒක චංචල වෙනවා. එතන නියම ශාන්ත බවක් නෑ. එතන අනිත්‍යයි. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාළේ දුක් වේදනාව - ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක කටුවක් වගේයි. මහ දුකක්. සැප වේදනාව - ඒක තිබිලා විපරිණාම කියල කියන වෙනස් වෙන අවස්ථාවේදී ඒකේ දුක් ස්වභාවය තේරෙනවා. ඒ නිසා ඒකත් දුකක්. එතකොට දුක් වේදනාවේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක එහෙම පිටින්ම දුකක්. කටුවක් වගේ - ඇනිච්ච කටුවක් වගේ. සැප වේදනාව වෙනස් වෙනකොට දුකක්. ඒක නිසා නුවණැති පුද්ගලයා කලින්ම දැන ගන්නවා ඔන්න සැප වේදනාවක් එනවා ඒකේ වෙනස්වීමත් එක්ක දැන් දුකකටත් මුහුණ දෙන්න වෙනව කියලා. ඊළඟට අදුක්ඛමසුඛ කියල අපි අර කිව්වේ ‘නොදුක් - නොසුව’ මධ්‍යස්ථ තැන. ඒකයි අර ශාස්තෘවරු මැදින් ලොකුවට අල්ල ගත්තෙ. නමුත් බුදුපියාණන් වහන්සේ පෙන්නුවා ඒකත් අනිත්‍යයි කියලා. මොකද, ඒ විදියේ ධ්‍යාන තත්ත්ව ලබාගෙන බ්‍රහ්ම ලෝකවල ගියත්, කල්ප ගණන් හිටියත්, ආයිත් කරකැවිල එනවා. ඔන්න ඔය විදියෙ තත්ත්වයක්. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ සියලුම සංස්කාරයන් සංසිඳවීම විසඳුම හැටියට දැක්වුවෙ. යම්තාක් වේදනාවල් තියෙනවා නම් සැප හෝ වේවා දුක් හෝ වේවා නොදුක් නොසුව හෝ වේවා හැම වේදනාවක්ම දුකක් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. ඉතින් ඒකම තමයි එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, “ආනන්ද, සමහර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් මෙන්න මේ විදියේ වාදයක් මතුකරාවි. මොකක්ද? මේ ශ්‍රමණ ගෞතමයින්”සංඥා වේදයිත නිරෝධ” කියල අමුතු භාවනා තත්ත්වයක්, අමුතු සමාධි තත්ත්වයක් ප්‍රකාශ කරනවය, ඒක මොකක්ද? ඒක කොයි විදියේ දෙයක්ද? ඊළඟට මෙහෙමයි කියන්නෙ ‘සංඥා වේදයිත නිරෝධ’ කියල විශේෂ ධ්‍යාන තත්ත්වයක් සමාපත්ති තත්ත්වයක් ප්‍රකාශ කරනවය සැපයක් හැටියට. ඒක සැපයක් වෙන්නෙ කොහොමද එතන සංඥා, වේදනා ආදී කිසිවක් නැත්නම්? එතන සැපයක් වෙන්නෙ කොහොමද වේදනාවක් නැත්නම්? එතකොට බුදුපියාණන් වහන්සේ ඒ තර්කය නගන්න පුළුවන් කියල ආනන්ද හාමුදුරුවන්ට කලින්ම කියනවා, එහෙම තර්ක නගන අයට මෙන්න මේ විදියට කියන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ සැපය කියල කියන්නෙ සැප වේදනාවට පමණක්ම නොවේ. යම් යම් තැනක සැපයක් තියෙනවා නම් ඒ ඒ තැන සැපය හැටියට බුදුපියාණන් වහන්සේ දක්වනවා කියල කාරණය පැහැදිලි කරලා දෙන්න කියලා. එයින් පෙන්නුම් කරන්නෙ එතකොට අර ලෞකික සැප නොවෙයි ලෝකෝත්තර සැපයයි. ලෝකෝත්තර සැප වෙනකොට අර වේදනා මට්ටමෙනුත් මිදුනා. මොකද ලෞකික සැප මට්ටම් හැම එකක්ම අනිත්‍යයි. අර කියාපු දුක් වේදනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සැප වේදනාවත් වෙනස් වෙන කොට දුකක්. ඒ වගේම අර මධ්‍යස්ථ වේදනාව. ඒක තමයි සංස්කාරවල සියුම්ම දුක් ස්වභාවය. ඉතින් ඒකම වෙනත් පැත්තකින් අපි ධර්මානුකූලව විග්‍රහ කරනවා නම් ධර්මයේ දැක්වෙනවා තවත් වටිනා සංකල්පයක්. ගැඹුරු දෙයක් නමුත් අපි ඒක කෙටියෙන් සඳහන් කරනවා. මේ නුවණැති පින්වතුන්ට හිතලා බලන්න. “දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා” කියල දුක තුන් ආකාරයකට දක්වනවා - දුකෙහි මට්ටම්. දුක්ඛ දුක්ඛතා කියල කිව්වේ අර දුක් වේදනාව. තනිකරම දුක්, ගොරහැඩි වශයෙන් බැලුවහම. ඒක කාටත් හඳුනගන්න පුළුවන්. “විපරිණාම දුක්ඛතා” කියන්නෙ සැප වේදනාවල්. ඒක වෙනස්වූ විට දුක නිසා සැප වේදනාවන් විපරිණාම දුක්ඛතා කියල හඳුන්වනවා. ඔන්න ‘සංඛාර දුක්ඛතා’ කියල කියන්නෙ අර කියාපු මධ්‍යස්ථ තත්ත්වයයි. සංඛාර දුක්ඛතා තත්ත්වය තමයි අත්දකින්නෙ. ඒක අත් දකින්නෙ ඇත්ත වශයෙන්ම යෝගීන්, අර කියාපු විදියට හිත දියුණු කළ අය. ඒ අයටයි මේක හරියටම තේරෙන්නෙ මේ සංසාරයේ භයානකකම. එකක්වත් අල්ල ගන්න බැරි බව මේ වේදනාවන්. අර කියාපු සීසෝ පැදිල්ල කෙළවර කරගතයුතු බව. මේ පැවැත්ම වෙනුවටම නැවැත්ම අවශ්‍ය බව. ඒක අවබෝධ කිරීමටයි - ඇත්ත වශයෙන්ම අවබෝධ කර ගැනීමටයි - බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ධර්ම වදාළේ. ලෝකෝත්තර කියල කියන්නෙ. එතකොට මෙතන තියෙන්නෙ - අන්න අර අපි කිව්වනේ අදුක්ඛමසුඛ කියල කියන නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන්නෙ අඥානකම නොදැන්ම අනවබෝධය කියලා. අවබෝධයට හරවගත්තු හැටියේ එතන සැප. ඒක ශාන්ත ප්‍රණීත සැපයක් වෙනවා. ඒකමයි බුදුපියාණන් වහන්සේ අන්තිමට නිවන හැටියට දැක්වුවේ. මේ ‘සංඥාවේදයිත නිරෝධ’ කියල කිව්වේ සංඥාවෙනුත් වේදනාවෙනුත් නිරුද්ධ කරන තත්ත්වයක්. බුදුපියාණන් වහන්සේ දැක්වුවා. වෙන කිසිම ශාස්තෘවරයෙකුට බැරි උනා. ඒක ඉතාමත්ම උසස් සමාධි තත්ත්වයක්, සමාපත්ති තත්ත්වයක්. සංඥාවෙනුත් වේදනාවෙනුත් මිදිලා. ඒකෙන් නැගිටින්නෙ ඊළඟට නිවනට. ඒ කියන්නෙ එහෙම පිටින්ම සංස්කාරවලින් මිදුනා. සංස්කාරවලින් මිදීමමයි ඉහළම සැපත. ඒක තමයි ලෝකෝත්තර සැපත. එහෙම නැත්නම් නිවන හැටියට දක්වන්නෙ. ඉතින් එතෙන්දි බුදු පියාණන් වහන්සේ අර අවබෝධය හැටියට දැක්වුවෙ මොකක්ද? ඔන්න අපි ආයෙත් අර සීසෝවට එමු. මේ සීසෝ පැදිල්ලට හේතුව මොකද? අර මැදින් දාපු අඩය නේ. මැදින් දාපු අඩය උඩයි මේ ලෑල්ලක් දැම්මෙ. අන්න ඒක අහක්කළා, බුදු පියාණන් වහන්සේ. මොකක්ද? මේ අඩය. ඒක ධර්මයෙ හඳුන්වන්නෙ “අස්මිමාන” කියලා. “වෙමි” කියල කියන මානය. ඒකේ ගොරෝසු පැත්ත තමයි ඔය පින්වතුනුත් අහල ඇති ඔය සක්කායදිට්ඨි කියලා කියන්නෙ මමය, මාගේය කියලා. මේ හැම දෙනෙක්ම දැන් කතා කරනවා අහෙන්නෙ සක්කායදිට්ඨිය ගැන. රූපය ආත්මයයි, වේදනාව ආත්මයයි, ඔය ගොරහැඩි විදියට එන ආත්ම සංකල්පය. ඕකෙ සියුම්ම මට්ටම තමයි ‘වෙමි’ කියන එක. ‘වෙමි’ කියන මානය. ඒක ඉතාමත්ම සියුම් මට්ටමකින් තිබෙනවා. වෙන එකක් තබා ඔය අනාගාමී තත්ත්වය දක්වාම ඒක තිබෙනවා. ඉතින් ඒක තිබෙනතාක් අර කියාපු සීසෝ පැදිල්ල තියෙනවා. භවය තියෙනවා, පැවැත්ම තියෙනවා. නමුත් බුදු ඇසට පෙනුනා මේක දුකක්. මොකද මේ කර්ම වේග අනුව අර පැවැත්ම තුළින් නානාප්‍රකාර භවවලට වැටිලා - දුගති තත්ත්ව වලට සුගති තත්ත්ව වලට - දීර්ඝකාලයක් සංසාරයේ සැරිසරන්න වෙනවා. එකම විසඳුම මේ භවයෙන් මිදීමයි. ඒකට කියන්නෙ භව නිරෝධයයි. අර කියාපු අර පැදිල්ල නතර කිරිල්ලයි. ඒකට ඕන කරන්නෙ අර විදියට වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන, මේ වේදනා කියන හැම එකටම මූලික වෙන්නෙ මමය, මාගේ කියන එකටත් වඩා යටින් තියෙන ‘වෙමි’ කියන එක. ‘අස්මිමානය’ කියල දක්වනවා. ඒක අර වචනයෙන් ලබාගන්න දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ යාම තුළිනුයි ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වන්නෙ. එතකොට මේකයි ‘නිවන’ කියල කියන්නෙ. ඕක පිළිබඳව නොයෙකුත් විදියට කතා කරනවා, අපි මේ පොඩි උපමාවක් ආශයෙන් දැක්වුවේ. දැන් මෙතන මොකද මේ “නිබ්බාන පරමං සුඛං” කිව්වෙ කියන එකයි ටිකක් හිතලා බලන්න ඕන. මේ ප්‍රස්තුතයට අදාළ නිසයි අපි මේක එළියට ගත්තෙ. නිවන පරම සැපත කියල කිව්වෙ මොකද? දැන් පසේනදී කොසොල් රජ්ජුරුවෝ නම් අර කියාපු කාරණා හතර සැප හැටියට දැක්වුවා. බුදුපියාණන් වහන්සේ එතනින් නතර කළේ නෑ. “ඔව් ඔව් මහරජ ඕක තමයි ලොකුම සැපත. අපිටත් නෑයෝ වුණු එකත් ලොකුම දෙයක්” කියල බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කළේ නෑ. “බොහොම හොඳයි අපිත් නෑයො” කියල කිව්වේ නෑ. එතන ලෞකික මට්ටමෙන් නතර කළේ නෑ. නිවන දක්වාම අරගෙන ගියා. රජ්ජුරුවන්ට ඉඟියක්වත් දුන්නා. ඕව නෙවෙයි නියම සැපත. නිරෝගිකම, ඒකත් නිත්‍ය නෑ. රෝගත්තං හි අරෝග්‍යන් - ආරෝග්‍යයේ, නිරෝගී බවේ කෙළවර තමයි රෝගය. ඉතින් ඒක නිසා ඒක හඳුන්වන්න පුළුවන් ‘ආරෝග්‍ය පරමා ලාභා’ කියන එක ලාභයක් තමයි. ලාභයන් අතර නිරෝගීකම උතුම්. නමුත් ඒක ලොකුම සැපත නෙවෙයි. ‘සන්තුට්ඨි පරමං ධනං’ ලද දෙයින් සතුටු වීම. එහෙම නැත්නම් වෙන ධන අරව මේව, ඒවත් ධනය නමයි. නමුත් එතනම සැපත නෑ. “විස්සාස පරමා ඤාති” - ඔය ඥාතීන් පිළිබඳ ප්‍රශ්නයේදී නෑකම් ඇති කරගත්තත්, විශ්වාසය තියා ගෙන හිටියත්, ඒ කොයි එකකවත් නියම සැපතක් නෑ. මේ හැම එකක්ම සංස්කාර ගොඩක් විතරයි. මේ හැම එකක්ම සංස්කාර. එතකොට ‘සබ්බ සංඛාර සමථ’ කියල කියන අන්න අර සංස්කාර වලින් මිදීමමයි ඉහළම සැපත. ඒකයි බුදුපියාණන් වහන්සේ මතුකරලා දැක්වුවේ මෙතන. “සබ්බසංඛාර සමථෝ” කියල නිවන හඳුන්වනවා. සියලු සංස්කාරයන් සංසිඳවීම. දැන් අපි කෙටියෙන් සඳහන් කළා මේ සංස්කාර කියල කියන්නෙ මොනවද කියල. ඇත්ත වශයෙන් සංස්කාරවල ගොරෝසු හරිය තමයි ඔය කර්ම හැටියට තියෙන්නෙ. ඒව මේ පින්වතුන් අහලත් ඇති දැන් අකුසල කර්ම කළොත් - ඒක නම් කවුරුත් දන්නවනෙ - පාප කර්ම කළොත් අපායවල දුක් විඳින්න සිද්ධ වෙනවා. අකුසල් කළොත් එහෙම. ඉතින් ඒකට පළමුවෙන්ම බයයි. ඊළඟට සමහර විට ඒක නිසා අපි ඒ වෙනුවට පින් කරලා දිව්‍ය ලෝකේ යමු කියල හිතාගන්නවා. ඒ ගියත් චුත වෙන වේලාවේ බොහොම දුකයි. එතනින් ගිහිල්ල ඊළඟට කොහේ වැටෙනවද කියල නෑ. දිව්‍යලෝක පමණක් නෙවෙයි බ්‍රහ්මලෝකත් අනිත්‍යයි කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒක නිසා නමයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන කොට බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑවයි කියල කියන්නෙ. අපිත් අනිත්‍යයි. අපි මෙච්චරකල් හිතාගෙන හිටිය නිත්‍යයි කියල දැන් බලනකොට අපිත් අනිත්‍යයි කියල බය උනා. ඒ කියන්නෙ සිංහනාදය. බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා. මේ ‘සබ්බසංඛාර’ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියල කියන කොට ඒ බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑ බව සඳහන් වෙනවා. අන්න ඒ විදියේ තත්ත්වයක් එතකොට මේ ලෞකික දේවල්වල තිබෙන්නෙ. ඉතින් ඒක නිසා බුදුපියාණන් වහන්සේ දක්වනවා ඒ හැම එකකින්ම මිදිලා අර සංස්කාර තත්ත්වයෙන් මිදිලා විසංස්කාර වූ නිවන. ඒ කියන්නෙ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, සංස්කාරයන් ඇතිවෙන්නෙ අවිද්‍යාව නිසා නම්, දැන් සැප දුක්වලට හේතුවන පින් පව් හැම එකක්ම කරන්නෙ මමය, මාගේය කියන අවිද්‍යාව උඩ ඉඳගෙනයි. ඒක හිතූ පමණකින් මිදෙන්න බෑ. ක්‍රමානුකූලව භාවනාව දියුණු කර ගැනීම තුළින් තමයි ඒක අවබෝධ කරගත යුත්තේ. නමුත් අර අපි කලිනුත් අවස්ථාවල් වල ප්‍රකාශ කරලා ඇති, අකුසල් වලින් පව්වලින් ඉවත්වෙලා හිත පිනට නැඹුරු කරනවා. ඊළඟට එතනින් නවතින්නෙත් නැතුව ක්‍රම ක්‍රමයෙන් පින්පව් දෙකෙන්ම ඉවත්වෙන විදියට භාවනාවක යෙදිලා ක්‍රම ක්‍රමයෙන් විදර්ශනාවෙන්, විදර්ශනා වශයෙන් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකලා සසර ගැන කලකිරිලා තමයි යම් කෙනෙකුට මේ සසරින් මිදෙන්න පුළුවන් වෙන්නෙ. නිර්වාණය කියන ඒ උතුම් තත්ත්වය මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නෙ. ඒ තත්ත්වය තමයි අන්න අර සී-සෝ පැදීමේ කෙළවර. අනික් පැත්තට ගත්තොත් ඕක කරා යන මාර්ගය තමයි මේ මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාවම. මේ පින්වතුන්ට අපි නිතර මතක්කරල තියෙන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන කෙටියෙන් ගත්තොත් - තව නොයෙකුත් සතර සතිපට්ඨාන ආදී විදියට - බෞද්ධයා හික්මෙන ප්‍රතිපදාවේ අර්ථය මොකක්ද? හිත අර තත්ත්වයට ගෙන ඒමයි. අර කියාපු ‘අස්මිමානය’ කියන යටත් පිරිසෙයින් ‘වෙමි’ කියන මානය පවා ඉවත් කරලා තමන්ගේ ජීවිතය හරියට මේ ගහකොළං එක්ක ජීවත් වෙන්නා වගේ. දැන් ගස් කොළං ආදියට විඤ්ඤාණයක් නැති නිසා ඒවාට දුකක් කියල දෙයක් නෑ. රබර් ගහකට ඇන්නහම කිරි එනවා තමයි. නමුත් ඒකට දුක්වේදනා ඇතිවෙනවා කියලා අපි හිතන්නෙ නෑ නෙ. ඒ ගස් කොළං වලට නෑ. ඒ විදියේ ප්‍රශ්නයක්. නමුත් සවිඤ්ඤාණක - විඤ්ඤාණය සහිත සත්ත්වයාට තමයි මේ දුක තියෙන්නෙ. ඒ වගේම මෙතනින් කෙළවර වෙන්නෙ නෑ පැවැත්ම. ඒක බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි අනික් යෝගීන් - පෙර විසූ කඳ පිළිවෙළ පෙනෙන අනික් යෝගීන් - පවා දැක්කා. බුදුපියාණන් වහන්සේට කලින් අතීත ජාති සිය දහස් ගණන් පෙනෙන යෝගීන් හිටියා. ඒ අයත් දැක්කා මේ සංසාර ප්‍රශ්නය. ප්‍රශ්නය දැක්කා, උත්තරේ සොයා ගන්න බැරි උනා. බුදුපියාණන් වහන්සේට විතරයි ඒකට නියම උත්තරේ සොයා ගන්ට පුළුවන් උනෙ. එතකොට කර්ම - අපි මේ කර්ම රැස් කරනවා කියල කියන්නෙ අන්න අර සංස්කාරවල ගොරෝසු මට්ටම. පින් පව් කියල දෙකක් අපි ඇති කරනවා. ඒවාට අපි වග කියන්න ඕන. මොකද පින් පව් කියන ඒවා කරන්නෙ මමය, මාගේය කියන ප්‍රස්තුතය උඩ ඉඳගෙනයි. අපි මේවා විශේෂයෙන් මතක් කරන්නෙ මොකද, හුඟක් දෙනෙක් දැන් මේව අවුල් කරගෙන. “කම්මස්සකතා සම්මාදිට්ඨි” කියල එකක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති සම්‍යක්දෘෂ්ටිය. ඒක පිට ඉඳගෙන අපි අර පාප කර්මවලින් ඉවත්වෙලා අකුසල් කර්මවලින් ඉවත්වෙලා කුසල් කර්මවලට හිත නතුකරනවා. ඊළඟට කුසල්කම් කරනවා. ඒක තුළින් හොඳ ආත්මභාව ලබාගන්නවා සුගති ආදී. ඒක තුළින් ඒ සැකැස්ම ඇති උනාට එතනින් සෑහීමකට පත්වෙන්නෙ නෑ. අපි බුදුපියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව බලන කොට, මේ එකක්වත් අල්ල ගන්නෙ නෑ. හැම එකක්ම උපකාර කර ගන්නවා. අර ආහාරය ගැන කිව්ව වගේ තමයි. මේ හැම එකක්ම උපකාර කර ගන්නවා. එවැනි එකක් තබා ධ්‍යාන තත්ත්ව පවා. ඉතින් ඒක නිසා පින්, කුසල්, ඔවා උපකාර කරගෙන අපිට බණ භාවනා කරන්න පුළුවන්. යම් යම් උපධි සම්පත්ති ඇති හොඳ ඥාන ශක්ති ඇති ජීවිත ලබා ගන්නවා. එයින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. එයින් සෑහීමකට පත් වෙලා හිටියොත් ආයිත් අර පාපකම් මතුවෙලා කිසිම දියුණුවක් නැතිව නැවත අපායගාමී වෙනවා. ඒ වෙනුවට ඊළඟට උපකාර කර ගන්නවා, අර සමථ භාවනාව වඩලා සිත සමාධිගත කරගෙන ඒක පාදක කරගෙන බුදුපියාණන් වහන්සේ දක්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකට විශේෂ කර්මස්ථාන, භාවනා කර්මස්ථාන අරගෙන බණ භාවනා කරලා, තමන් තුළින්ම ඒක දකින්ට ඕන. මොකද, බුදුපියාණන් වහන්සේ දක්වන්නෙ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගතයුතු ධර්මයක්. මේක බාහිරව වෙන කෙනෙක් ඇවිල්ලා කියලා, එයින් ලබාගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ මේ පංචස්කන්ධය තුළින්ම දකින්න ඕන. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය - රූප ගොඩ, වේදනා ගොඩ හැඳිනීම් ගොඩ, සකස් කිරීම් ගොඩ, හිත් ගොඩ මේ හැම එකක්ම ගොඩක් හැටියට අවබෝධ කරගන්න ඕන, ඉස්සෙල්ලා, අපි මේකට ස්කන්ධ පංචස්කන්ධ කියල කියන්නෙ ගොඩක් හැටියට. ගොඩක් කියලා කියන නමුත් සාමාන්‍ය පුද්ගලයාට මේක ගොඩක් බව වැටහෙන්නෙ නෑ. මේක එකක් හැටියට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නෙ අන්න අර භාවනා යෝගියාටයි. ක්‍රමක්‍රමයෙන් හිත සමාධිමත් වෙලා මේකට මෙනෙහි කිරීම යොමුකරන කොට පේනවා මෙතන, රූපත් මෙතන ගොඩක්. වේදනාත් ගොඩක්. ඉතින් මේක ගොඩක් නම් ඉන් එක එකක් ඇතිවෙනවා වගේම නැතිවීමකුත් තියෙනවා. ඇතිවීම් නැතිවීම් ගොඩක් මෙතන තියෙන්නෙ. ඇතිවෙන දේවල් ගොඩකුයි නැතිවෙන දේවල් ගොඩකුයි නෙවෙයි අන්තිමට බලාගෙන යනකොට ඇතිවීම් නැතිවීම් ගොඩක් විතරයි. ඔය විදියට ගැඹුරු අන්දමින් පේන්න පටන් ගන්නවා. එතකොට අර මේකට තියෙන ඇල්ම නැති වෙනවා. මේ දිරාපත් වෙන දෙයක්. දිරන දෙයක්, කඩා වැටෙන දෙයක්. මේක බදාගත්තොත් මාත් ඒ එක්කම ඉවරවෙනවා නේද කියලා. ඔන්න එතකොට තමයි අතහරින්න හිතෙන්නෙ. අතහැරීම එන්නෙ. අතහැරීම පිළිබඳ විමුක්තියේ මූලික සංඥාව එන්නෙ. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් අතහැර ගිහිල්ලා - දැන් අර කියාපු ආළාර කාලාම, උද්දකරාමපුත්ත ආදීන්ට වුණු වැරදීම මොකක්ද? අර කියූ ධ්‍යාන මට්ටම ලැබුණු හැටියේ ඒකෙ සැපයෙ ගැලිල ඒක අල්ල ගත්තා ආත්මය හැටියට. ඒක ආත්මය හැටියට ගත්තු නිසා තමයි ඒ අයට සසරින් එතෙර වෙන්න බැරිඋනේ. බුදුපියාණන් වහන්සේ දැක්වුවා මේ හැම එකක්ම - හේතු ප්‍රත්‍යරාශියක් නිසා ඇතිවන දෙයක් මේ පැවැත්ම කියන එක. ඒ හේතු ප්‍රත්‍ය රාශිය හරියට දකින කොට ඒක තුළ තියෙන ආත්ම සංඥාව මමය, මාගේය කියන හැඟීම, ක්‍රමක්‍රමයෙන් ඉවත්වෙනවා. ඒක දකින්න දකින්න. ගැඹුරින් දකින්න දකින්න. එතකොට ඒකයි මේ ත්‍රිලක්ෂණය කියල කියන්නෙ. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. මොකද අනිත්‍ය දේ නිතරම සකස් කර කර ඉන්න වෙනවා. සංස්කාර කියල කියන්නෙ සකස් කිරීම් ගොඩක්. අර කෙහෙල් කඳේ උපමාව අපි නිතරම මතක් කරල දීල තියෙනවා. බුදුපියාණන් වහන්සේ සංස්කාර කෙහෙල් කඳකට උපමා කරලා තියෙන්නෙ මොකද? හරයක් නෑ. අරටුවක් නෑ. මෙතන තියෙන්නෙ මේ හේතු ප්‍රත්‍ය රාශියක් විතරයි. අඥාන පුද්ගලයා මේක හරයක් ඇති අරටුවක් ඇති ලියක් හැටියට ගන්නවා. ඒ වගේ අපි මේ රූපස්කන්ධය මේකට නමකුත් දාලා මේ මම අහවලාය කියල ඒ විදියට ගන්නවා. අනික් දේවලුත් එහෙමයි. හිත අන්තිමටම. ඒක ඉතාමත් සියුම්. මමය, මාගේය කියල අල්ල ගන්නවා හිත. ඒ යෝගීන් එහෙම, මිථ්‍යාදෘෂ්ටික යෝගීන් අන්තිමට ගිහිල්ලා අල්ලගන්නෙ මේ හිතයි. විඤ්ඤාණයයි. ඒක ආත්මය හැටියට අල්ල ගත්තා. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා මේ හැම එකක්ම සංස්කාර ගොඩක්. සංස්කාර ගොඩක් උඩයි මේ විඤ්ඤාණය කියන මේ හිත තියෙන්නෙ. අන්න ඒක නිසා මේ විඤ්ඤාණයත් - කොටින්ම කියතොත් මේ හැම එකක්මත් - දුකක් හැටියට බුදුපියාණන් වහන්සේ දැක්වුවා. පංචස්කන්ධයම දුකක්, මේ භවයේ ඉන්නතාක්. මේක ඉතාම සියුම් අන්දමින් කල්පනා කරලා බලන කොට මුළු මහත් භවයම දුකක් කියලා. ඉතින් මේක කෙනෙකුට හිතා ගන්න අමාරුයි. අපි ඒකයි අර තවත් උපමාවකින් දක්වන්නෙ. බුදුපියාණන් වහන්සේ අසම සම වෛද්‍යවරයෙක් හැටියට දක්වන කොට රෝගයේ නියම තත්ත්වය කියන්න සිද්ධ වෙනවා. එහෙම පිටින්ම මේ රෝගය සුව කරන්න නම් මුළු මහත් සංස්කාර ගොඩෙන්ම මිදෙන්න ඕන. ඒ සංස්කාර තමයි අන්තිම අර අවම මට්ටමින් බැලුවහම අර කියාපු විදියට ක්‍රමක්‍රමයෙන් සංසිඳවගෙන ගිහිල්ලා අශ්වාස ප්‍රශ්වාස, ඊළඟට විතක්ක විචාර ඊළඟට සංඥා - වේදනා ආදී වශයෙන් සියුම් මට්ටමින් ගිහිල්ලා අන්තිමට මුළු මහත් වේදනාවන්ගෙන්, ඒවායින් මිදුනා. ඒකයි මේ නිවනට අවේදයිත සුඛයක් කියල කියන්නෙ. අවේදයිත සුඛයක්. මේ පින්වතුන් අහල ඇති මේ ලෝකයේ තියෙන්නෙ ඔක්කොම විඳීම් සුව, නිවන සංසිඳීම් සුවය. අනික් හැම එකක්ම විඳීම් සුවත් නිවන සංසිඳීම් සුවය. එතකොට අන්න ඒ සංසිඳීම - සංහිඳියාව - කරා යන ගමන තමයි මේ නිර්වාණ ප්‍රතිපදාව. ඒකට අදාළව තමයි බුදුපියාණන් වහන්සේ නිබ්බානපරමං සුඛං කියල මෙතෙන්දී වදාළේ. නිවන තමයි පරම සැපත. එතකොට අපි කල්පනා කර ගන්න ඕන අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස අර ලෞකික වශයෙන් හිතලා අපි මේ ලෞකික ජීවිතය කියල හිතන, එදිනෙදා ජීවිතය කියල හිතන, ඒ ජීවිතය පවා වෙනදට වඩා සැනසිලිදායකව අර කියපු අපි ආරම්භ කරපු ආකාරයට සැපය, සහනය, සැනසීම ඇතිව ජීවත් වෙන්න උපකාර වෙන ධර්ම කාරණා රාශියක් වගේම මෙතනින් සෑහීමකට පත්වෙන්නෙ නැතිව මේ මුළු මහත් සංසාර පැවැත්ම - මෙතෙක් කල් කරගන්න බැරිවුණු වැඩේ - මේ සසර කෙළවර කර ගැනීම. ඒකට උපකාරවන නිවන පිළිබඳව යම්කිසි අවබෝධයක් මේ කෙටි ධර්ම දේශනාව තුළින් මේ පින්වතුන්ට ලැබුණාය කියල හිතාගන්නට ඕන. මේ පින්වතුන්ට අර අපි නිතර මතක් කරන ආකාරයට නිවනට උපකාරවන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වඩා ගැනීමට හොඳ අවස්ථාවක් සැලසුනා. මේ ශක්තීන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන මේ බුද්ධ ශාසනය තුළදීම වෙන විශේෂ ප්‍රාර්ථනා නැත්නම් හොඳ හැටි භාවනා කරලා සීල, සමාධි, ප්‍රඥා වඩලා සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් සියලු සංසාර දුකින් මිදිලා අර කියපු සංසිඳීම් සුවය, පරම සුඛය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මශ්‍රවණමය කුසල සම්පත්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා! කියල ප්‍රාර්ථනා කර ගන්න. ඒවගේම යම්තාක් අවීචියේ සිට අකනිට්ඨා දක්වා සත්ත්වයින් සිටිනවා නම් තම තමන්ගේ ඥාතීනුත් ඇතුළු නිවන් කැමති පින් කැමති, මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල සම්පත්තිය අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් හැකිතාක් ඉක්මණින් මේ සංසාර දුක කෙළවර කරලා ජාති ජරා ව්‍යාධි සහ මරණ ආදී සියලු දුක්වලින් අත් මිදිලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිකරගෙන මේ විදියට ගාථා කියලා පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි ……………’ 22 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතො යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා - සඵලා හෝති පකුබ්බතො ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෝවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ ඒ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝකයාට ධර්මමචක්කප්පවත්තන සූත්‍රයෙන් ප්‍රථම වරට ධර්ම දේශනාව පැවැත් වූයේ අද වගේ ඇසළ පුරපසළොස්වක පෝය දවසකයි. අද පවා අපි මේ ධර්ම දේශනා පවත්වන්නෙ, එදා ඒ පළමුවරට පෙරළූ ධර්ම චක්‍රයේ ආනුභාවයෙනුයි. සද්ධර්මය, බුද්ධ වචනය, කියල කියන්නෙ එහෙම පිටින්ම සුභාෂිතයක්. මෙන්න මේ සුභාෂිත බුද්ධ වචනය, එය ප්‍රතිපත්තියට නොනගන තැනැත්තාට වර්ණවත් සුවඳ නැති මලක් වගේ නිෂ්ඵල වන බවත්, ඒක වර්ණ සම්පන්න වගේම සුවඳවත් මලක් බවට පත්වන්නෙ එය ප්‍රතිපත්තියට නගන කෙනාට බවත් ප්‍රකාශ කෙරෙන ගාථා දෙකකුයි අද අපි මාතෘකාව හැටියට තෝරා ගත්තේ. මේ ගාථා දෙක දේශනා කරන්ට යෙදුනෙ ඡත්තපාණී උපාසකතුමා හා සම්බන්ධ යම් කිසි කථා පුවතක් නිසයි. ඒක පොත පතේ දැක්වෙන්නෙ මෙහෙමයි. සැවැත්නුවර වාසය කළා ඡත්තපාණි කියල අනාගාමී, ඉතාමත් හොඳ ධර්ම ඥාණය ඇති උපාසක මහත්මයෙක්. එක දවසක්දා මේ උපාසක මහත්මයා බුදුපියාණන් වහන්සේ දකින්න ආවා, උදෑසනම. ඇවිත් ධර්ම කථාවකට සවන් දීගෙන ඉන්න අවස්ථාවේ පසේනදි කොසොල් රජ්ජුරුවෝ එතෙන්ට පැමිණියා. ඒක දැකලා මේ උපාසකතුමා කල්පනා කරනවා දැන් මේ සාමාන්‍ය චාරිත්‍රය හැටියට මම රජ්ජුරුවෝ දැකල නැගිට්ටොත් එහෙම ඒක ශාස්තෘන් වහන්සේට කරන අගෞරවයක්. මොකද, ඒක හරියට අග්‍රරාජයන් ළඟ ඉදිද්දී ප්‍රදේශ රාජයකු දැකල නැගිටීම වගේ දෙයක් වෙනව. මම දන්නවා දැන් ඒක මම නැගිට්ටෙ නැත්නම් රජ්ජුරුවෝ මා එක්ක තරහ වෙනව. ඒකට කමක් නෑ. ‘තරහ වුනාවේ’ කියල නොනැගිට හිටියා. ඒ වගේම රජ්ජුරුවන්ට මේක දැකල යම්කිසි අමනාපයක්, කෝපයක් වගේ දෙයක් ඇති වුනා. ඒ රජ්ජුරුවන්ගේ හිත දැකලා බුදු පියාණන් වහන්සේ රජ්ජුරුවන්ට අර උපාසක මහත්මයාගේ ගුණ ප්‍රකාශ කරනවා. මේ ඡත්තපාණී උපාසක උන්නැහේ බොහොම හොඳනරක තේරෙන - අනාගාමී කියල කිව්වේ නෑ - ආර්ය පුද්ගලයෙක්ය කියන හැඟීම දුන්න රජ්ජුරුවන්ට, වටිනා කෙනෙක් කියල. ඉතින් රජ්ජුරුවන්ගේ හිත ටිකක් මෘදු වුණා. පස්සේ දවසක රජතුමා රජමැදුරේ මතු මහල් තලයේ ඉන්න අවස්ථාවක දැක්කා ඡත්තපාණී උපාසක මහත්මයා කුඩයකුත් ඉහලාගෙන, පාවහන් දාගෙන රජමිදුලෙන් යනවා. දැකලා පණිවුඩ කරුවෙකු යැව්වා එන්න කියලා. ඒ පණිවුඩය ලැබුන හැටියෙම ඡත්තපාණි උපාසක තුමා ඒ කුඩෙන් ඉවත් කරලා, පාවහන් ඉවත් කරලා රජ්ජුරුවෝ දකින්න ආවා. ඇවිල්ල එකත් පසක හිටියාම, රජ්ජුරුවෝ අහනවා මොකද අර කුඩයත්, පාවහනුත් ඉවත් කළේ කියලා. එතකොට උපාසක තුමා කියනවා, ඔබ තුමා කථා කළා කියල කිව්ව නිසාය ඒක කළේ කියල. අදද අපි රජබව දැනගත්තෙ කියල අහුවා. නෑ අපි කවදත් දන්නවා දෙවයන්වහන්සේ රජබවත්. එහෙනම් මොකද අර එදා මා දැකලා නැගිට්ටේ නැත්තෙ? අන්න එතකොට කිව්වා අගරජ කෙනෙක් හමුවේ ඉද්දී ප්‍රදේශරාජයෙක් දැකලා නැගිටීම ඒ අග්‍රරාජයාට කරන අගෞරවයක් කියල හිතලා මම ශාස්තෘ ගෞරවය නිසා නැගිට්ටේ නැතෙයි කියලා. ඔන්න ඉතින් ඒකෙන් රජතුමා හිත සකස් කරගෙන, “හොඳයි ඒකට කමක් නෑ ඒ කාරණය තිබුණාවේ. මට අහන්න ලැබුන ඔය උපාසක උන්නැහේ බොහොමම ධර්මය දත් හොඳ - නරක දන්න කෙනෙක් කියල. ඒක නිසා බැරිද අපේ අන්තඃපුර බිසොවුන්ට ධර්මය දේශනා කරන්න.” ඒකනම් බැරිය කියල කිව්වා. මොකද කියල ඇහුවම කිව්ව, මේ රජගෙදර කියන එක බොහොම යුතු අයුතුකම් තෝරාගන්න අමාරු බොහොම බරපතල වැරදි වලටත් පටලැවෙන විදියේ තැනක්ය කියලා. එතකොට රජ්ජුරුවෝ කියනවා එහෙම කියන්න එපා මා එදා දැකලා නැගිට්ටේ නැතෙයි කියල ඒකට කුකුසක් ඇතිකර ගන්න එපාය කියල. නමුත් උපාසක තුමා නැවතත් කියනවා. ඒ නිසා නෙවෙය ගිහියෙක් ඒ වගේ කටයුත්තක යෙදෙන කොට නොයෙකුත් ප්‍රශ්න පැන නගිනවා. පැවිදි කෙනෙක්, සංඝයා වහන්සේ කෙනෙක්, ඒ සඳහා වැඩම කරන්න සලස්සව ගන්න කියල. ඉතින් රජතුමාත් හොඳයි එහෙනම් යන්න උපාසක උන්නැහේ කියල යවලා ඉවර වෙලා බුදුපියාණන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා නිතිපතා සංඝයා වහන්සේලාත් සමග ඇවිල්ල ධර්මය දේශනා කරන්න අපේ බිසෝවරුන්ට. මොකද මේ මල්ලිකා දේවියත් වාසභඛත්තියා බිසවත් බණ අහන්න ඕනෙයි කියල නිතර කරදර කරනවය. නිතර ඉල්ලා හිටිනවා කියල. බුදු පියාණන් වහන්සේ වදාළා බුදුවරු එහෙම එක තැනකටම නිරන්තරයෙන් යන්නෙ නෑ කියලා. එහෙනම් අපට එක භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන්න කියල කිව්වම බුදුපියාණන් වහන්සේ ඒ කටයුත්ත භාර කළා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඉතිං ආනන්ද ස්වාමීන් වහන්සේ නිතිපතා රජගෙදරට යමින් ඒ මල්ලිකා දේවියටත්, වාසභඛත්තියා බිසවටත් ධර්මය දේශනා කරනවා, කියල දෙනවා. එක දවසක් බුදු පියාණන් වහන්සේ අහනවා “කොහොමද ආනන්ද, උපාසිකාවන් ධර්මය ඉගෙන ගන්නවද?” “එහෙමයි ස්වාමීනි” කවුද වැඩිය හොඳින් ඉගෙන ගන්නෙ? මල්ලිකා දේවිය නම් හොඳට ඉගෙන ගන්නව භාග්‍යවතුන් වහන්සේගේ ඥාති දියණිය වන වාසභඛත්තියා හරියට ඉගෙන ගන්නෙ නැතෙයි කියල කිව්ව. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුපියාණන් වහන්සේ අපි අර මාතෘකා වශයෙන් ඉදිරිපත් කළ ගාථා දෙක දේශනා කළේ. මේ ධර්මය හරියට අර්ථවත් වෙන්නෙ ඒක හරියට ඉගෙන ගෙන, ඒක දරාගෙන ඒක ක්‍රියාවට නගන කෙනාටයි කියන ඒ අදහස දෙමින් තමයි ඒ ගාථා දෙක වදාළේ. අපි ඒවායේ අර්ථයන් පැහැදිලි කර ගන්න බලමු. යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතො “යම්සේ රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ නැත්තේ වේද, එසේම සුභාෂිත වචනය එය ක්‍රියාවට නොනගන තැනැත්තාට නිෂ්ඵල වේ.” ඊළඟට අනික් ගාථාව :- යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා - සඵලා හෝති පකුබ්බතො “යම්සේ රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද, එසේම සුභාෂිත වචනය එය ක්‍රියාවට නගන තැනැත්තාට ඵලවත්වේ.” ඵල ප්‍රයෝජන ඇත්තේ වෙයි කියල. ඒ විදියට ඒ ගාථා දෙක වදාළ. එතකොට ඒ ගාථාවල නිදාන කථාව එහෙමයි. ඉතින් මේකේ ගාථාවල අර්ථයට බහින්න කලින් අපි මෙතෙක් මේ ප්‍රකාශ කළ නිදාන කථා වස්තුවෙනුත් යම් යම් ආදර්ශ වශයෙන් ගතයුතු දේවල් තියෙනවා. දැන් මේ ඡත්තපාණී උපාසක තුමා ඇත්ත වශයෙන්ම අන්න අර කියාපු විදියේ වටිනා චරිතයක්. අර සුවඳවත් මලක් වගේ බුද්ධ දේශනාව අනුව ඇතිකරගත්තු වටිනාකම් ‘සාරධර්ම’ අනුව ජීවත්වන කෙනෙක් බව ධර්ම ශක්තිය ඇති කෙනෙක් බව, ඒ කියාපු සිද්ධිය තුළින් අපට තේරුම් ගන්න පුළුවන්. රාජ ගෞරවයට වඩා ශාස්තෘ ගෞරවයට ඉඩ දෙමින් ඒ නිලතල ආදියට යට නොවී, එක්තරා ධර්ම ශක්තියක් ඇතිව ක්‍රියාකළ ආකාරය අර ඒ බුදුපියාණන් වහන්සේ ඉදිරියේ රජ්ජුරුවෝ දැක්කහම නොනැගිට ඉඳීමෙන් පේනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ කාලේ අයටත් හොඳ ආදර්ශයක්. මොකද, ධර්මයටයි මුල් තැන දිය යුත්තේ. ඒ විධියේ ඒ රාජ්‍ය බල ආදී ඒවාට නිවට නියාලු වන එක ධර්මයට කරන මදිකමක්. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණය. රජ්ජුරුවෝ ආරාධනා කළාම සිතේ යම් කිසි ප්‍රසාදයක් ඇති කරගෙන, අර බිසෝවරුන්ට ධර්ම දේශනා කරන්නෙයි කියලා, සාමාන්‍ය කෙනෙක් නම් ඔන්න ඉතින් හොඳ ලාභ සත්කාර ලබා ගන්න රාජ පූජිත වෙන්න හොඳ අවස්ථාවක් කියල ඒක බොහොම හොඳයි දෙවයිනි, මම හෙටම එන්නම් එහෙම නැත්නම් අදම එන්නම් කියල ඒක බොහොම ඉහළින් පිළිගන්න, භාරගන්න විදියේ දෙයක්, බිසෝවරුන්ට බණ කීම. නමුත් මේ උපාසක උන්නැහේ දූරදර්ශීව කල්පනා කළා මේකේ තියෙන භයානකකම. මේවායින් නොයෙකුත් පටලැවීම් ඇති වෙන්න පුළුවන් බව තේරුම් අරගෙන අන්න ඒ අවස්ථාවේදීත් ඒ පාවිච්චි කළ වචනය රජතුමාගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිය තිබීම. ඒක බොහොම වටිනා ගුණයක්. අපි ඒ තුළින් තේරුම් ගන්න ඕන. අන්න අර වර්ණවත් සුවඳ ඇති මලක් වගේ ඒ ඡත්තපාණී උපාසක තුමාගේ චරිතය පිටුපසින් තිබෙනව. දැන් අර බිසෝවරු පිළිබඳ පුවෘත්තිය, එතන ඒතරම් වැදගත් වෙන්නෙ නෑ. ඒක ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ අපට දැක්වූ කාරණය මොකක්ද, ප්‍රධාන කාරණය, මේ ධර්මය කියන එක ඉගෙනීමට සීමා කළ යුතු දෙයක් නොවෙයි. මේක ප්‍රතිපත්තියට නැගුවාම තමයි මේ ධර්මයේ නියම ශක්තිය, ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නෙ. අර කොච්චර ලස්සන උනත් මලක්, ඒකේ සුවඳ නැත්නම් ඒක හරියට කඩදාසි මලක් වගෙයි. කඩදාසි මලකින් නියම ප්‍රයෝජනයක් නෑ. අන්න ඒ කාරණයයි මෙතැනින් පෙන්නුම් කරන්නෙ. ඉතින් මේක ආශයෙන් අපි දැන් කල්පනා කරලා බලමු මේ සද්ධර්මය ගැන. මේ සද්ධර්මය ගැන අපි කියන කොට මේ පින්වතුන්ට සිහියට නගාගන්ට පුළුවන් ධර්ම ගුණ හය. මේ කවුරුත් දන්නවනෙ ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණ හයක් තිබෙනව. මෙන්න මේ ගුණ හය තේරුම් කරපු ආකාරයෙනුත් අපට හිතා ගන්න පුළුවන් මේ සද්ධර්මය ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියට නැගීමට අභියෝගයක් වගේ දෙයක්. කෙටින්ම කියතොත් මේ ස්වාක්ඛාත වචනය බුදු පියාණන් වහන්සේ තෝරලා දුන්නෙ මේ විදියටයි. “මහණෙනි දුරක්ඛාත ධර්ම විනයේ - දුරක්ඛාත කියල කියන්නෙ දැන් ස්වාක්ඛාත කියල කියන්නෙ හොඳින් දේශනා කරන ලද, මැනවින් දේශනා කරන ලද, දුරක්ඛාත කියල කියන්නෙ නරක විදියට වැරදි විදියට දේශනා කරන ලද. ඒ වචන දෙක එහෙම තේරුම් ගත්තා නම් ඔන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඨය තේරුම් ගන්න පුළුවන් වෙනවා.”මහණෙනි දුරක්ඛාත ධර්ම විනයෙහි කුසීතයා සැපයෙන් වාසය කරනවා.” ඒ කියන්නෙ වැරදි විදියට එහෙම නැත්නම් හරියට දේශනා නොකරන ලද ධර්මයේ, ඒ ධර්ම විනය කියල කියන්නෙ ඒ ශාසනයේ, කුසීතයා, අලස මිනිහයි හොඳින් සැපයෙන් වාසය කරන්නෙ. ස්වාක්ඛාත ධර්ම විනයෙහි වීර්යවන්තයයි සැපයෙන් වාසය කරන්නෙ. හොඳින් දේශනා කරන ලද ධර්මයෙහි, ඒ ශාසනයක වීර්යවන්තයයි සැපයෙන් වාසය කරන්නෙ. මෙතැන බොහොම ගැඹුරු කාරණයක් කියවෙනව. මොකද අතන අර කුසීතයා සැපයෙන් වෙසෙනවා කියල කිව්වේ දුරක්ඛාත ධර්ම විනයේ? ඒ තුළින් අපට ඒ වචනයේ අර්ථයන් ගන්න පුළුවන්. දැන් අපි කිව්වනෙ වැරදි විදියට, එහෙම නැත්නම් නරක විදියට දේශනා කරන ලද ධර්මය කියන ඒ අදහස එනවා කියල දුරක්ඛාත කියන පදයේ. එතන අදහස මොකද? යම් ඉලක්කයක් ඉදිරිපත් කරනවා නම් ධර්මයකින් ඒ ඉලක්කය ඒ ධර්මය පිළිපැදීමෙන් ලැබෙන්නෙ නැත්නම් ඒක දුරක්ඛාත ධර්ම විනය. ස්වාක්ඛාත ධර්ම විනය කියල කියන්නෙ එයින් ඉදිරිපත් කරන දේ මේ මේ දේ - මේ ධර්මයෙන් ලබා දෙනවා කියල කිව්වොත් ඒක හරියාකාරව ඉෂ්ට වෙනවා. එතකොට නිෂ්ඵලයි අර යම් කිසි දුරක්ඛාත ධර්ම විනයක උත්සාහ දැරුවොත්, ඒක අප්‍රාර්ථ උත්සාහයක්. ඒකෙන් වැඩක් නෑ. ඒකයි කුසීතයා සැපෙන් වාසය කරනවා කීවේ. ස්වාක්ඛාත ධර්ම විනය ඵලවත් ධර්මයක් නිසා බලාපොරොත්තු වන ඉෂ්ටාර්ථ සදා දෙන නිසා, ඒ ශාසනයේ අන්ත වශයෙන්ම වීර්යවන්තයයි ඒ කියාපු ප්‍රතිඵල ලබාගෙන සතුටට පත් වෙන්නෙ, සැපසේ වාසය කරන්නෙ. ඔය අදහස. ඒ ස්වාක්ඛාත පදය. ඒක ආශයෙන් ඊළඟට අනික් පදත් තේරුම් ගනිමු. මේ පින්වතුන් යම් යම් ප්‍රමාණයකට ඒවා ගැන අහල ඇති. සන්දිට්ඨික. ඊළඟට මේ ධර්මයේ විශේෂත්වය ඒතනයි. මහ ගැඹුරු අදහසක් එතන කියවෙන්නෙ. මේ ධර්මය ‘දැන් කරන්න ඊට පස්සේ ප්‍රතිඵල ලැබෙනව’ කියල කියන ඒ වගේ දෙයක් නෙවෙයි. සන්දිට්ඨිකයි මෙලොවම, ඇස් පනාපිටම, දකින්න පුළුවන් එහි ප්‍රතිඵල - ඒක විශේෂයි. සන්දිට්ඨික කියල කියන්නෙ අර ‘දිට්ඨේව ධම්මේ’ කියල කියන්නා වගේ මෙලොවම, මේ ජීවිතයේදීම අන්දකින්න පුළුවන්. ඊළඟට අකාලික කියල කියන්නෙ, කල් නොයවාම කියන්නෙ, ඒ කරන උත්සාහයත් ප්‍රතිඵලයත් අතර පරතරයක් නෑ. කොටින්ම කියතොත් මාර්ගයත් ඵලයත් අතර පරතරයක් නෑ. යම් ප්‍රතිපත්ති මාර්ගයක යෙදෙනවා නම් ඒ මාර්ගය අවසාන වෙන්නෙ ඵලයෙන්මයි. ආයි එතැන අතර තුරක් නෑ කියන අදහසින් අකාලික, කාලපරතරයක් එතැන නෑ - අකාලික. සන්දිට්ඨික, අකාලික. ඒහිපස්සික කියල කියන්නෙ මේ ධර්මය තුළම තියෙනවා ‘එහි බලව’ කියන අභියෝග ශක්තියක්. ඒ කියන්නෙ මේ ධර්මය ක්‍රියාත්මක කරලා බලන්න කියල ධර්මයම කෑගහලා කියන්නා වගේ දෙයක් මෙතන තියෙනව. ඊළඟට ඕපනයික කියල කියන්නෙ ‘එව බලව’ කිව්ව නම් ඊළඟට - ඒක ළඟට - තියෙන්නේ එක්කගෙන යාම, කැඳවාගෙන යාම, උපනයති කියල කියන්නේ සමීපයට එක්කරගෙන යාම. කොහාටද එක්කරගෙන යන්නේ? වෙන බාහිර තැනකට නෙවෙයි. හදවත තුළට ඇතුළට. ඕපනයික කියල කියන්නේ. මේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය ඇතුළතින්ම අන්දැකිය යුතු නිසා මේක පමුණුවා ගත යුත්තේ, මේ ධර්මය පමුණුවා ගත යුත්තේ ඇතුළතටමයි. ඊළඟට ඒක නිසාම තමයි අවසාන වශයෙන් කියන්නෙ ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ නුවණැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයක්. වෙන කෙනෙකුට පෙන්නන්න බෑ. තම තමන්ට මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගිහිල්ල ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයක්. ඔන්න එතකොට ඒක ආශයෙන් අපට පේනවා ධර්මය එක පැත්තකින් වීර්යවන්තයන්ට අභියෝගයක්, මේක, මේ ධර්මය ක්‍රියාවට නගලා මෙයින් ප්‍රතිඵල ලබා ගන්න කියල. ඉතින් අන්න ඒ විදියේ වටිනා අදහසක් එතැන කියවෙනව. ඊළඟට අපි බලමු දැන් මේ බුදුපියාණන් වහන්සේ, දැන් අපි මුලදීම සඳහන් කළා ධර්මමචක්කප්පවත්තන සූත්‍රයෙන්ය මේ ධර්ම දේශනා ආරඹුවේ කියල. කෙටින්ම ප්‍රථම ධර්ම දේශනාව වශයෙන් අපේ ශාසනයේ දැක්වෙන්නෙ ධර්මමචක්කප්පවත්තන සූත්‍රයයි. ඇත්ත වශයෙන්ම ඒකේ හරයත් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්නයයි. බුදු පියාණන් වහන්සේ ඒ දේශනාවෙන් ලෝකයාට දක්වා වදාළේ එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක්, අන්ත දෙකක් මැදින් යන ප්‍රතිපදාවක්, මොකක්ද අන්ත දෙක? කාමසුඛල්ලිකානුයෝග කියන කාම සුඛයේ ඇලී ගැලී සිටීම එක අන්තයක්, අනික් අන්තය අත්තකිලමථානුයෝගය කියල කියන අර ඒ කාලේ නිගණ්ඨයින් ආදී ඒ විවිධ ශාස්තෘවරුන් එහෙම දැක්වූ, අන්‍ය තීර්ථකයින් දැක්වූ, අධික ලෙස කයට වද දීමෙන් විමුක්තිය ලබා ගැනීමේ උත්සාහය. ඒ දෙකම අතහැරලා බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව නමින් අමුතුම ප්‍රතිපත්ති මාර්ගයක් දැක්වුවා. ඒක කෙටියෙන් දැක්වෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්. මේ පින්වතුන් කවුරුත් ඒවා යම් යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තිබෙනව. පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ පූර්ණ පරිවර්තනයක් කරන්ට සමත් පියවර අටකින් යුක්ත, අංග අටකින් යුක්ත, මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල කියන. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නෙ මැදුම් පිළිවෙතක් හැටියටයි. අන්න එතකොට ඒ මැදුම් පිළිවෙත කියල කියන ඒ කාරණයටයි අපි ඊළඟට එන්නෙ. මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ තියෙන්නෙ අපි අර කලින් කියාපු වීර්යයමයි. මේ වීර්යය යෙදෙන ආකාරයක් තියෙනවා මධ්‍යම ප්‍රමාණයකට, එහෙම නැත්නම් එක්තරා වීර්ය සමතාවක් දැක්වෙන විදියේ ප්‍රතිපදාවක්. ඉතින් ඒකේදී අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ විදියට. දැන් බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා වායාම කියලා එකක්. සම්මා වායාම කියල කියන්නෙ නියම වීර්යයක්. හරි ව්‍යායාමය කියල කියන්නෙ එතන නියම ආකාරයෙන්ම වීර්ය දැරිය යුතු හැටි. ඒකම හඳුන්වනව සම්මප්පධාන කියල. මේ ‘පධාන’ කියල කියන්නෙත් උත්කෘෂ්ට ප්‍රයත්නය කියන අර්ථයෙන්, බොහෝ දුරට සමාන අර්ථවත් වචන - වායාම, විරිය, පධාන කියන ඒවා. ඉතින් මෙන්න මේ සම්මප්පධාන නමින් හඳුන්වන, එහෙම නැත්නම් සම්මා වායාම නමින් හඳුන්වන, වීර්යය බුදුරජාණන් වහන්සේ හතර ආකාර හැටියට දක්වලා තියෙනවා. ඒවා කෙටියෙන් හඳුන්වන්නෙ මෙන්න මේ වචන වලින්. සංවර, ප්‍රහාන, භාවනා, අනුරක්ඛණ. සංවර කියල කියන්නේ වැසීම - අපි කෙටි තේරුම ගත්තොත්. පහාන කියල කියන්නෙ ඉවත් කිරීම. භාවනා කියල කියන්නෙ වැඩීම, අනුරක්ඛණ කියල කියන්නෙ රැක ගැනීම. ඉතින් මොකද මේ වීර්යය හතර ආකාර කරලා දැක්වුයේ කියන එක අපි ඊළඟට කල්පනා කර බලමු. බුදු පියාණන් වහන්සේ මේ චිත්ත සන්තානය ගලා යන ගඟක් වගේ එකක් කියල තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ගලා යන ගඟක් වගේ ගති ස්වරූපය ඇති - ගති ස්වරූපය කියල කියන්නෙ අර ගමන් කරන, ගලා යන කියන අර්ථයෙන් - ඒ ගතිලක්ෂණය, එහෙම නැත්නම්, ගති ස්වරූපය ඇති දෙයක් හැටියට මේ හිත පිළිබඳව බුදුපියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒක නිසාම මේ වීර්යය ඉතාම සීරුවෙන් දැරිය යුතු එකක්, ක්‍රමානුකූලව. ඇත්ත වශයෙන්ම ඒක හතර ආකාර වෙනවා. ඒකට නිදසුනක් හැටියට ගන්න පුළුවන් - දැන් මේ පින්වතුන් දන්නවා වේගයෙන් ගලා යන ගඟක් හරහා වේල්ලක් බඳිනවා නම් ඒකට හතර ආකාර උත්සාහයක් අවශ්‍යයි. ඒ වේල්ල බැඳීමට කලින් අර ගලා එන අනවශ්‍ය ජලය වළක්වන්න ඕන. වසා දමන්න ඕන. ඊළඟට එතන රැඳිලා තියෙන අනවශ්‍ය ජලය ඉවත් කරන්න ඕන. ඒ අතරේ අර භාවනා කියන අර්ථයෙන් මෙතන මේ අපි ඊළඟට කියන්නෙ ඒ වේල්ල බැඳීම පිළිබඳ යම් කිසි ආරම්භක කටයුතු. ඒ ඒ දේවල් රැස් කරලා එතන වේල්ල බඳින්න පටන් ගන්න ඕන. ඊළඟට අනුරක්ඛණ කියන වචනයට ගැලපෙන ආකාරයට ඒක පිළිබඳ රැක්මක් යෙදෙන්න ඕන. ඒක රැක ගන්ට ඕන. ඒක ආයිත් ගසාගෙන යන්නෙ නැති විදියට ඒක තහවුරු කර ගන්න ඕන. ඔන්න ඔය කාරණා හතර ප්‍රකාශ වෙනවා ඇත්ත වශයෙන් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ අර සතර සම්මප්පධාන කියන එකේ විග්‍රහයෙන්. අපි මේ තරම් කියන්නේ මොකද, මේ වීර්යය පිළිබඳව දැන් මේ කාලේ නොයෙකුත් අයගේ මතයක් තියෙනවා මේ සිත පිළිබඳ කටයුතු ගැන. මේක වීර්යයක් ව්‍යායාමයක්, උත්සාහයක්, ප්‍රයත්නයක් යෙදිය යුතු දෙයක් නෙවෙයි. හිත ඔහේ යන හැටියට බලාගෙන ඉන්න ඕන කියල. ඇත්ත වශයෙන්ම බෞද්ධ ප්‍රතිපදාවේ මේ තරම් ශ්‍රේෂ්ඨ හැටියට බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත පිළිබඳ මූලධර්ම තේරුම් නොගැනීම නිසා මේ කාලේ බොහෝ දෙනා මේක ‘නිකම් ඉඳීමක්’ බවට පත්කරගෙන තියෙනවා. මේ ධර්මය ගැන හරි අවබෝධයක් නැති යම් යම් දාර්ශනිකයන් ඉදිරිපත් කළ මත ඔස්සේ ගිහිල්ල මේ ශාසනයේ තියෙන ප්‍රතිපත්ති මාර්ගය ගැන හරි අවබෝධයක් නැතිව මේක ‘නිකම් ඉඳීමක්’ හැටියට තේරුම් කරනවා. නමුත් ඒ විදියට හිත යන හැටියට ඔහේ යන්න දීලා බලාගෙන හිටියොත් මේකෙ වැඩේ කෙරෙන්නෙ නෑ. අන්න අර වේල්ල බැඳීම පිළිබඳ කතන්දරයයි හිතාගන්න තියෙන්නෙ. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ ඇත්ත වශයෙන්ම ඒක හකුළුවලා දක්වනවා නම් ශීල, සමාධි, ප්‍රඥා. ශීල, සමාධි, ප්‍රඥා කියල කියන ත්‍රිවිධ ශික්ෂාවයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන්නෙ. ශීලය කියල කියන්නෙ කය, වචනය පිළිබඳව තියෙන හික්මීම. සමාධිය කියල කියන්නෙ හිත එක්තැන් කර ගැනීම. ප්‍රඥාව කියල කියන්නෙ අර අවසාන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වශයෙන් දැකීම. ඉතින් ඒක ගොනු කරලා තියෙන ඉතාමත්ම පැරණි ගාථාවක් දැන් මේ පින්වතුන් නිතර ආරක්ෂක ගාථාවක් හැටියට පවා පාවිච්චි කරනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං අපි ඒක සිංහලයට නගලා තියෙනවා. මේ පින්වතුන් අහලත් ඇති. හැම පවින් වැළැකු ම කුසල් වෙතටම එළැඹු ම සිත පිරිසිදු කැරැ ම සස්න මෙයමැයි හැම බුදුන්ගෙ ම මේක සනාතන ධර්මතාවක් හැම බුදුන්ගෙම - බුද්ධානුසාසනාව නොවෙයි, බුද්ධානං සාසනං - හැම බුදුවරුන්ගෙම පණිවුඩය මේකයි. ඒක තුළ තියෙන්නෙ ශීල, සමාධි, ප්‍රඥා. පවින් වැළකීම කියල කියන්නෙ ශීලය. කුසලස්ස උපසම්පදා කියල කියන්නෙ සමාධියට, ඒ ධ්‍යානවලට එළඹ වාසය කරනවා කියල කියන එකයි. කුසල චිත්ත ඒකග්‍රතා වශයෙන් සලකුවාම, අන්න කුසලයට එළඹීම කියන එක තුළ තියෙන සමාධි චිත්තය කියවෙනවා. ඊළඟට ‘පඤ්ඤාය පරිසුජ්ඣති’ කියල ධර්ම පාඨයක් තියෙනවා, බුද්ධ වචනයක් තියෙනවා. ඒ ආශයෙන් අපට හිතාගන්න පුළුවන් අවසාන වශයෙන් ප්‍රඥාවෙන් තමයි පිරිසිදුකම ලැබෙන්නෙ. සිත පිරිසිදු කිරීම ඉහළම මට්ටමින් කෙරෙන්නෙ ප්‍රඥාවෙන්. ඉතින් මේ ත්‍රිවිධ ශික්ෂාව පුරන්න වීර්යයක් අවශ්‍යයි, ව්‍යායාමයක් අවශ්‍යයි. ඒක නිකම් කෙරෙන්නෙ නෑ. ඉබේ කෙරෙන්නෙ නෑ. මේක නිකම් හිත දිහා බලං හිටි පමණින් කෙරෙන්නෙ නෑ. ඒ වීර්යය සීරුවෙන් කළයුත්තක්, ක්‍රමානුකූලව කළ යුත්තක්, අනුපිළිවෙලින් කළයුත්තක්. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ අර මහ මුහුද, මහා සමුද්‍රය, ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු වෙන්නා වගේ මගේ ශාසනයේ තියෙන්නෙ අනුපිළිවෙලක්. අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බප්‍රතිපදා - අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාදාමයක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. අන්න ඒ විදියේ මහ පුදුම අන්දමේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවෙන් බැඳුනු, පුදුම අන්දමේ ක්‍රියාවලියක් තුළිනුයි මේ විමුක්තිය ලබාගන්න පුළුවන් වන්නෙ. ඉතින් ඒක තව දුරටත් අපට පැහැදිලි වෙනවා අර සතර සම්මප්පධාන නමින් හඳුන්වලා තියෙන එකෙන්. ඒක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. ඒක ඒ වගේම ප්‍රායෝගිකයි. අර බුද්ධිවාදීන්ට, අන්ත වශයෙන් අර බුද්ධියටම මුල් තැන දෙන කෙනාට මේ ධර්මයේ නියම රසය විඳින්න බෑ. නියම සුවඳ ලබාගන්න බෑ. නමුත් මෙන්න මේ ‘සම්මප්පධාන’ තුළිනුයි ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් සතර සම්මප්පධාන මේ විදියටයි හඳුන්වලා තියෙන්නේ. අපි ඒ පාලි පාඨ කිව්වට ඒවට සිංහල වචනය යොදනව. හිතේ තියා ගන්න, සමහර විට මේවා පිළිබඳ ගැටළු අවොත් විසඳගන්න පුළුවන් වෙන්න, අපි ඉස්සෙල්ල පාලි පාඨයක් කියනව. මෙන්න මේ විදියටයි තිබෙන්නේ. “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධර්මමානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති” ඒ පාඨයේ තේරුම කිව්වම අනික් ඒවා තේරුම් ගන්ට පහසුවෙනවා. නූපන් අකුසල් නූපදවීම සඳහා ‘ඡන්දං ජනෙති’ කියල කියන්නෙ කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. ‘වායමති’ කියල කියන්නෙ වෑයමක් දරනවා. ‘විරියං ආරභති’ කියල කියන්නෙ වීර්යයක් ආරම්භ කරනවා. “චිත්තං පග්ගණ්හාති” කියල කියන්නෙ සිත දැඩිව පිහිටුවා ගන්නවා, අධිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට ‘පදහති’ කියල කියන්නෙ අන්න උත්කෘෂ්ටම ප්‍රයත්නයක් - දිවි නොතකා දරණ විදියෙ උත්කෘෂ්ට ප්‍රයත්නයක් - යෙදෙනවා. ඉතින් ඔන්න ඔය පද මාලාව යෙදෙනවා සතර සම්මප්පධානය පිළිබඳව. පළවෙනි එක එතකොට අපි කිව්වා නූපන් අකුසල් නූපදවීම සඳහා. ඒක හරියට අර සංවර කියන එකයි. ඊළඟට උපන් අකුසල් නෙරපා හැරීම සඳහා - උප්පන්නානං පාපකානං අකුසලානං ධර්මමානං පහානාය. උපන්නාවූ අකුසල් ප්‍රහානය කිරීම සඳහාත් ඒ විදියටම අර කියාපු ඡන්ද ආදියත් යෙදෙන්ට ඕන. ඊළඟට අපි කීවේ අර භාවනා පැත්තට ගැනෙන එක තමයි. ‘අනුප්පන්නානං කුසලානං ධර්මමානං උප්පාදාය’ නූපන්නාවූ කුසල් ධර්ම ඇතිකර ගැනීම සඳහාත් අර වගේ උත්සාහයක් දරන්ට ඕන. ඊළඟට අවසාන වශයෙන් කියන්නෙ උප්පන්නානං කුසලානං ධර්මමානං ඨිතියා අසම්මෝසාය භීය්‍යෝභාවාය වෙපුල්ලාය භාවනාය, පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති. අර බැම්ම තහවුරු කරන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි නෙ. ඒක වෙන්න ඇති වචන රාශියක් එතන තියෙන්නෙ. උපන්නාවූ කුසල ධර්මයන් ‘ඨිතියා’ ඒවා ස්ථාවර කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා, ‘අසම්මෝසාය’ ගිලිහී යා නොදීම සඳහා, ‘භියෝභාවාය’ ඒවා වැඩි කර ගැනීම සඳහා, වැඩි දියුණු කර ගැනීම සඳහා, ‘වෙපුල්ලාය’ එහි විපුලත්වයට, මහත්වයට පැමිණවීම සඳහා ‘පාරිපූරියා’, සම්පූර්ණත්වයට පැමිණවීම සඳහා, අර වගේම ඡන්දයක් වෑයමක් වීර්යයක් ඒ වගේම උත්කෘෂ්ට ප්‍රයත්නයක් දරන්ට ඕන කියන එකයි. එතකොට ඔන්න ඔය කියවුන සතර සම්මප්පධාන කොයි තරම් පුදුම අන්දමින් බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවද, මේ සිත් ස්වභාවය අනුව. අර කියාපු ගඟක් වගේ ගලාගෙන යන සිතක්. ඒක බොහොම සීරුවෙනුයි කළ යුත්තේ. මේ වේල්ල බැඳීම කියන එක. ඒ වගේම තමයි මේ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා අර හතර ආකාර වීර්යය අවස්ථානුකූලව යෙදෙන්ට ඕන. ඊළඟට ඒකත් තවත් ඈතට යනවා. දැන් අපි තවත් කල්පනා කරලා බලනවා නම් අර වචන රාශියක් බුදු රජාණන් වහන්සේ මොකටද මේ යෙදුවේ වීර්යය පිළිබඳව. එතනත් තියෙනවා මහ පුදුම විදියේ ආරෝහණ ක්‍රමයක්. බුදු පියාණන් වහන්සේ මේ අපේ සිත යමකට යොමු වෙලා ඒක උත්කෘෂ්ට වීර්යය දක්වා යන චිත්ත පරම්පරාව වචන කීපයකින් හඳුන්වලා දීලා තියෙනවා. ඡන්දං ජනෙති කියල කියන්නෙ ඕනකමක් ඇති කර ගන්නවා. පළමුවෙන්ම ඕනකමක් ඇති වෙන්ට ඕන. කැමැත්තක් ඇති වන්ට ඕන. ඒකයි ආරම්භය. ඒකයි යොමු වීම. ඊළඟට වෑයමක් කරනවා. වෑයම කියන වචනය තුළ තියෙනවා එක්තරා ‘කරන්න පුළුවන්ද’ කියල බැලීමක්, මූලික උත්සාහයක්, ප්‍රයත්නයක්. ඊළඟට ‘විරියං ආරහති’ ඔන්න හරි ආකාරයටම වැඩෙට බහිනවා, වැඩේ ආරම්භ කරනවා. එහෙම කරගෙන යන අතරේ ඊළඟට බාධක එනවා. ඒ අවස්ථාවේදී තමයි ‘චිත්තං පග්ගණ්හාති’ කියන ආකාරයට සිත දැඩිව පිහිටුවා ගන්න ඕන. අධිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කර ගන්න ඕන. එහෙම අධිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කරගෙන ඔන්න ඊළඟට කරන්න බැරි හැටියට පෙනුන ඒ වැඩේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ‘මේක අවශ්‍යයෙන්ම කළ යුත්තක්’ කියල තේරුම් අරගෙන උත්කෘෂ්ට ප්‍රයත්නයකින් තමයි කාර්ය සාධනය කර ගන්නෙ. ඒකටයි පදහති කියන වචනය. මේ වීර්යය පිළිබඳව යෙදෙන පද මාලාවේ උත්කෘෂ්ටම වචනය නමයි ප්‍රධාන කියන වචනය. ඒක අර අපේ සාමාන්‍ය සිංහල භාෂාවේ ‘ප්‍රධාන’ කියන අර්ථය නොවේ. පාළි භාෂාවේ ප්‍රධාන කියලා යෙදෙනවා මේ උත්කෘෂ්ට වීර්යය කියන අර්ථයෙන්. ඔන්න එතකොට ඒ ‘ඡන්ද’ ආදී ඒ කාරණය පිළිබඳවත් මේ පින්වතුන්ට කෙටියෙන් සඳහන් කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ බෝධිපාක්ෂික ධර්ම අතර ඇතැම් විට මේ පින්වතුන් සමහරු අහලත් ඇති, වීර්යය පිළිබඳව ඔය සතර ආකාර සම්මප්පධානය වගේම වැදගත් කාරණයක් තිබෙනව. ප්‍රතිපදාව පිළිබඳව උනන්දු අයට එතන ඉද්ධිපාද හතරක් ගැන කියවෙනව. ඉද්ධිපාද - ඉද්ධි කියන එක අපි සෘද්ධිය කියල කියන කොට අපිට එකපාරටම හිතෙන්නෙ කවුරු හරි අහසින් යන එක. නමුත් පින්වතුනි සෘද්ධිය කියල කියන්නෙ ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සාර්ථක කර ගැනීම, කියන අර්ථවත් වචනයක්. එදිනෙදා ජීවිතේ පවා යමක් පිළිබඳ සමෘද්ධියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන දේවල් තමයි ඉද්ධිපාද කියල තියෙන්නෙ. පාද කියල එතනත් යෙදෙන්නෙ සමෘද්ධ කර ගැනීමට උපකාර වන කාරණා. ඒ විදියේ කාරණා හතරක් බුදුපියාණන් වහන්සේ මතුකරලා දක්වනවා මෙන්න මේ විධියට, ඡන්ද, විරිය, චිත්ත, වීමංසා කියල. ඒවා ඇත්ත වශයෙන් මෙතන කියවුනා යම් යම් ආකාරයකට, දැන් ඡන්දං ජනෙති, වායමති ආදී වචනවලින් කියවෙච්ච ඒ වීර්යයෙම සාරයම තමයි මෙතන මේ ඉද්ධිපාද හැටියට දැක්වෙන්නේ. ඇත්ත වශයෙන්ම බුදුපියාණන් වහන්සේ දක්වන ආකාරයට අර කියාපු විදියට මේ හතර ආකාර සම්මප්පධානයේ යෙදෙන පින්වතාට, ඒ යෝගාවචරයාට, තමාගේ චරිතානුකූලව යම් කිසි දෙයක්, එහෙම නැත්නම් තමන් කරන ප්‍රයත්නය පිළිබඳ සාර්ථකත්වයේ රහස, තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව තමන් දරණ වීර්යයේ සාර්ථකත්වය පිළිබඳ රහස වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙක් ඡන්දය ඉදිරිපත් කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ටකරගන්නව. ‘ඡන්ද’ කියල කියන්නෙ ඕනෑකම කැමැත්ත. ඒ විදියේ කට්ටිය තමයි අර ලෝකයේ අහන්න ලැබෙන්නේ “මම හිතුවොත්, මොහොකට හරි මට ඕනෑකමක් ඇති වුනෙත්, මම ඒක කරලා මිසක් ආපසු බලන්නෙ නෑ” කියන අන්න ඒ චරිත. ඊළඟට ‘විරිය’ කියල කියන වීර්ය චරිත. ඒ අර කියාපු ඡන්දං ජනෙති, වායමති ආදී ඒ උත්සාහය තුළින්මයි මේ තමා තුළ සාර්ථකත්වය පිළිබඳව ඇති රහස තේරුම් ගන්නෙ. දෙවෙනි එක වීර්යය. ඇතැම් කෙනෙක් ඉන්නවා “මම යමකට වීර්යය දැරුවොත් ඒක කරලමයි නවත්වන්නේ. ආයි පසුබහින්නෙ නෑ” කියල කියන. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා අන්න චිත්ත කියන ඉද්ධිපාදය - “මම යමක් පිළිබඳව අධිෂ්ඨාන කරගත්තොත්, ඒ අධිෂ්ඨානය අනුවම පවතිනවා. ඒක කොහොම හරි ඉෂ්ටකර ගන්නව.” අන්න චිත්ත කියන ඉද්ධිපාදය, ඒ තැනැත්තාට. ‘වීමංසා’ කියලා කියන්නේ විමසුම් නුවණ. ඒක කෙළින්ම අතන කියවුනේ නෑ. නමුත් ඒ තුළින් හිතා ගන්න පුළුවන් ප්‍රඥාවයි. මේ වීමංසා කියන ඉද්ධිපාදය මුල්කරගන්නෙ ප්‍රඥා චරිතයා. ඒ කියන්නෙ විමසුම් නුවණ. “මේක කොහොමද කියලා කරලා බලන්ට ඕන. මේක මට ටිකක් කුතුහලයක් තියෙනවා. මේ කියන එක ඇත්තද කියල” අන්න එහෙම ඉදිරිපත් කරගෙනත් මේ වීර්යයේ යෙදෙන අය ඉන්නවා. ඉතින් මේ කාරණය අපි මේ ධර්ම වලින් කියාපු එක බොහෝ විට ඒ විදියේ දේවල්වලට ඒතරම් රුචියක් නොදක්වන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න උපකාර වෙන උපමාවක් අපට දක්වන්න පුළුවන්. අපි හිතමු යම් කිසි ගල්කුළක් තිබෙනව අපට අපේ කටයුතු වලට කරදරයක් හැටියට තියෙන එකක්. ඒක එහාට පෙරලන්න හිතෙනවා. ඉස්සෙල්ලම ඒකට ඕනකම ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඕනකම ඇතිවුන පමණින් ගල හෙල්ලෙන්නෙ නැති නිසා, ඊළඟට මොකද කරන්නෙ යම්කිසි වෑයමක් දරනවා. මේක මට පුළුවන්ද උස්සන්න එහාට පෙරලන්න කියල පොඩි ව්‍යායාමයක් දරනවා. ව්‍යායාමය කියන එක ඇත්ත වශයෙන්ම අර තමන්ගේ ශක්තිය උරගා බැලීමක්. මොකක් හරි මේක යටට දාලා, යකඩ ඉන්නක් එහෙම දාලා, බලනව උස්සන්න පුළුවන්ද කියල - අන්න වායමති. ඉතින් චන්දං ජනේති වායමති. ඊළඟට විරියං ආරභති. එහෙම පුළුවන් කියල තේරුම් ගත්තට පස්සේ ඔන්න වීර්යයක් අරඹනව. හෙමින් හෙමින් අරක උස්සන්න පටන් ගන්නව. ඒක උස්සලා එහා පැත්තට ගන්න කිට්ටුවෙන කොට ඔන්න පේනවා මේක ලේසි වැඩක් නෙවෙයි. සමහර විට මේ පැත්තට අදගෙන වැටෙන්නත් පුළුවන්. හිත සමහර විට දුර්වල වෙන්නත් බලනවා. අන්න ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා. “මම මැරුණත් මේ පටන්ගත්තු වැඩේ අතහරින්නෙ නෑ” කියල එහා පැත්තටම පෙරළලා දානව. ඒකට තමයි අර ‘පදහති’ කියන වචනය යෙදිලා තියෙන්නෙ - පධාන වීර්යය. ඉතින් ඊළඟට මෙන්න මේ කියන ප්‍රයත්නයේ යෙදීම තුළින්ම කෙනෙකුට ප්‍රඥා ශක්තිය ඉබේටම ඇති වෙනවා. ඒ අන්දැකීම් තුළින් විමසුම් නුවණ ඇති වෙනවා. දැන් අපි කියන්නෙ කෙනෙකුට ‘පළපුරුදු කෙනෙක්’ කියල. මේ විදියේ වැඩක් පිළිබඳව අර ඒ ලබාගත්තු අත්දැකීම් සම්භාරයෙන් ඇති කර ගත්තු ප්‍රඥාව, විමසුම් නුවණ. ඉතින් ඔන්න ඕක තුළින් අපිට තේරෙනව අර සෘද්ධිපාදවල වටිනාකම. මේවා සාමාන්‍යයෙන් ධර්මයේ හැඟිලා තියෙන දේවල් වගේ මේ කාලේ. නමුත් අපි ඒවා මතු කරලා ගත්තොත් අන්න විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මය අත්දකින්න බලාපොරොත්තු වෙන පින්වතුන්ට, මේක ඉතාමත්ම වැදගත්. ඇතැම් විට අර බුද්ධිවාදීන්ට මේවා ඒතරම් රුචි නොවෙන්න පුළුවන්. දැන් එක්තරා රැල්ලක් යනවා. මේ පින්වතුන් තේරුම් ගන්න ඕන ඒක. මේ බුද්ධිවාදී ආකල්පයට අනුව ඒ අය ක්ෂණික සත්‍යාවබෝධය බලාපොරොත්තු වෙනව. ඇතැම් දේශනා තියෙනවා අර බුදු පියාණන් වහන්සේ ඒ මහා පාරමී පිරුණු ඔය බාහිය දාරුචීරිය ආදීන්ට දේශනා කරනවාත් එක්කම ඒ ක්ෂණයෙන්ම වගේ රහත් වුනු දේශනා තිබෙනව. අන්න ඒ දේශනා විසි තිස් වර අධ්‍යයනය කළ ඇතැම් විද්වතුන් එයින් ඇතුළත කිසි වෙනසක් නොවුනත් හිතා ගන්නව, තමන් අර ප්‍රඥාවන්ත, අර විශේෂ ගණයට අයිති අය කියල. ශ්‍රද්ධා, ශීල ආදී මූලික ගුණධර්ම අවතක්සේරුවට ලක්කරනව. ඒවා පිළිබඳ උනන්දුව නොදක්වා ක්ෂණික සත්‍යාවබෝධය බලාපොරොත්තු වෙනවා ධර්මය ඇසීම් පමණකින්. ඒක එහෙම පිටින්ම මිථ්‍යාවක්. මොකද, බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනව විමුත්තායතන වශයෙන් මේ නිවන් ලබා ගැනීමට උපකාර වන කාරණා පහක්. එකක් නොවෙයි. කෙනෙකුට මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන් දහම් අසන විට, දහම් දෙසන විට, ධර්මය සජ්ඣායනා කරන විට, ධර්මය ගැන මෙනෙහි කරන විට, අවසාන වශයෙන් දක්වන්නෙ යම්කිසි සමාධි නිමිත්තක් ක්‍රමානුකූලව වඩන කොට. ඉතින් ඒ පහෙන් ඇතැම් කෙනෙක් කල්පනා කරනවා ඇසීම් පමණකින්ම ඔක්කොම ඉටුකරගන්න පුළුවන් කියල. එහෙම කරන්න පුළුවන් වන්නෙ අන්න අර විශේෂ පුද්ගලයින්ට. ඒක ඉතාමත් කලාතුරකින් සිදුවෙන්නේ. විශේෂයෙන්ම මේ යුගයේ ඒක ඉතාමත්ම දුර්ලභයි කියල හිතාගන්ට පුළුවන්. මහා පුණ්‍යවන්තයින් හිටිය, ඒ වගේම පුණ්‍යවන්තයින්ට අත දෙන්න පුළුවන් අනිත් අයගේ චිත්ත ශක්තිය පේන බුදුපියාණන් වහන්සේ වැනි අභිඥාලාභීන් සිටිය යුගයක තමයි කෙටි දේශනාවකින් ඒ ක්ෂණයෙන්ම රහත් භාවය කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ප්‍රමණට කෙනෙක් හිතාගන්න නරකයි තමන්ට කොයිතරම් දිග උපාධි මාලාවක් තිබුණත් තමනුත් ඒ වගේ ඒ දුර්ලභ ගණයට අයිතියි කියල. ඇත්ත වශයෙන් ධර්මයේ දැක්වෙනව තවත් ඒ වගේම විග්‍රහයක්. පුද්ගලයන්ගේ අවබෝධ ශක්තිය අනුව, ප්‍රතිපදාව අනුව, එක්තරා විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ දක්වනව. හතර ආකාර විග්‍රහයක්. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා කියල පුද්ගලයින් හතර කොටසකට බෙදලා දක්වනව. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා කියල කියන්නෙ අපි සිංහලෙන් ගත්තොත් ඒක කියන්න පුළුවන් ප්‍රතිපදාව කියල මෙතන කියන්නෙ අර කියාපු ව්‍යායාම උත්සාහය ආදිය ඇතුළත් ක්‍රියාමාර්ගයයි. එතකොට, ප්‍රතිපදාව දුකසේ අවබෝධය හෙමින් ඒ පළමුවෙනි ගණය. ඊළඟට ‘ප්‍රතිපදාව දුකසේ අවබෝධය සැණින්’ - බොහොම ඉක්මණින් - ඊළඟට තුන්වන ගණය. ප්‍රතිපදාව සුවසේ අවබෝධය හෙමින්. හතර - ‘ප්‍රතිපදාව සුවසේ අවබෝධය සැණින්’. අන්න හතර වෙනි ගණය තමයි, අර ඛිප්පාභිඤ්ඤා කියල කියන ඒ ඉතාමත්ම උත්කෘෂ්ට විදියේ පාරමී ශක්තිය ඇති බාහිය දාරුචීරිය වැනි අය තමයි, ඒ හතර වන ගණයේ ඉන්නෙ. එතකොට ඒ ශක්තිය මේ හැමෝටම නෑ. ඒක තමන්ම තේරුම් ගන්න ඕන. ධර්මයේ සඳහන් වෙනවා ඒ ක්ෂණයෙන්ම සූත්‍ර දේශනාවක් අහලා රහත් වුනු, රහත් වීමට හේතු වුනු සූත්‍ර - ඇතැම් විද්වතුන් ඒවා මහත් අභිරුචියකින්, බොහොම ලොකු ඕනෑකමකින් ඒවා අධ්‍යයනය කරනවා - අධ්‍යයනය කරනවා. නමුත් ඒවා ප්‍රතිපත්තියට නගන්නෙ නෑ. දැන් බොහෝවිට තියෙන ආකල්පය තමයි මේ ධර්මය අධ්‍යයනය කිරීමෙන් මේවා ලබාගත හැකිය කියන එක. එහෙම පිටින්ම වැරදියි. ඒ ශ්‍රද්ධා ශීල ආදී ගුණධර්ම නැත්නම් - කොටින්ම ශ්‍රද්ධාව නැත්නම් - ශ්‍රද්ධාව බීජය හැටියට දක්වලා තිබෙනව, මේ ශාසනික ගුණධර්මවල. ශ්‍රද්ධාව නැති හදවත වියළි හදවතක්, එතැන ගුණධර්ම පැළවෙන්නෙ නෑ. එතකොට ශ්‍රද්ධාව නැතුව, සැක කරමින් මේක විවේචනයට - විචාරයට - භාජනය කරමින්, බුද්ධිවාදී ආකල්පයකින් ධර්මය අධ්‍යයනය කරනව නම් කීවරක් අධ්‍යයනය කළත් මාර්ගඵලයක් නම් ලැබෙන්නෙ නෑ. ලැබුණාය කියල හිතා ගැනීම මිසක්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරන්ට ඕන ඒ අපි බලාපොරොත්තු වුනාට මොකද ඒ තරම් ලේසි නෑ වැඩේ. එහෙම ලෙහෙසි නම් බුදු කෙනෙක් අවශ්‍ය නෑ මේ වැඩේට, බුදු කෙනෙක් පහළ වුනේ වෙන කිසිම ශාස්තෘවරයෙකුට අර තරම් අර දුෂ්කර ප්‍රතිපත්ති රැකලත් ලබාගන්න බැරි වුනු යම්කිසි විශේෂ කාරණයක් ඉදිරිපත් කිරීමටයි. ඒක පිළිබඳ මූලික සිද්ධාන්තය තමයි මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත. ඒ මැදුම් පිළිවෙත තුළ තියෙනවා අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේ අර හතර ආකාර වීර්යයක් දැක්වීමෙන් කළ, සීරුවෙන් දැරිය යුතු ප්‍රයත්නයක්, කලබල වෙලන් බෑ මේකට. අර විදියට හිත යන හැටියට යන්න දීලා බලාගෙන හිටීම කාමසුඛල්ලිකානු යෝගය විදියේ අන්තයක්. ඒ කියන්නෙ, ඔහේ යන්න අරිනවා. ඒ විදියට කරලත් බෑ. ඊළඟට දැඟලලත් බෑ. ඉතින් මේකට තව කිට්ටු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක ඕඝතරණ සූත්‍රය නමින් හැඳින්වෙනව. මේ පින්වතුන්ට, ඒ උපමාව ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි, මේ මූලධර්මය වටහා ගැනීමට. එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ල බුදු පියාණන් වහන්සේගෙන් අහනව, “නිදුකාණෙනි” - දේවතාවුන් බුදු පියාණන් වහන්සේට අමතන වචනය සිංහලයට නගන්නෙ නිදුකාණෙනි කියල. “නිදුකාණෙනි, ඔබ කෙසේද මේ සැඩ වතුරෙන් එතෙර වුනේ?” කියල. එතන සැඩ වතුර නමින් හැඳින්වුයේ, ධර්මානුකූල අර්ථය ගත්තොත් කාම, භව, දිට්ඨි අවිජ්ජා කියන ධර්ම හතරයි. කාමෝඝය කියන එක මේ පින්වතුන් අහල තියෙනවනෙ. කාමෝඝය කියල කියන්නෙ කාම සැඩ වතුර, ලෝකය පුරා ගලාගෙන යනවා ඒක. කාම සැඩ වතුර ගලාගෙන යනවා. මේ ජීවිතය කියල කියන්නෙ මේ සැඩ වතුර හතර පිළිබඳ කාරණයයි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා. මේ ඔක්කොම සැඩ වතුරු වගේ. එතකොට මේ පැවැත්ම තුළ - පැවැත්ම කියන එක අර විදියටම අර ගති ස්වරූපී දෙයක්, මහ ගලා යන සැඩ වතුරක් මෙතන බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නෙ. එතකොට ඒ සැඩ වතුරෙන් එතෙරවන්නෙ කොහොමද? මේක ලේහෙසි පහසු වැඩක් නෙවේ. කාමෝඝ, භවෝඝ දිට්ඨෝඝ, අවිජ්ජෝඝ කියල කියන සැඩ වතුරු හතරක් තියෙනවා. මේකෙන් එතෙර වූයේ කොහොමද කියලයි මේ දේවතාවා අහන්නෙ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර “අප්පතිට්ඨං අනායූහං” මම රැඳී සිටින්නෙන් නැතිව, දැඟලන්නෙන් නැතිවයි මේ සැඩ වතුරෙන් එතෙර වුනෙ. අන්න රැඳී සිටීම කියල කිව්වේ කාමසුඛල්ලිකානුයෝගය. ඊළඟට දැඟලීම කියල කිව්වේ අත්තකිලමථානුයෝගය. ධර්මමචක්කප්පවත්තන සූත්‍රය ආශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුන්ට. එතකොට ඊළඟට දේවතාව තවත් අහනව, “කොහොමද එහෙම කළේ” කියල තව විස්තර අහනව. ඒකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනව. “ඇවැත්නි” - ඇවැත්නි කියන්නෙ යාළුවා කියන අදහස වගේ - “ඇවැත්නි, මම යම් විටක නැවතී හිටිය නම් මම ගිලා බැස්ස. යම් විටක දැඟලුව නම් ගසාගෙන ගියා සැඩ වතුරට.” ඔන්න ඔය අන්ත දෙකයි. ඒ අන්ත දෙකෙන් ඉවත් වෙලයි මේ ධර්ම මාර්ගයේ යා යුත්තේ. එතනයි මැදුම් පිළිවෙත තිබෙන්නෙ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තිබෙන්නේ. ඒ නිසා වීර්යය ඔක්කොම අත්හැරලා හිත යන හැටියට බලාගෙන ඉඳල මේක ඉබේ කෙරෙන දෙයක් නෙවෙයි, හිතූ පමණින්. ඒ විදියේ ආකල්පයකට නැඹුරු වෙන්නෙ මොකද? දැන් මේ කාලේ සමාජ පරිසරය මේ පින්වතුන් දන්නවා. විද්‍යාව, තාක්ෂණය දියුණු වීම නිසා තම තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙදර දොරවල් වල මේ පින්වතුන් කටයුතු කර ගන්නෙ, අනික් කාර්යාලීය කටයුතු කර ගන්නේ, බොහොම ක්ෂණිකව. හැම එකම ක්ෂණිකයි. ක්ෂණිකව කර ගැනීමේ පහසුකම් සැලසෙනව මේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන්. ඒ ක්ෂණික භාවය මේ ධර්මයෙනුත් - මේ ධර්මාවබෝධය පිළිබඳවත් - ලබාගන්නයි දැන් බොහොම දෙනා කල්පනා කරන්නේ. ඒක මිරිඟුවක්. ඒක වැරදි අදහසක්. මොකද, ඒ අතීතයේ තිබුණු පරිසරය, ඇත්ත වශයෙන්ම ඒ ආධ්‍යාත්මික දියුණුවට රුකුල් දෙන පරිසරයක් අතීතයේ තිබුනේ. නමුත් දැන් තියෙන පරිසරය කොහොමද කියන එක මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන්, එදිනෙදා ජීවිතය ගත කෙරෙන ආකාරයෙන්. කොයිතරම් සංකීර්ණ වෙලාද මේ භෞතික දියුණුව නිසා. එක පැත්තකින් මහ ලොකුවට දියුණුවක් වගේ පේනවා. නමුත් මනුෂ්‍යයා එන්න එන්නම තිරිසන් තත්ත්වයට, මහා භයානක අන්දමින් අත්ත පරිහානියට පත්වෙලා. යක්ෂ, තිරිසන්, ප්‍රේත තත්ත්වයට මේ සිත් පත් වෙලා තිබෙනව. ඒ විධියේ අවධියක, ඒ වගේම ඒකට, නිසි පරිසරයක් විවේක පරිසරයක්, සොයා ගැනීම දුෂ්කරයි මහා ගාලගොට්ටි සහිත නගරයක, ගමක පමණක් නොව කැළයක පවා, බොහොම අමාරුයි ඇත්ත වශයෙන්ම විවේක තැනක් හෝ ගන්න. ඒ විදියේ යුගයක වැඩියත්, වැඩිමනත් උත්සාහයක් දරලා සිය දහස් ගුණයක් වීර්යය වැඩි කරලා කරගත යුතු දෙයක්, නිකම් ඉඳලා කෙරෙනවද කියන එක තම තමන්ම හිතලා බලන්න ඕන. අන්න ඒක අනුව අපි හිතාගන්න ඕන, එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මැදුම් පිළිවෙතේ අගය. ඒක තව ටිකක් ගැඹුරින් තේරුම් කරනවා නම්, මේ පින්වතුන්ට කියන්න පුළුවන් දැන් අපි කිව්වනෙ අර දැඟලීම පිළිබඳ අන්තය. ඒක තේරුම් ගන්න අපට උපකාර වෙනවා නිගණ්ඨයින් ගෙන ගිය ප්‍රතිපත්තියත්, අපේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිළිබඳව අනුදැන වදාළ ප්‍රතිපත්තියත් අතර වෙනස. ඒක කෙටියෙන් දැක්වීමට අවස්ථානුකූලව, අපි මතුකර ගනිමු. දැන් මේ පින්වතුන් සමහර විට අහල ඇති සංඝයා වහන්සේලාට අයිති දෙයක් තමයි නමින්ට ලැබෙන සිව්පසය - සිව්පසය කියල කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චය කියන ජීවිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය දේවල් - ඒවා පාවිච්චි කිරීමේදී ගත යුතු ප්‍රතිපත්තිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනව, ප්‍රත්‍යවේක්ෂා කරන්නෙයි කියල. මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක කෙටියෙන් හඳුන්වලා තියෙන්නෙ ඥාන සංවරය හැටියට. ඥානයෙන් කරන සංවරයක්. අපි ඉස්සෙල්ල ගනිමු නිගණ්ඨයින්ගේ ප්‍රතිපත්තිය. මොකක්ද? නිගණ්ඨයින් දැක්කා මේ ආහාරය වස්ත්‍රය කියන ඒවා ලෝකයා කාමයට ඇද ගන්න දේවල්. ඒක නගරයකට ගියත් පේනවනේ. ඒවා පිළිබඳව විලාසිතාවන් නිසා ලෝකයා කාමයට ඇදෙනව. ඒක නිසා නිගණ්ඨයින් ගත්තු අන්තගාමී ප්‍රතිපත්තිය මොකක්ද? වස්ත්‍රයත් ඉවත් කරලා ආහාරය පිළිබඳවත් - මේ පින්වතුන් අහල ඇති සමහර විට අසුචි ආහාරයට ගත්තු අයත් හිටියා ඒ කාලේ. ඉතින් අන්න ඒ විදියට, අන්න විකෘත තත්ත්වයකට පත්කරගත්ත අර ප්‍රයත්නය. දැඟලුවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවට පෙන්නුවේ. මේ සිව්පසය ඇතුවත් බැරි, නැතුවත් බැරි, වගේ දේවල්. මේ භවය කියන්නෙ මොකක්ද ගලාගෙන යන එකක්. දැන් මේ පින්වතුන් දන්නවා, සැඩ වතුර ගලාගෙන යන තැනක දැන් මම මෙතන ඉඳලා එහා ගොඩට යනවා කියල හරියට ඉරක් ඇද්ද වගේ එතෙන්ට යන්න බෑ නෙ. වතුරට බැස්සට පස්සේ වතුරටත් - ගලාගෙන යන වතුරටත් - ටිකක් ඉඩ දීගෙනයි එහා පැත්තට යන්න වෙන්නෙ. දිය වැලකට අහුවුනා කියල හිතමු, මේ පින්වතුන්, පීනන අතරේ. දැඟලුවොත් මොකද වෙන්නේ - ඒත් බෑ. නිකම්ම හිටියොත් - ඒත් බෑ. සීරුවෙන්, ඥානවන්තව, ක්‍රමක්‍රමයෙන් ඕන ඒකෙන් මිදෙන්න. බේරෙන්න. අන්න ඒ විදියේ ප්‍රතිපදාවක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට වස්ත්‍රය ඉවත් කරලවත්, ආහාරය අර විදියේ විකෘත අසුචි ආහාර වලට බැහැලවත් එහෙම නෙවෙයි, කරන්න තියෙන්නෙ. මේක ඥාන සංවර වශයෙන්, ප්‍රඥාවෙන්, මේක භාවනාවට නගල භාවිතා කරන, පාවිච්චි කරන ආකාරයයි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළේ, ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙන්. අපි කෙටියෙන් සඳහන් කළොත්, එකක් දෙකක් විතරක් අරගෙන - ආහාරය පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. සංඝයා වහන්සේලා විසින් ආහාරය වළඳන්න කලින් මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරන්නෙයි. ඒක ඇත්ත වශයෙන්ම භාවනාවක් වගේ. ’මේ ආහාරය මම ගන්නෙ අර ගිහියන් වගේ පොරබදන්න, විනෝදය සඳහා, ශරීරය ගොඩනගා ගැනීම, මස්පිඬු ගොඩනගා ගැනීම ඒ විදියේ දේවල් සඳහා නොවෙයි. හුදෙක් මේ බ්‍රහ්මචරිය වාසය, එහෙම නැත්නම් මේ නිවන් දැකීම, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි කියල, ඒ පරමාර්ථය පළමුවෙන්ම සළකනව.   ඊළඟට දෙවනුව තවත් ඒකටම අදාළ එකක් තමයි. අර ආහාරයත් මේ ශරීරයත් පිළිබඳ භාවනාමය ආකල්පය. ඒක භාවනාවට නගනව, ධාතු වශයෙනුත් පිළිකුල් වශයෙනුත්. ධාතුකර්මස්ථාන කියල භාවනාවක් තියෙනවා පඨවී, ආපෝ, තේජෝ, වායෝ ධාතු වලින් හැදිච්ච එකක්, මේ ආහාරය. ඒ වගේම මේ ශරීරය. ඊළඟට මෙන්න මේ පඨවී, ආපෝ, තේජෝ වායෝ කියන මේ ධාතු වලින් හැදුනු මේ ආහාරය පිරිසිදු හැටියට තිබිලා මගේ මේ කිළිටි කුණු ශරීරය ඇතුළට වැදුනට පස්සෙ මේක කිළිටි තත්ත්වයට, අසුභ තත්ත්වයට එහෙම නැත්නම් අප්‍රිය තත්ත්වයට පත්වෙනවා. පිළිකුල් තත්ත්වයට පත්වෙනවා කියන එක මෙනෙහි කරනවා. අන්න එතනින් පේනවා එතකොට අර නිගණ්ඨයින් ඉවත දැමූ භය වුණු ආහාරය පිළිබඳ කාරණය බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතකින් විසඳූ ආකාරය. ඒ ආහාරයම නිවනට උපකාර කරගන්නා. මේකේ පරමාර්ථයත් - නිවන සඳහායි මේ ශරීරය පවත්වා ගන්නෙ. හුදෙක් යැපීම පිණිස. අද සාමාන්‍ය ලෝකයා, භවයේ රැඳී සිටීමට තැත්කරන ලෝකයා, ආහාරය පිළිබඳව කරන ඒ විලාසිතාවන් පැත්තට නොවෙයි. ඒ අතිධාවනයන් නොවෙයි. මෙතන කියන්නෙ. ‘හුදෙක්’ ඒ පිළිබඳ යම්කිසි පාලනයක් කෙරෙනව. මධ්‍යස්ථ මට්ටමකින් ඒවා දිහා බලලා ඊළඟට ඒක භාවනාවටත් නගනව. අන්න බුදු පියාණන් වහන්සේ දැක්වූ මැදුම් මග, ඒකෙනුත් පේනවා. එකක් දුන්නාම ඇති. ඉතින් ඒ අර සිව්පසය පිළිබඳවම ඔය විදියට ප්‍රත්‍යවේක්ෂා පාඨ තිබෙනව. ඔන්න ඕව තුළින් අපි තේරුම් ගන්න ඕන එතකොට, අර මේ කාලෙ, කොතෙකුත් විශාල පිරිස් ඇදිල යනවා වැඩේ ලේසියි කියල. වැඩේ ලේසියි වගේ පේනවා. නමුත් ඒක තුළින් අන්න බරපතල මිථ්‍යා දෘෂ්ටියක් පැතිරෙනව, මේ මැදුම් පිළිවෙතට ප්‍රතිවිරුද්ධව. මේ ‘නිකන් ඉඳීම’ කියන එක ඇත්ත වශයෙන්ම බොහොම දෙනෙකුට ප්‍රිය දෙයක්. නිකන් ඉඳල මේවා ඔක්කොම ලබාගන්න පුළුවන් නම් ආයේ මොකටද වෙහෙසෙන්නේ? මොකටද සිල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? ඇතැම් කෙනෙක් කියනව භාවනාව අනවශ්‍ය දෙයක් කියල. භාවනාව කියල හිතට පාලනයක් කරන්න ඕන නෑ. ඕහේ යන්න දීලා බලාගෙන ඉන්නව. ඒ අය වතුරට බැස්සොත්, අර සැඩ වතුරකින් එතෙර වෙන වේලාවේ හොඳට බලං හිටියොත් ඔන්න ඒ අයම කියාපු දේට විරුද්ධව ක්‍රියාකරන බව පේනව. එදිනෙදා ජීවිතයේ තම තමන්ගේ ඒ භෞතික ඕනෑ එපාකම් පිරිමසා ගන්න අන්න අර කියාපු සම්මප්පධාන, ඉද්ධිපාද ආදී දේවල්වලට තරමක් හරි කිට්ටු විදියට ක්‍රියාකරන්න ඒ අයට සිද්ධ වෙනවා. එයින් පේනවා අපට මේ අපේ චිත්ත සන්තානය පිළිබඳ මහ පුදුම ධර්මතාවක් බුදු පියාණන් වහන්සේ මතුකරල දීලා තිබෙන බව. මේක හරියාකාරව දැක්කා. මේකේ යථා තත්ත්වය දැක්කා. එහෙම දැකලා තමයි මේ මිනිස් සිත - එහෙම නැත්නම් මනුෂ්‍යයින්ගේ සිත ක්‍රියාත්මක වෙන්නෙ හතර ආකාරයටයි කිව්වේ. ඒ වගේම සීරුවෙන් ගතයුතු මධ්‍යස්ථ ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. ඒක නිසා අපි මතුකර ගන්න ඕන මෙන්න මේ කාරණා. විශේෂයෙන්ම මේ නොයෙකුත් විදියේ මිච්ඡාදිට්ඨි පැතිරෙන යුගයක් නිසා, ඇතැම් කෙනෙක්, විශේෂයෙන්ම අර බුද්ධිවාදීන් කියල අපි කියන අය - නිග්‍රහයක් හැටියට කියනවා නෙවෙයි. නමුත් ඒ විදියේ ආකල්පයක් දැන් කාලේ යනව - ධර්මය පිළිබඳව අධ්‍යයනය කරල, ඒ පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනව. ඒ තුළින් ඒ උගත්කම නිසා ඇතැම් කෙනෙක්, එයින් ඇති කර ගත්තු දැනීම තුළින්, මේ ශාසනය පිළිබඳ සම්පූර්ණ අයිතිය තමන්ට තියෙනව කියල හිතනව. නෑ පින්වතුනි, මේ ශාසනය ත්‍රිවිධ ආකාරයි පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ කියල තුන් ආකාර ශාසනයක්. පරියත්තිය විතරක් තිබුණ නම් අන්න ඒ උගතුන් ගත්තු මතය හරි. නමුත් මෙතන ඉගෙනීමට පමණක් සීමා වෙන්නෙ නෑ. ඒක ප්‍රතිපදාවට නගන්න ඕන - ‘ප්‍රතිපත්ති’. ඊළඟට ප්‍රතිපදාවේ කෙළවර තමයි ‘ප්‍රතිවේධ’ විනිවිද දකින්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන්. භාවනාවෙන් උත්කෘෂ්ට වශයෙන්. ඉතින් ඒක නිසා තමයි අතීතයේ බෞද්ධයින්ගේ ආදර්ශ පාඨය උනේ - දැන් මේ කාලේ කලාතුරකින් ඒක අහන්න ලැබෙන්නෙ - ‘සුණාථ, ධාරේථ, චරාථ, ධර්මේ’ ’අසව්, දරව්, හැසිරෙව් දහම්හී. සුණාථ ධාරේථ, චරාථ ධර්මේ ‘අසව්, දරව්, හැසිරෙව් දහම්හී’. ධර්ම ශ්‍රවණය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන පාඨ වලින් ඒ කාරණය තවත් පැහැදිලි වෙනව. මේක ප්‍රායෝගික අර්ථයක් සඳහා දේශනා කළ එකක් බව. හරියාකාරව ධර්මය අසීම පිළිබඳව මෙන්න මේ විදියට සඳහන් වෙනවා. එහෙම නැත්නම් ධර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කෙනා පිළිබඳව මෙන්න මේ වචන සඳහන් වෙනවා. අසුවල් තැනැත්තා, අපි හිතමු මේ කාලේ හැටියට කියනවා නම් අසුවල් උගතා හරි අසුවල් පුද්ගලයා, ශ්‍රාවකයා විසින් ධර්මය - ඒකට ඊළඟට වචන රාශියක් යෙදෙනව ‘සුතා, ධතා, වචසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ තැනැත්තා ධර්මය අසලා තිබෙනව - සුතා, ධතා - දරාගෙන සිටිනව, ඒක එක කණකින් අහලා අනික් කණින් පිට කළා නෙවෙයි. ඊළඟට ඒක පරිගණක යන්ත්‍රවල තැන්පත් කරලා ඒක පැත්තක දැම්මා නෙවෙයි. ත්‍රිපිටකය පරිගණක යන්ත්‍ර වල තැන්පත් කළ පින්වතුන් තුළ සමහරවිට ධර්මය නෑ. ඒක ක්‍රියාව පමණයි. ඒක ඇතුළට ගත්තෙ නෑ. අන්න අතීතයේ අර භාණක පරම්පරා ආදී වශයෙන් දැක්වෙන්නේ ඒ කාලේ ඒකශ්‍රුත පුද්ගලයින් හිටියා. ඇසූ පමණින්ම ඒවා දරා ගන්නව. ඒක ඊළඟට - අන්න ’සුතා, ධතා, ධර්මය දරා ගත්තා. ’ගෙදර මහ පොතක් ඇත ඒකේ නම මතක නැත’ කියලා අපේ පැරැන්නත් කථා පටන් ගත්තෙත් අන්න අර ධර්මය කටපාඩම් කිරීමේ සිරිත නැති වුනාට පස්සෙයි. ඉතින් ඒක මේ කාලේ නම් අනවශ්‍ය දෙයක් හැටියට, සමහර විට හාස්‍යජනක දෙයක් හැටියට, සළකනවා. නමුත් ප්‍රායෝගිකව ඒක ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තුවෙන කෙනා ඒ ධර්මය අර සිංහ තෙල් රන් කරඬුවක තැන්පත් කරගන්නව වගේ හිත ධාරණය කරගන්නව. ‘සුතා, ධතා’ ධාරණය කරගෙන නවතින්නෙ නෑ. ‘වචසා පරිචිතා’ - වාචෝද්ගත කරන්න ඕන. ඉඳහිටලා මතක් කරගෙන කටපාඩම් කරගන්න ඕන. ‘මනසානුපෙක්ඛිතා’ ඊළඟට ඒක ගිරව් වගේ කීම නොවේ. ඒ වචන - ඒ කියන දේවල් - පිළිබඳව මනසෙන්, හිතෙන් පෙරළලා බලන්න ඕන, පරීක්ෂා කරන්න ඕන. ‘මනසානුපෙක්ඛිතා.’ එහෙම පරීක්ෂා කරලා බලලා, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ එහෙම පරීක්ෂා කරලා බලන කොට සම්‍යක් දෘෂ්ටියෙන් ඒක විනිවිද දකින්න හැකියාව ලැබෙනව. ඔන්න ඔය වචන තුළින් එතකොට ධර්මය ප්‍රායෝගික දෙයක් බවයි පෙන්නුම් කෙරෙන්නේ. ධර්මශ්‍රවණය ප්‍රායෝගික අන්දමින් කරන්ට ඕන. ප්‍රායෝගික පරමාර්ථය ඇතිව ඒ ආකල්පය ඇතිව. ඒකම තවත් විදියකට දැක්වෙනව. ආර්යශ්‍රාවකයෙක් ධර්මය අසන ආකාරය දක්වලා තිබෙන්නේ මෙහෙමයි. ආර්යශ්‍රාවකයා, කොටින්ම මාර්ගඵල අවබෝධය ලැබෙන ආකාරයට ධර්මශ්‍රවණය කරන්නෙ කොහොමද කියන එක දක්වල තිබෙනව. ආර්යශ්‍රාවකයෙක් මෙන්න මේ විදියටයි අහන්නේ . ඒ ධර්මය පිළිබඳව ‘අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධර්මමං සුණාති’ යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකයෙක් අට්ඨිකත්වා, කියල කියන්නෙ - ‘මේ ධර්මයෙන් මට වැඩක් ඇත’ කියන ඒ අදහස මුල්කරගෙන. මේක විමසලා බලලා, මේක ගැන පොතක් ලියල, උපාධියක් ලබාගන්න ඒ විදියේ පරමාර්ථයකින් නෙවෙයි. මෙයින් මට වැඩක් ඇතැයි. මගේ විමුක්තියට මෙයින් ප්‍රයෝජනයක් ඇත. කියන අදහසිනුයි ධර්මය අහන්නේ. අට්ඨිකත්වා. ඊළඟට ‘මනසිකත්වා’ ඒ අහන එක පිළිබඳව, ඒ අහන වේලාවේ පදයක් පදයක් පාසා මෙනෙහි කරනව. ‘ඔය කිව්වට ඕක මමත් දන්නව. මොකේ මොකක්ද ඔය කියන්න තියෙන්නෙ කියල.’ ඒ විදියට විතර්ක වලට විචාර වලට යන්නෙ නැතිව, අන්න ඒක පදයෙන් පදය මෙනෙහි කරනවා. ‘අට්ඨිකත්වා, මනසිකත්වා, සබ්බචේතසෝ සමන්නාහරිත්වා’ ‘හිත භාගයක් මෙතන අනෙක් භාගෙ ගෙදර’ එහෙම නෙවෙයි. ‘සබ්බචේතසෝ, සමන්නාහරිත්වා’ මුළු හිතම ඒකට යොමුකරල, අවධානය යොමුකරල, පූර්ණ අවධානය යොමු කරල. ‘ඔහිතසෝතෝ ධර්මමං සුණාති.’ කන් නමල අහනව. පැරණි වචනයක් ඕක. කන් නමලා අහනව. දැන් සතුන් නම්, තිරිසන් සතුන් නම්, ඇතැම් සතුන් කන් නමනවා අපට පේනව. මේ මනුෂ්‍යයින් කන් නමනවද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ බාහිරව බලල. නමුත් ඒක තමන්ට අයිති දෙයක්. කන් නමලා අහනව කියල කියන්නේ පූර්ණ අවධානය. එහෙම පිටින්ම - මේක අර කියාපු විදියට සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු කරනව. දැන් ඉතින් කන් වෙනුවට අපට නොයෙකුත් විදියේ විද්‍යාත්මක කන් රාශියක් ලැබිලා තියෙන නිසා අපි ඒවට අහන්න අරලා ධර්මය දේශනා කරන කොට පැත්තකට වෙලා බුදිය ගන්නව. ඊළඟට ඒක අර ‘ගෙදර මහ පොතක් ඇත ඒකෙ නම මතක නැත’ කිව්ව වගේ, ඒ වචන තවත් යෙදෙන්න පුළුවන් මේ කාලේ තියෙන යන්ත්‍ර වලට - පරිගණක යන්ත්‍ර කැසට් යන්ත්‍ර ආදිය. ‘අපේ ගෙදර කැසට් පටි රාශියක් තියෙනව හොඳම දක්ෂම හාමුදුරුවන්ගේ. නමුත් අසන්ට වේලාවක් නම් නැත.’ අන්න ඒ වගේ. ඉතින් ඔය විදියේ ආකල්පයක් දැන් යන්නේ. ඒ කෙසේ වෙතත් අර කියාපු බුද්ධිවාදී ආකල්පය තියෙනව - ‘අයි අපට පුළුවන්නම් බොත්තමක් තද කිරීමෙන් ආලෝකය ඕන වේලාවට ඇති කර ගන්න, අයි බැරි මේ ප්‍රඥාලෝකය ඇති කර ගන්න පොඩි බණක් අසු පමණින්?’ අන්න ඒ විදියේ තර්කයක් නඟනව දැන් ඇතැම් කෙනෙක්. ‘මේ කාලේ ඉතාමත්ම දියුණුයි හඳට යන කාලේ. ඒ වැනි යුගයක අයි බැරි අර 2500 ක අතීතයේ, අර කරත්ත වලින් යන යුගයක මේවා ලබාගත්ත නම් ඇයි බැරි දැන්?’ කියල ඔය විදියට ප්‍රශ්න කරන අය ඇත්ත වශයෙන් අපි ලඟටත් ඇවිල්ල ප්‍රශ්න කරල තිබෙනව. ඒ අයට මතක් කරලා දෙන්න වෙනවා. ඒ කාලේ තිබුණු පරිසරයත් මේ කාලේ තියෙන පරිසරයත් අතර වෙනස. ඒ කාලේ ආධ්‍යාත්මික පරිසරය, මහ පුදුමයි. හැමෝම සත්‍යගවේෂී අය. බ්‍රාහ්මණයින් අතරත්, අනික් අයත් ඇත්ත වශයෙන්ම විමුක්තිය සඳහා විශාල උත්සාහයක් දැරුවා. සමහර විට නොමගට යොමු වුනාට මොකද. දැන් මේ කාලේ දුවන්නෙ කොයි පැත්තටද? භෞතික දියුණුව කරා. හැමෝම දුවන්නේ ඒකට. ඒ රැල්ලට අහුවෙලා. මිරිඟුවක් ඔස්සේ දුවනව. ඒ දුවන පිරිස අතර තමන් ඇත්ත වශයෙන් ධර්මයට හැරුනත් මහා බාධක රාශියක් මැද්දෙයි කටයුතු කරන්න වෙන්නේ. මේ ගිහි ගෙවල්වල ඉන්න පින්වතුන් අපට ඇවිල්ල කියනව. අපි නම් කැමතියි භාවනා කරන්න. නමුත් දරුවෝ රෑ තිස්සේ කරන්නෙ - ඒවා ඉතින් අපි කියන්න ඕන නෑ - ඒ ඉන්නෙ අන්න අහවල් අහවල් යන්ත්‍ර ඉස්සරහයි. එහෙම නැත්නම් මහා ගාලගොට්ටියක් මැදයි අපේ ජීවිතය ගෙවෙන්නෙ කියල. මහා කලකිරීමක් ඒ අය තුළ තියෙනව. අන්න ඒ තුළින් අපට හිතාගන්න පුළුවන් ඇත්තවශයෙන්ම දෙගුණ තෙගුණ එහෙම නැත්නම් සියගුණයක් වීර්ය දරලයි මේ කාලෙ ඒ තත්ත්ව ලබාගන්න පුළුවන්. උපාධි තිබුණට, උගත්කම් තිබුණට, එපමණකින් මාර්ගඵල ලැබෙන්නෙ නෑ. ඛිප්පාභිඤ්ඤා ගණයට අයිති වෙන්නෙ නෑ තමන් හිතා ගත්තට. අන්න ඒ කාරණය අපි හොඳට ධාරණය කර ගන්න ඕන. ඒ විදියට කල්පනා කරන කොට අද මේ පින්වත් පිරිස චාම් ජීවිතයට පුරුදු වෙමින් මේ විශාල පිරිසක් අද පෝහෝය අටසිල් සමාදන් වුන, තවත් ඒ උසස් ශීලවල පිහිටියා. අන්න ඒ ශීලයේ වැදගත්කම. මුල්පියවර හරියට ගන්නෙ නැතිව අවසාන ප්‍රතිඵලය විතරක් ලබාගන්න බෑ. මේ ශීල, සමාධි, ප්‍රඥා එකිනෙකට සම්බන්ධයි. හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවකින් යුක්ත දෙයක් මේක. අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදිය පිළිබඳව අපි බොහෝ අවස්ථාවල මතක් කරල දෙන ආකාරයට එක් එක් පියවර අතර පුදුම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් ධර්මයේ තිබෙනව. ඒකයි අර අනුපිළිවෙලක් තියෙනව කියල කිව්වේ. ඒ අනුපිළිවෙල කඩලා බෑ. ඒක නිසා පටන් ගන්න ඕන හෝඩියෙන්ම. බිංදුවට බහින්න ඕන. ශීලයෙන් පටන්ගන්න ඕන. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕන. මූලික වශයෙන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මේ ශාසනයේ බීජයයි. ශ්‍රද්ධාව නැති හදවතකට ගුණධර්ම එකතු වෙන්නෙ නෑ. ශ්‍රද්ධාව ඇති කරගෙන තමයි ඊළඟට යම්කිසි ශාස්තෘවරයෙකු ළහට යන්නෙ. ‘සද්ධාජාතො උපසංකමති’ ඔය ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ දක්වනවා. ළහට ගිහිල්ල ධර්මය අහලා, ඒක දරාගෙන හිතෙන් අර විදියට ඒ ගැන හිතලා. ඒ විදියට තමයි ක්‍රමානුකූලව ප්‍රතිපත්තියට බැහැලා - ලොකු ඡන්දයක් වීර්යයක් ඇති කරගෙන ප්‍රතිපත්තියට බැහැලයි - මේ පරමාර්ථ සාධනය කරගන්ට පුළුවන් වෙන්නේ. එතකොට මේ වගේ දවසක බුදුපියාණන් වහන්සේ ධර්මචක්‍රය පෙරලුවාට මොකද ඒ ධර්ම වාක්‍යයේ ශක්තිය ඉක්මණින්ම මේ සමාජය තුළින් බැහැර වෙලා යන හැඩක් පේනවා අර කියාපු විදියේ මිථ්‍යා දෘෂ්ටි පැතිරීම නිසා. ඒක නිසා නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන. මුලින් කළ යුතුදේ පස්සට දාලා බෑ. මුලින් කළයුතු දේ එහෙම පිටින්ම ඉවත්කරලත් බෑ. ඒක නිසා ශ්‍රද්ධා ශීලාදී ඒ ගුණධර්ම මූලිකව සම්පූර්ණ කර ගන්න ඕන. ඒ ගුණධර්ම උඩ තමයි ඊළඟට හිත තැන්පත් කර ගන්න පුළුවන් වෙන්නේ සමාධි වශයෙන්. සමාධිමත් හිතටයි ප්‍රඥාව වශයෙන්, විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය තේරුම් යන්නේ. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදුණු පරම ශාන්ත උතුම් අමා මහ නිවන ලබා ගන්න පුළුවන් වන්නේ, සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන්. එතකොට මේ පින්වතුන් කල්පනා කර ගන්න ඕන මේ කෙටි වේලාව තුළ අපි මේ කරුණු රාශියක් කෙටියෙන් සඳහන් කළා. මේ පින්වතුන්ට තව තව හිතන්ට, මේ පිළිබඳව හිතලා විතරක් නවත්තන්නෙ නැතිව මේවායේ ප්‍රායෝගික අගය අනුව තම තමන්ගේ ජීවිතය සකස්කර ගැනීමටයි මේ කාරණා කීවේ. එතකොට මේ ආශ්‍රයෙන් මෙතෙක් වේලා පැයක් පමණ වේලා මේ පින්වතුන් යම්කිසි ශීලයක පිහිටලා කය වචනය හික්මවා ගෙන අවධානය යොමු කරගෙන මේ විදියට ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණයත් පිනක් කියල කියන්නෙ කුසලයක් කියල කියන්නෙ ඒක තමන්ගේ නිවනට උපකාර වන දෙයක් නිසයි. ඒ ධර්ම ශ්‍රවණය ආනිසංස සම්පන්නයි. උපනිශ්‍රය සම්පත්තිය පවා ලබා දෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයෙන් - අපි අර ආනිසංස කියල කියන්නේ ඇත්ත වශයෙන්ම මෙලොව වශයෙන් බලනව නම්, සන්දිට්ඨික අකාලික වශයෙන් බලනව නම්, ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, නම තමන් තුළ වර්ධනය කර ගැනීමට මේ සුළු වේලාවත් අපි උපකාර කර ගත්තා කියලා ඒ ධර්ම ශක්තිය තුළින් - මේ පින්වතුන්ට දුර්ලභ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අමාරුවෙන් හරි, කැළෑ මැදින් රිංගල හරි හමුවෙලා ලබා ගෙන, මේ ශාසන පහන නිවෙන්ට කලින් - අති භයානක සංසාරයෙන් අත්මිදීමට සෝවාන්, සකදාගාමී, අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධ මගින් උතුම් නිවන් ලබා ගැනීමට මේක උපනිශ්‍රය සම්පත්තියක්ම වේවායි ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම මේ රැස්කරගත්තු පුණ්‍ය ශක්තිය මේ විශ්වයේ යම්තාක් අවීචියේ සිට අකනිටා දක්වාවූ මේ විදියේ ධර්ම දේශනාමය ධර්මශ්‍රවණමය කුශලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සත්ත්වයින් ඇතොත් ඒ හැමදෙනෙක්ම මෙය අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසෙන්වා කියන ඒ ප්‍රාර්ථනාවත් ඇතිකර ගෙන මේ ගාථා කියන්න. ‘එත්තාවතා ච අමෙහේහි ……………’ 23 වන දේශනය 23 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස අනික්කසාවො කාසාවං - යො වත්ථං පරිදහෙස්සති අපෙතො දමසච්චෙන - න සො කාසාවමරහති යො ච වන්තකසාවස්ස - සීලෙසු සුසමාහිතො උපෙතො දමසච්චෙන - ස වෙ කාසාවමරහති සැදැහැවත් පින්වතුනි, සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුගෙන් ලෝකයාට හිමිවන උතුම් දායාදය සම්බුද්ධ ශාසනයයි. දෙවි මිනිසුන්ගේ හිත සුව සඳහා ඒ සම්බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීම හැම බෞද්ධයකුගේම යුතුකමක් බව අපි කල්පනා කරනවා. ඒ යුතුකම හරියාකාර ඉෂ්ට කර ගැනීමට නම් ශාසනික වටිනාකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් අප තුළ තිබිය යුතු වෙනවා. අද මේ වෙසක් පෝය දවසේ ඒකට අදාළ ගාථා දෙකක් අපි මාතෘකා කරගත්තේ ඒක නිසයි. මේ ගාථා දෙක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ දෙව්දත් තෙරුන් පිළිබඳ එක්තරා සිද්ධියක් අරඹුණු කරගෙනයි. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතුන් වහන්සේලා දෙනම එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන සැවැත් නුවරින් රජගහ නුවරට වැඩම කළා තම තමන්ගේ පන්සියය පන්සියය බැගින් වූ සඟ පිරිස් සහිතව. රජගහ නුවර වාසීන් මේ අග්‍රශ්‍රාවක දෙනමටත් ඒ සඟ පිරිසටත්, සාමූහික වශයෙන් එකතු වෙලා, දෙතුන් දෙනා පහළොස් දෙනා එකතු වෙලා, දානමාන කටයුතු වල යෙදුනා, දන් දෙන්න පටන් ගත්තා. එක දවසක් සැරියුත් ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරන අවස්ථාවේදී මෙහෙම ප්‍රකාශ කළා. උපාසකයෙනි, යම් කෙනෙක් තමන් දන් දෙනවා අනිත් අය දාන ප්‍රතිපත්තියෙහි සමාදන් කිරීමක් නෑ. ඒ කියන්නෙ දන් දෙන්න අනිත් අය උනන්දු කරවන්නෙ නෑ. එබඳු කෙනෙකුට උපනුපන් ජාතිවල භෝග සම්පත්ති මිසක් පරිවාර සම්පත්තිය ලැබෙන්නෙ නැහැ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නෙ නෑ අනික් අය දන් දීමෙහි උනන්දු කරවනවා. ඒ තැනැත්තාට අනාගතයේදී භෝග සම්පත්තිය ලැබෙන්නෙ නෑ පරිවාර සම්පත්තිය පමණයි ලැබෙන්නෙ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නෙත් නෑ. අනිත් අය ඒ පිළිබඳව උනන්දු කරවන්නෙත් නෑ. එබඳු කෙනාට උපනුපන් ජාති වල භෝග සම්පත්ති පරිවාර සම්පත්ති දෙකම ලැබෙන්නෙ නෑ. හතර වෙනුව දක්වනවා, තවත් කෙනෙක් තමනුත් දන් දෙනවා අනිත් අයත් දන් දීමෙහි - ඒ ප්‍රතිපත්තියෙහි - සමාදන් කරවනවා. අපි දැන් මේ කාලෙ සම්මාදන් කරනවා කියලා කියන්නේ සමාදන් කරනවා. එබඳු කෙනාට උපනුපන් ජාති වල භෝග සම්පත්තියත්, පරිවාර සම්පත්තියත් කියන සම්පත් දෙකම ලැබෙනවා කියලා එහෙම ප්‍රකාශ කළා. මේක අහන් හිටිය එක්තරා නුවණැති මනුෂ්‍යයෙක් කල්පනා කළා. මම මේ සම්පත්ති දෙකම ලැබෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා පිරිස ගියාට පස්සේ සැරියුත් ස්වාමීන් වහන්සේ ළහට කිට්ටු වෙලා කියනවා ස්වාමීනි, මම හෙට දවසට ස්වාමීන් වහන්සේට දනට ආරාධනා කරනවා කියලා. සැරියුත් ස්වාමීන් වහන්සේ ඇසුව කී දෙනෙක් සංඝයා වහන්සේලා අවශ්‍ය කියලා. කෙතෙක් සංඝයා වහන්සේලා මේ පිරිසේ සිටිනවාද කියලා අහුවාම දහසක් පමණ සිටිනවා කිව්වා. ඒ දහස් නමටම මම හෙට දානය දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා. සැරියුත් ස්වාමීන් වහන්සේත් නිශ්ශබ්දතාවෙන් ඒකට කැමැත්ත දැක්වූවා. ඉතිං මේ මනුෂ්‍යයා මෙහෙම කිව්වට මොකද කිසිම සුදානමක් නැතිවයි මේ ආරාධනාව කළේ. නගරයේ වීදිවල ඇවිදිමින් “අම්මේ, තාත්තේ, මම මේ වීදියට හෙට දවසට දහසක් නමකට ආරාධනා කළා තම තමන්ට පුළුවන් මට්ටමින් ඒ දාන උපකරණ අරගෙන එන්න. අපි එක තැනක රැස් වෙලා දානය පිළියෙල කරමු කියලා” ඒ විදියට හඬ නගමින් මනුෂ්‍යයින් උනන්දු කළා. ඒ වගේම විශාල පිරිසක් තමන් දහ නමක් විසි නමක් සිය නමක් පවා බාර ගෙන දායක පිරිස් ඒකී ස්ථානයට දාන ද්‍රව්‍ය ගෙනාවා. එක්තරා ධනවත් දායකයෙක් ලක්ෂයක් අගනා කාසාය වස්ත්‍රයක් ගෙනැල්ලා දුන්නා මේ දාන සංවිධායක මහත්මයාට - උපාසක මහත්තයාට - දාන කළමනා පිළිබඳ යම්කිසි අඩුපාඩුවක් වුනොත් මේ වස්ත්‍රය විකුණලා මේකෙන් වියපහැදම් බේරගන්න. එහෙම අඩුපාඩුවක් නූනොත් කැමති සංඝයා වහන්සේ නමකට මේ සිවුර පූජා කරන්න කියලා.   ඉතිං මේ දාන කටයුතු පසුවාද හොඳට සිද්ධවුනා. කිසි දේකින් අඩුවක් වුනෙ නෑ. මේ චීවරය, මේ කාසාය වස්ත්‍රය ඉතිරි වුනා. මේ දාන සංවිධායක මහත්මයා පිරිසට කියනවා මෙන්න මෙහෙම කෙනෙක් මට චීවර වස්ත්‍රයක් පූජා කළා - බොහොම අගනා දෙයක්. දන් කටයුතු සියල්ල නිම වෙලා තියෙනවා. අපි කාට මේ සිවුර පූජා කරනවාද? එතකොට ඇතැම් කෙනෙක් කිව්වා අපි සැරියුත් ස්වාමීන් වහන්සේට, සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේට, රහතන් වහන්සේට, පූජා කරමු කියලා. තවත් පිරිසක් කිව්වා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොයම් පැහුණු කාලෙට විරයයි ඇවිත් යන්නේ. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ එහෙම නෙවෙයි. හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ. අපට මඟුල්, අවමඟුල් හැම එකකටම උපකාර වෙනවා. ඒක නිසා අපි දේවදත්ත ස්ථවීරයන් වහන්සේට දෙමු කියලා. ඉතිං මේ පක්ෂ දෙකක් තිබුන නිසා අර දාන සංවිධායක මහත්මයා මේ දාන පොළේ පොඩි ඡන්ද විමසීමක් පැවැත්තුවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලය. පූජ්‍යපාද දේවදත්ත ස්ථවීරයන් වහන්සේ වැඩි ඡන්ද හතරකින් අර ලක්ෂයක් වටිනා චීවර වස්ත්‍රය ලැබීමට සුදුස්සා හැටියට තේරුණා. ධර්ම සේනාපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පක්ෂය පරාද වුනා. ඉතිං කොහොම හරි ඒ වස්ත්‍රය දේවදත්ත ස්ථවීරයන්ට දුන්නා. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ඒක කපලා පඬුගහලා පොරවාගෙන ඒ නගරයේ හැසිරෙන කොට ඒ හැසිරෙන ආකාරයෙන් මනුෂ්‍යයින්ගේ යම් කිසි අප්‍රසාදයක් ඇති වුනා. සමහර විට උඩඟු විදියට හැසිරෙන්න ඇති. එහා මෙහා යන්න ඇති. මේ චීවරය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මිසක් දේවදත් තෙරුන්ට නම් සුදුසු නෑ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඔය සිද්ධිය වුනාට පස්සේ රජගහ නුවරින් එක්තරා සංඝයා වහන්සේ නමක් සැවැත් නුවරට වැඩම කළා, බුදු පියාණන් වහන්සේ දකින්න. බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගෙන් අග්‍රශ්‍රාවක දෙනමගේ සුවදුක් විමසන අවස්ථාවේදී අර සංඝයා වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ සිද්ධිය. එතකොට බුදු පියාණන් වහන්සේ වදාළා. මහණ මේ ජීවිතයේ පමණක් නෙවෙයි දෙවිදත් තෙරුන් අතීතයේත් තමන්ට නුසුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන අනිත් අයගෙන් නිග්‍රහය ලැබුවා කියලා එක්තරා ජාතක කථාවක් ගෙනහැර දැක්වුවා. අතීතයේ බරණැස් නුවර ඇතුන් මරණ ඇත් වැද්දෙක් හිටියා. කැලෑ වලට වැදිලා ඇතුන් මරලා ඇතුන්ගේ දළ, නියපොතු, මස් ආදිය විකුණලා ජීවත්වෙන ඇත් වැද්දෙක්. සමහර කැලෑවල විශාල ඇත් පිරිස් හිටියා. එක කැලෑවක ඇතුන්ගේ සිරිතක් තිබුණා - කැලෑවේ වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා තමන් ගොදුරු ගැනීමට යන අවස්ථාවේ පසේ බුදු රජාණන් වහන්සේලා ළහ දණ නමලා වැඳලා පිටත්වෙන සිරිතක් තිබුනා. මේ ඇත් වැද්දා දවසක් දැක්කා මේ සිද්ධිය. ඉතිං කල්පනාවේ වැටුනා, මොකද මේ ඇතුන් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වඳින්නේ කියලා. සිවුර නිසා වෙන්න ඇති කියලා හිතලා මාත් සිවුරක් ලබාගත්තොත් මට මේ ඇත් දඩයම බොහොම හොඳින් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ මොකද කළේ. පසේ බුදු රජාණන් වහන්සේ නමක් පොකුණකට බැහැලා පැන් පහසු වෙන අවස්ථාවේ ගොඩ තිබුණ සිවුරක් අරගෙන - හොරකම් කරගෙන - ගිහිල්ලා ඒක පොරවාගෙන ඊළඟට මොකද කළේ? උපක්‍රමය. හිස සිට ඒ සිවුර පොරවාගෙන අර ඇතුන් මරණ උපකරණය, ඒ ආයුධය හංගාගෙන ඉන්නවා. ඇත් රැළ යන එන අතරේ, මේ පසේ බුදු කෙනෙක් කියලා හිතාගෙන වඳිනවා. ඉතිං ඇත් රැළ ගියාට පස්සේ අන්තිමට යන ඇතා මේ ඇත් වැද්දා අර ආයුධය ගහලා මරලා දළ ආදිය විකුණලා ඉතිරි මස් - ඒ ශරීර - කැලේ වල දානවා. ඔහොම කලක් කරගෙන යන අතරේ බෝධි සත්ත්වයන් වහන්සේ ඒ ඇත් රැළේ නායකයා බවට පත්වුනා. බෝධි සත්ත්වයන් වහන්සේට දැනුනා තමන්ගේ පිරිස අඩු වෙන බව. මේකට හේතුව කල්පනා කරන කොට සැක හිතුනා මෙන්න මේ අහවල් මනුෂ්‍යයාගෙන් වෙන්න ඇති මේ උපද්‍රවය කියලා. අනික් ඇතුන්ට යන්න ඇරලා තමන් පසුව අන්තිමට ගියා, එක දවසක්දා. එතකොට ඒ ඇතුන් ගියාට පස්සේ මේ බෝධි සත්ත්ව ඇත් රජු ලඟට එනකොට අර ඇත් වැද්දා සිවුර ඉවත් කරලා ආයුධය ගැසුවා. ආයුධය විසිකලා. බෝධි සත්ත්ව ඇත් රජු කල්පනාවෙන් හිටිය නිසා පස්සට පැනලා ඒ ආයුධය වළක්වලා ඊළඟට ඉදිරියට පැන්නා මේ මනුෂ්‍යයා අල්ලන්න “උඹ නේද මගේ මේ පිරිස විනාශ කරේ?” කියලා. එතකොට මේ ඇත් වැද්දා මොකද කලේ? ගහකට මුවාවෙලා සිවුර ඉස්සරහට ඇල්ලුවා. සිවුර ඉස්සරහට ඇල්ලුවම මේ බෝධිසත්ත්ව ඇත් රජු කල්පනා කරනවා දැන් මේ සිවුරත් අල්ලගෙන ඉන්න මේ මනුෂ්‍යයා මං විනාශ කලොත් සිය දහස් ගණන් බුදු, පසේ බුදු, රහතන් වහන්සේලාට නිග්‍රහ කලා වෙනවා. ඒ ගෞරව සම්ප්‍රයුක්ත භය මගේ සිතින් නැති කරගත්තා වෙනවා. ඒක නිසා නොමරා අත හැරලා අවවාද කලා, නිග්‍රහ කලා. “නුඹ මේ විතරාගී උත්තමයන්ට සුදුසු ඇඳුමක් ඇදගෙන ඉන්නේ” කියලා නිග්‍රහ කලා අර මනුෂ්‍යයට. එහෙම ඔය අතීත ප්‍රවෘත්තිය ප්‍රකාශ කරල බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේට වදාළා. අන්න ඒ ඇත් වැද්දා තමයි දේවදත්ත ස්ථවීරයන්. අතීතයෙත් ඒ විදියේ දෙයක් කළා. අන්න අපි මාතෘකා කළ ඒ ගාථා දෙක වදාළා. අනික්කසාවො කාසාවං - යො වත්ථං පරිදහෙස්සති අපෙතො දමසච්චෙන - න සො කාසාවමරහති කෙලෙස් කසට ඉවත් නොකළාවූ යමෙක් ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් තොරව වාසය කරමින් කාසාය වස්ත්‍රයක් අඳින්නේද හෙතෙම ඒ කාසාය වස්ත්‍රයට නොහොබී. නුසුදුසුයි. ඊළහ ගාථාව- යො ච වන්තකසාවස්ස - සීලෙසු සුසමාහිතො උපෙතො දමසච්චෙන - ස වෙ කාසාවමරහති නමුත් යම් කෙනෙක් කෙලෙස් කසට ඉවත් කරලා ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්තව කාසාය වස්ත්‍රයක් අඳිනවා නම්, ඒ තැනැත්තා ඒ කාසාය වස්ත්‍රයට සුදුසුය. කියන මෙන්න මේ අදහසයි ඒ ගාථාවල තිබෙන්නේ. දැන් එතකොට අපි මේ මූලික සිද්ධියෙනුත් ඒ ජාතක කථාවෙනුත් ගතහැකි පාඩම් මොනවද කියලා සළකල බලමු. මේ කථාන්තරයේ ලිහිල් පක්ෂය ගැන හිතලා බලනකොට අර ඒ දාන සංවිධායක මහත්මයාගේ ආදර්ශවත් ක්‍රියාව පවා අපට පාඩමක් හැටියට ගන්න පුළුවන්. මේ දානාදී පින්කම් පිළිබඳව මේ කාලේත් ඔය සම්මාදම් කිරීම කියලා එකක් තියෙනවා. මේ සම්මාදම් කියන වචනය ඇත්ත වශයෙන් මේ ධර්මයේ සඳහන් වෙන්නේ සමාදන් කිරීම කියලා. දැන් සීල සමාදානය කියන වචනය මේ පින්වතුන්ට හුඟක් පුරුදුයි. සීල සමාදානය මිසක් දාන සමාදානය කියන වචනය පුරුදු නෑ. නමුත් ඒ වෙනුවට දානයට සම්මාදම් කරනවා කියලා එකක් තියෙනවා. එතන කියවෙන්නෙත් අර අදහසයි. දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගන්න සලස්වනවා. ඒ පිළිගත්තු නිසා තමයි ඒ පිරිස තම තමන්ට හැකි පමණින් ඉදිරිපත් වුනේ. ඉතිං එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්මය අනුවයි සැරියුත් ස්වාමීන් වහන්සේ මෙතනදි දැක්වුවෙත්. ඒක පරිවාර සම්පත්තිය ලැබීමට හේතුවන දෙයක්. ඒ මොකද දානය පිළිබඳව අනික් අය උනන්දු කරවන කොට කල්‍යාණ මිත්‍රයෙක් හැටියට, ඒකත් කුසලයක්. අනිත් අය කුසලයට තැඹුරු කිරීම. ඉතිං ඒ සම්පත්ති දෙකම සකස් කර ගන්ට සාදාගන්ට අර නුවණැති පුද්ගලයා ඉතාම අවංකව සාධාරණව ඒ දාන සංවිධානය කළ බව පේනවා. දහසක් නමකට කිසිම සුදානමක් නැතිව පටන් ගත්තේ. එක රැයෙන් ඒ සියල්ල සම්පූර්ණ කරලා දාන කටයුතු නිමා කලා පමණක් නෙවෙයි අර අමතර වස්ත්‍රය ඒක අනියම් විදියට යොදාගත්තේ නෑ. ඒක පූජා කළ, දුන්න, පුද්ගලයාගේ අදහසට අනුව ඡන්ද විමසීමකුත් කරලා ඒ ඡන්දයට අනුව - සුදුස්සා කෙසේ වෙතත් ඡන්දයට අනුව - ඒක දෙන්න සැලැස්සුවා. ඉතිං ඊළඟට එතන අර දේවදත්ත ස්ථවීරයන් පිළිබඳව ප්‍රකාශ වුණු කාරණය ගැනත් අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජනප්‍රියත්වය ගුණධර්ම පිළිබඳ මිනුම් දණ්ඩක් නෙවෙයි. ජනප්‍රියත්වය අනුව නම් අර අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරාදයි දේවදත්ත ස්ථවීරයන්ට. නමුත් ඒ වස්ත්‍රයට සුදුසු අන්දමට නෙවෙයි පිළිපැද්දේ. ඒක නිසා තමයි අර මහජනයාගේ දෝෂාරෝපණයට ලක්වුනේ. ඉතිං මේ දේවදත්ත ස්ථවීරයන් එතනින් නැවතුනේ නෑ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට නොලැබෙන වස්ත්‍රයක් තමන් ලබාගෙන ඒ ඇතිවුන උඩඟුකම තුළින් තවත් ක්‍රියාත්මක වුනා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ‘දාරුණො භික්ඛවේ ලාභ සක්කාරෝ’ - ‘මේ ලාභ සත්කාර කියන එක මහ දරුණු දෙයක්, කටුක පරුෂ දෙයක්.’ මොකද ඒක තුළින් ඇතැම් කෙනෙක් භයානක අන්දමින් තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින්, අනියම් අන්දමින් ජීවිතය ගෙන යන්න උත්සාහ කරනවා. දැන් දේවදත්ත ස්ථවිරයන්ට වුනෙත් ඒකයි. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ඊළඟට මොකද කළේ? කල්පනා කරා, මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබාගන්න නම් යම්කිසි රජ කෙනෙකුගේ රාජ අනුග්‍රහ ලබාගන්න ඕන කියලා. ඉතිං සිහියට නැගුනේ අජාසත් කුමාරයා, මගධ රාජ්‍යයට හිමිකම් කියන අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා පහදවා ගන්න එක්තරා උපක්‍රමයක් යෙදුවා. මේ දේවදත්ත ස්ථවීරයන්ට අභිඥාබල තිබුනා. සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වන ශක්තිය තිබුනා. ඉතිං සෘද්ධියෙන් ශරීරයක් මවාගෙන, අජාසත් කුමාරයා බයවන විදියේ සර්පයින් ඔතාගත්තු ශරීරයකින් උකුල උඩට ඇවිල්ලා පෙනී හිටලා බය උනාට පස්සේ නැවතත් තමන්ගේ ශරීරය නිර්මාණය කරලා පහදවා ගත්තා. අජාසත් කුමාරයා පහදවා ගත්තා තමන්ගේ තියෙන සෘද්ධිබල ශක්ති තුළින්. එතන ඉදලා ඊළඟට අජාසත් කුමාරයා දවසට දෙපාරක් උදේ හවස දේවදත්ත ස්ථවිරයන් දකින්න යනවා. පන්සියයක් රථ වලින්. ඒ වගේම පන්සියයක් ආහාර භාජන - බොහොම රසවත් ආහාර තැටි - යවනවා දේවදත්ත ස්ථවීරයන්ට. මේ කාරණය සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැළකලාම බුදු පියාණන් ප්‍රකාශ කරනවා - “මහණෙනි, මේ දේවදත්ත ස්ථවීරයන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්න එපා. ඒ ලාභ සත්කාර ආදිය දේවදත්ත ස්ථවිරයන්ට ලැබීම නිසාම පරිහානියට පත් වෙනවා. විනාශයට පත්වෙනවා. හරියට අර සැඬ පරුෂ බල්ලෙකුට පිතක් නහයට ඉව වැටුනහම වඩාත් සැඬ පරුෂ වෙන්න වගේ දේවදත්ත ස්ථවීරයනුත් ඒ විදියට හැසිරෙනවා කියලා අනාගත වාක්‍යක් එහෙමත් ප්‍රකාශ කලා. ඒ වගේම ඊළඟට අර දේවදත්ත ස්ථවීරයන් වහන්සේ මේ අජාසත් කුමාරයා කැමති කරවා ගත්තා කරුණු කියලා තමන්ගේ පියා බිම්බිසාර රජු මරලා ඉක්මනින් රජ වෙන්න. මම බුදුරජු මරලා බුද්ධ රාජ්‍යය ලබා ගන්නවා කියලා. ඇත්ත වශයෙන් ඒකට මූලික වුනෙ කලින්ම එක අවස්ථාවක දේවදත්ත ස්ථවීරයන් බුදු රජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරන අවස්ථාවේ ඉදිරිපත් වෙලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා “දැන් භාග්‍යවතුන් වහන්සේ වයෝවෘද්ධයි. සඟ පිරිස මට පවරා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ විශ්‍රාම අරගෙන විවේකයෙන් වැඩ වසන්න” කියලා. බුදු පියාණන් වහන්සේ ඒකට නිග්‍රහ කළා. අග්‍රශ්‍රාවකයින් වහන්සේලාටත් මම නොදෙන - මේ අගසව්වන්ටත් නොදෙන නායකකම ඔබ වැන්නකුට දෙන්නෙ නෑ කියලා නිගහ කළා. ඉන් කිපිලා තමයි මේ දේවදත්ත ස්ථවීරයන් බුදුපියාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවෙ, අර අජාසත් කුමාරයා උපකාර කරගෙන. අජාසත් කුමාරයා පියාට භයානක අන්දමින් වද දීලා මරණයට පත් කරන්න සලස්සුවා ආනන්තරිය පාප කර්මයකට අසුවුණා. ඉතිං මගධ රාජ්‍යය ලබාගත්තට පස්සේ දේවදත්ත ස්ථවීරයන් ඇවිල්ලා කියනවා දැන් ඉතිං ඔබ නම් ඒ කටයුත්ත කර ගත්තා ඔබතුමා දැන් මගේ වැඩෙටත් උදව් වෙන්න කියලා. ඊළඟට බුදු රජාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා. පළමුවෙන්ම යෙදූ උපක්‍රමය, දුනුවායන් යැව්වා බුදු පියාණන් වහන්සේ විවේකයෙන් වනයේ වැඩ වෙසෙන අවස්ථාවක. එක දුනු වායෙකුට පැවරුවා බුදු පියාණන් වහන්සේට විදින්න කියලා. ඒ විදලා එන අතරේ ඒ දුනුවායා මරන්න තව දුනුවායන් දෙන්නෙක් ඒ මාර්ගයේ රැඳෙව්වා. වෙන පාරකින් එන අතරේ. ඊළඟට ඒ දෙන්නා එන අතරේ ඒ දෙන්නා මරන්න තව හතර දෙනෙක්. ඒ හතර දෙනා මරන්න දහසය දෙනෙක්. ඔය විදියේ මහ පුදුම අන්දමේ ක්‍රම උපක්‍රමයක්, කුමන්ත්‍රණයක්, අභිරහසක් විදියට තබා ගැනීමට මේ බුද්ධ ඝාතනය මේ දේවදත්ත ස්ථවීරයන් මේ විදියට සැලැස්ම යෙදුවා. නමුත් අර බුදු පියාණන් වහන්සේට විදින්න ගිය මනුෂ්‍යයාට බුදුපියාණන් වහන්සේගේ බුද්ධ තේජස නිසා ඇඟ දරදඬු වෙලා ඒක කරගන්න බැරි වෙලා, තමන් ආපු කාරණය කීවා. බුදු පියාණන් වහන්සේ ඒ මනුෂ්‍යයාට ධර්මය දේශනා කරලා වෙන පාරකින් යන්න සැලැස්සුවා. ඒ වගේම ඒ සෘද්ධි බලය තුළින්ම බුදු පියාණන් වහන්සේ අර අනික් පිරිසත් - දෙන්නා, හතර දෙනා, අට දෙනා, දහසය දෙනා වශයෙන් ඒ මාර්ගයේ රැඳවු හැම දෙනාම - බුදුපියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බණ අහලා පැහැදිලා ඒ බලාපොරොත්තු වුනු කාර්යය ඉෂ්ට කලේ නෑ. මේ කාරණය දේවදත්ත ස්ථවීරයන්ට දැනගන්න ලැබුනහම කල්පනා කරා දැන් ඉතිං මමම බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න ඕන කියලා. ගිජ්ඣකූට පර්වතයට - ගිජුකුළ පව්වට - නැගලා බුදු පියාණන් වහන්සේ එහි පහත සක්මන් කරන අවස්ථාවක මහ විශාල ගල්කුළක් පෙරළුවා. ඒ ගල්කුළ වැටෙන අතරේ තවත් ගල්කුළ දෙකක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස තුළින් මතුවෙලා අර ගල්කුළ වැළැක්කුවා. නමුත් ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ පිටි පතුලට වැදිලා බරපතල අන්දමින් වේදනා ගෙන දෙන තුවාලයක් ඇතිවුනා. ජීවක වෙද්‍යාචාර්ය තුමන්ට බෙහෙත් කරන්නත් සිද්ධ වුනා. ඒ තුළින් දේවදත්ත ස්ථවීරයන් අර බුද්ධ ශරීරයෙන් ලේ සෙලවීම කියල කියන භයානක ආනන්තරිය පාප කර්මයකටත් අසුවුනා. ඉතිං බුදුරජාණන් වහන්සේ ඒත් සාතනය කරන්න බැරිවුණු නිසා ඊළඟට දේවදත්ත ස්ථවීරයන් යෙදූ උපක්‍රම මොකක්ද, නාලාගිරි ඇතුට රා පොවලා බුදු පියාණන් වහන්සේත් සංඝයා වහන්සේලාත් වැඩම කරන මාර්ගයට මුදා හරින්න පිළියෙල කලා, ඇත් ගොව්වන්ට අල්ලස් එහෙම දීලා. ඉතිං ඒ නාලාගිරි ඇතු මහා භයානක අන්දමින් දූවිලි නාගෙන එන අතරේ බුදු පියාණන් වහන්සේ මෛත්‍රී සිත යොදලා ඒ ඇතාව දමනය කලා, දණගස්සන්න සැලැස්සුවා. එතකොට ඒ උත්සාහ තුනම ව්‍යර්ථ උනාට පස්සේ ඒ එක්කම රටවැසියන් අතර, නගර වාසීන් අතර, ලොකු උද්ඝෝෂණයක් ඇති වුනා මේ තරම් පාපතරයකුට අජාසත් රජතුමා උදව් කරනවා කියලා. අජාසත් රජතුමාට මෙතෙක් ඒ දේවදත්ත තෙරුන්ට දුන්න සත්කාර පවා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතිං මේ අවස්ථාවේදී ඊළඟට දේවදත්ත ස්ථවීරයන් කල්පනා කරනවා. දැන් කොහොමද මම නැවත ලාභ සත්කාර ආදිය ලබාගන්නෙ කියලා. ඊළඟට පාපී සිතුවිල්ලක් ආවා සංඝ භේදය කියන ඒ සංඝයා වහන්සේලා භේද කරවලා සමගි සම්පන්නව සිටින සංඝයා වහන්සේලාගෙන් කොටසක් තමන් අරගෙන ගිහිල්ලා වෙනම සාසනයක් හදන්න. ඒ පාපී සිතිවිල්ල එනවත් එක්කම අර කලින් තිබුණු සෘද්ධිබල නැතිවෙලා ගියා. ඊළඟට මේ ආරංචිය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට දැන්වුවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා ඔන්න එහෙනම් ඉතාමත්ම භයානක තවත් ආනන්තරිය පාප කර්මයකට දේවදත්ත ස්ථවීරයන් බැඳෙන්නයි යන්නෙ කියලා. ඉතිං ඒ අවවාද අනුසාසනා කිසිවකට කන් නොදී දේවදත්ත ස්ථවීරයන් පඤචවර කියන විශේෂ ඉල්ලීම පහක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මනුෂ්‍යයින් කැමති වන විදියේ දේවල්. ඒ වර පහ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරහම අලුතෙන් පැවිදි වුනු භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් තමන්ගේ පක්ෂයට හරවා ගෙන ඊළඟට ගයා ශීර්ෂයට - ඒ කියන්නෙ බුද්ධගයා කියලා අපි හඳුන්වන ඒ උතුම් තැනට - මේ දේවදත්ත ස්ථවීරයන් ගිහිල්ලා වෙනම සාසනයක් පටන් ගත්තා. කෝකාලික කටමොරකතිස්ස කියලා කියන ශ්‍රාවකයින් දෙදෙනෙක් අග්‍රශ්‍රාවකයින් හැටියට දෙපැත්තෙන් තබාගෙන තමන් බුදුකෙනෙක් හැටියට බුද්ධ ලීලාවෙන් ශාසනයක් ආරම්භ කලා. ඒක ටික කලක් පැවතුනා. පවතින අතරේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක අග්‍රශ්‍රාවක දෙනම - සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවක දෙනම - යැව්වා මේ පිරිස ආපහු අරගෙන එන්න. ඒ යන අවස්ථාවේ දේවදත්ත ස්ථවීරයන් ධර්ම දේශනා කරනවා බුද්ධ ලීලාවෙන්. රැවටුනා, මේ අගසව් දෙනමත් මගේ පැත්තට ආවා කියල. රෑ තරමක් දුරට ධර්ම දේශනා කරලා පැවරුව මං වෙනුවට මේ ධර්මය දේශනා කරන්න කියලා. ගිහිල්ලා සැතපුනා. ඒ අතර තුර අර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම හරි ආකාරයෙන් ධර්මය ඉදිරිපත් කරලා අර දේවදත්ත ස්ථවීරයන්ගේ පිරිස ඔක්කොම නැවත හරවාගෙන ඒ පිරිසත් එක්ක අහසින්ම බුදු රජාණන් වහන්සේ දැකීමට ආපසු වැඩම කළා. අර කෝකාලික කියන දේවදත්ත ස්ථවීරයන්ගේ අග්‍රශ්‍රාවකයා දේවදත්ත ස්ථවීරයන් නැගිට්ටවලා - එතන කියවෙනවා පපුවට පයින් ගහලා නැගිට්ටවලා - මේ කාරණය ප්‍රකාශ කලාම ඒ ඇතිවුනු සංවේගය නිසා දේවදත්ත ස්ථවීරයන්ට ලේ වමනය ඇති වුනා කියලා. ලේ වමනය දැම්මා කියලා. ඒ ඇතිවුණු චිත්ත කම්පනයත් ලේ වමනයත් නිසා නව මාසයක්ම රෝගාතුරව දේවදත්ත ස්ථවීරයන් බොහොම භයානක අන්දමේ කායික දුක් වේදනා විදිමින්, අන්තිම අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැකීමට එන්න බලාපොරොත්තු වෙමින්, ඒ තමන්ගේ අනුගාමිකයින්ට කිව්වා ජේතවනාරාමයට මාව අරගෙන යන්න කියලා. ඒ ආරංචිය එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේලා ප්‍රකාශ කලා මෙන්න දේවදත්ත ස්ථවිරයයි දැන් එන්න හදනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා මේ ජීවිතයේදී දේවදත්ත ස්ථවිරයන්ට නැවත මා දකින්න ලැබෙන්නෙ නෑ. කොයියම්ම ආකාරයකින් ජේතවනාරාමයට ආවත් මාව දකින්නෙ නෑ කියල. ඉතිං අර අනුගාමිකයින් මුලදි අකමැති වුනා මේ දේවදත්ත ස්ථවිරයන් ගෙනියන්න. ජීවත්ව ඉන්දෙද්දි බුදු රජාණන් වහන්සේට මේ තරම් වෛර කරලා ඔබ දැන් කියනවා අපට එක්කගෙන යන්න කියලා. එතකොට දේවදත්ත ස්ථවිරයන් කියනවා ඒ වුනාට භාග්‍යවතුන් වහන්සේට මා කෙරෙහි වෛරයක් නැත කියලා. කොහොම හරි කැමති කරවා ගත්තා. එතකොට අර අනුගාමිකයින් ඇඳක තබලා දේවදත්ත ස්ථවීරයන් අරගෙන ගියා ජේතවනාරාමය ලඟට. ඒ ජේතවනාරාමය ළඟ පොකුණ අයිනේ ඒ ඇඳ තියලා ඒ අරගෙන ආපු අය පොකුණට බැස්සා නාන්න. ඒ අතරතුර දේවදත්ත ස්ථවිරයන් ඇඳේ ඉදගෙන බිමට පය තිව්වා. බිමට පය තියෙන කොට පොළව විදර වෙලා අවීචියෙන් ගිනි දැල් ඇවිත් අවීචි නිරයට ගිය බව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේ දේවදත්ත ස්ථවීරයන් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන එක්තරා ගාථාවක් ප්‍රකාශ කළ බවත් කියවෙනවා. එතකොට ඔන්න දේවදත්ත ස්ථවීරයන්ට ගිය කල. ඉතිං මේකෙ මුල, බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ මේකට හේතුව, අර ලාභ සත්කාරය කියල. ලාභ සත්කාර කියන එක මහා දරුණු දෙයක්. ඒක දැන් අර මුලින්ම මේ කථාවෙ කියවුන අර අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන්වහන්සේට ලැබිය යුතු චීවරය දේවදත්ත ස්ථවිරයන්ට ලබාගන්න පුළුවන් වුණු ඒ ආඩම්බරය උඩඟු බව, නිසා තමයි එතන ඉඳලා අනිකුත් ඒ ජනප්‍රියත්වය ලබාගෙන ලාභ සත්කාර ලබාගෙන අර විදියේ පාපකම් රාශියකට පටලැවුනේ. ඉතිං ඒ අනුව අපට හිතාගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලාභ සත්කාර ඉතාම දරුණු දේවල්. මේ දේවදත්ත ස්ථවිරයන්ට ඒ වුනු විපත පිළිබඳව සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා උපමා හතරකින්. “මහණෙනි, කෙසෙල් ගසක් පීදෙන්නේ කෙසෙල් ගසේ විනාශයටයි. ඒ වගේම තමයි උණ ගසක් පීදෙන්නෙත්. පීදුනොත් උණ ගස විනාශයි. බට ගස පීදුනොත් බට ගස විනාශයි. ඒ වගේම කොටළු දෙනක් ගර්භිනී උනොත් ඒ දරුගැබ නිසා මරණයට පත්වෙනවා. ඔන්න ඔය වගේම ඒ ලාභ සත්කාර දේවදත්ත ස්ථවීරයන්ගේ විනාශය පිණිසම ඇති වුනා” කියලා ඒ විදියට ප්‍රකාශ කලා. ඉතිං මේ අනුව අපට හිතාගන්න පුළුවන් මේ ජනප්‍රියත්වය ලාභ සත්කාර කියන ඒවා බොහෝවිට මනුෂ්‍යයින් භයානක අන්දමේ පාප කර්මවලට යොමු කරන බව. ඒ වගේම මේ ජාතක කථාව ගැන කල්පනා කරලා බලන කොට මේ ජාතක කථාවෙනුත් අපට කාලීන වශයෙන් වැදගත් වන යම් යම් උපදේශ මතු කරගන්න පුළුවන්. දැන් මේ ජාතක කථාවේ කියවුනා පළමුවෙන්ම අර ඇත් වැද්දා තමන්ගේ ඒ ඇත් දඩයමට යොදා ගත්තේ මොකක්ද, පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සොරා ගත්තු සිවුරක්. පින්වතුනි, මේ චීවරය කියන එක අපේ බණ පොත් වල හඳුන්වන්නෙ අර්හත් ධජයක් කියලා. අර්හත් ධජයක් කියලා කියන්නේ, දැන් ඔන්න අපි හිතමු පෙරහැරක් එනකොට පෙරහැරේ ඉස්සරහින් එන කොඩිය අනුව නෙ අපි තේරුම් ගන්නෙ මේ පෙරහුරේ එන අය. ඉතිං ඒ වගේ අර්හත්ධජය කියන්නෙ චීවරය දකින කොට කෙනෙකුට ඇතිවන අදහස මොකක්ද, එක්කො මේ රහතන් වහන්සේ නමක් එහෙම නැත්තම් රහත් ප්‍රතිපදාවේ හැසිරෙන, රහත් බව සඳහා උත්සාහ කරන, පිරිසක් කියන අදහසයි. මේ චීවරය දරාගත්තු පිරිසක් එතකොට ඇතිවෙන්නේ. ඒක නිසා තමයි ඒකට අර්හත් ධජය කියලා කියන්නේ. නමුත් මෙන්න මේ අර්හත්ධජය වෙන විදියේ පරමාර්ථ සඳහා, වෙන විදියේ පෙරමුණ සඳහා, ඉදිරිපත් කර ගත්තොත් ඒක හරියට අර ඇත් වැද්දා බුදුරජාණන් වහන්සේගෙන් සොරා ගත්තු සිවුර ඇත් දඩයමට යොදා ගත්තා වගේ වැඩක් වෙනවා. ඒක නිසා අර්හත්ධජය අන්න අර නිවන් කරා යන ගමන, ඒ අරමුණ, ඒ පරමාර්ථය, රහත් බව කරා යන ගමන, ඒක පෙන්නුම් කරන ධජයක් හැටියට ආරක්ෂා කර ගැනීමයි වටිනාම දේ. ශාසනයක් ආරක්ෂා කර ගැනීම ගැන අපි කලින් සඳහන් කලා. එතකොට අන්න ඒ අදහස අපිට මේ ජාතක කථාව තුළින් ගන්න පුළුවන්. ඒ වගේම මේ චීවරය තවත් සමහර තැන්වල සන්නාහයක් හැටියටත් සඳහන් වෙනවා. දැන් ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙක් හිටියා තිස්ස කුමාරයා - උප රජකමත් ලබාගෙන, නමුත් ඒ තිස්ස කුමාරයා දැඩිව නිවන් අදහස ඇතිකරගෙන ශාසනයේ පැවිදිවෙලා විවේකයට කොයි තරම් ලැදි වුනාද කියතොත් උන් වහන්සේ ඒ ධර්ම ග්‍රන්ථ වල හැඳින්වෙන්නේ ‘ඒක විහාරීය’ තෙරුන් කියලා. ‘ඒක විහාරීව තනිව ජීවත් වීමට ආශා කල ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වුනා, මේ රාජ කුමාරයාත්. ඉතිං පැවිදි වුනාට පස්සේ ඒ තමන්ගේ නිවන් පිළිබඳ අදහස කොයි තරම් දැඩිව තිබුණද කියතොත් නිවන පිළිබඳ බලාපොරොත්තුව හෙළි කිරීමට එක්තරා ගාථාවක් වදාළා. ඒ ගාථාවෙන් ප්‍රකාශවෙන අදහස මේකයි. ’මම මේ සන්නාහය බැඳගෙන කැලේට ඇතුල්වෙනවා. කැලෙන් එළියට එන්නෙ නෑ කෙලෙස් සටන ජයගරහ කරලා රහත් නොවී’. එතකොට එයින් පේනවා අර සන්නාහය කියන එක - දැන් සන්නාහය කියලා කියන්නේ පින්වතුනි, යුද්ධකදී, සටනකදී, ආයුධ පහරෙන් වැළකීමට යොදා ගන්නා එක්තරා ආයිත්තමක් - ඉතිං ඒක කෙලෙස් සටනට ආයිත්තමක් මිසක්, කෙලෙස් සටනට ආරක්ෂාවක් මිසක්, වෙන සටන් වලට, වෙන වෙන වැරදි ක්‍රියා කරලා ඒවායින් එන විපාක වලින් බේරීමට - චීවරය ඉදිරිපත් කරගැනීම ශාසනානුලෝමික නෑ. සාසනයට අනුකූල දෙයක් නෙවෙයි. ඒක හරියට අර ඇත් වැද්දා ඇතුන් මැරීමේ වරදට දඬුවම ලංවෙන කොට සිවුර ගලවලා ඉස්සරහට ගත්තා වගේ වැඩක් වෙනවා. ඉතිං ඔය ජාතක කථාවෙනුත් අපට යම් යම් කාරණා, උපදෙස් ඔය ආශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතිං මේ හැම එකක් තුළින්ම අපට පේනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය නිසා ශාසනික වටිනාකම් යටපත් වෙන්න ඉඩ තියෙන බව. ඒක නිසයි බුදු පියාණන් වහන්සේ ඒවායේ භයානකත්වය නිතර මතුකරලා දුන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා මේවා හරියට දැන් ඕන්න ගොම කුරුමිණියෙක් දිහා බැලුවහම ගොමකුරුමිණියෙක් ගොම ගොඩක් ලබාගත්තම - ගොම ගුලියක් - ඒක පෙරලගෙන පෙරලගෙන යනවා. බොහොම ආඩම්බරයෙන්. අන්න ඒ වගෙයි ඒ උපමාව දක්වනවා බුදු පියාණන් වහන්සේ, යම් කිසි භික්ෂුවක් බොහොම ආඩම්බරයෙන් කියනවා නම් “මට අහවල් අහවල් තැනින් ආරාධනා තියෙනවා. මට සිව් පසයෙන් කිසි අඩුපාඩුවක් නෑ.” ඕවා කියනවා නම් අන්න අර ගොම කුරුමිණියා වගෙයි කියලා. ඒ විදියට නිග්‍රහ වෙන අන්දමටත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම අපි දැන් දන්නවා මේ ලාභ සත්කාර කියන ඒ රැල්ලට අහුවුනාට පස්සේ සංඝයා වහන්සේලාගේ සනාතන වටිනාකම් හැටියට සලකන්න පුළුවන් වන වටිනා ගුණධර්ම නැතිවෙලා යන බව. මොනවද ඒ ගුණ ධර්ම? අල්පේච්ඡතාව, සන්තුට්ඨීතාව, සුභරතාව. අල්පේච්ඡතාව කියල කියන්නේ ආශාවන් අඩු බව, සුළු දේකින් සෑහීමකට පත්වෙන්න පුළුවන් බව. ඒ අල්පේච්ඡතාව ආරක්ෂා කරගන්න අමාරුයි ගිහි සමාජයෙන් එන සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී රැල්ලට අසුවුනහම. ඒකට ගසාගෙන යනවා. දැන් මුහුද වෙරළේ දුර්වල ගොඩනගිල්ලක් තියෙනවා නම් වාරකන් කාලේ එන එන රැලපහරට කඩාගෙන යන්න වගේ, හෝදගෙන යන්නා වගේ, අන්න අර අල්පේච්ඡතාව කියන ගුණය වැනසිලා යනවා සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී ආරාධනා තුළින්. මේ හැම කෙනාටම ඒක තුළින් යමක් හිතාගන්න පුළුවන්. ඒ වගේම සන්තුට්ඨිතා කියල කියන, ලද දෙයින් සතුටුවීමේ ගුණය. ඒකත් සංඝයා වහන්සේලාට අයිති දෙයක්. සිවුපසයෙන් සෑහීමකට පත්වීම. අෂ්ටපරිෂ්කාර කියලා අතීතයේ අෂ්ටපරිෂ්කාරයෙන් සෑහීමකට පත්වුන සංඝයා වහන්සේලා. පිරිකර අටක්. දැන් කොච්චරද කියල ගණන් කරන්න පුලුවන් වෙයිද කියන්න බෑ. පරිෂ්කාර වශයෙන් අත්‍යවශ්‍ය හැටියට සලකන දේවල් එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි සුභරතාව, සුභරතා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒකත් අර සංඝයා වහන්සේලා ක්‍රම ක්‍රමයෙන් සුඛෝපභෝගී ජීවිතයට නැඹුරුවීමත් එක්කම පෝෂණය කිරීම කියන ගිහි පක්ෂයට එන වගකීමත් එන්න එන්නම බැරෑරුම් වෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි නියම සංඝයා වහන්සේ කෙනෙක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා නුසුදුසු අන්දමින් ගිහියන් සමහ සබඳකම් නොපැවැත්විය යුතු බව. දැන් දේවදත්ත ස්ථවිරයන් පිළිබඳව අර වර්ණනා කළේ දේවදත්ත පක්ෂය දානපලේදී, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නම් ගොයම් පැහුණු කාලෙට පමණයි එන්නේ. දේවදත්ත ස්ථවීරයන් මඟුල් අවමඟුල් හැම දෙකකටම අපට උපකාර වෙනවා, හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ. වතුර භාජනයක් වගේ. ඕන දෙයක්, ඕන එකක්, හෝද ගන්න බොන්න කියන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අනික, ඒ තත්ත්වයට සංඝයා වහන්සේ කෙනෙක් වැටුනොත් අන්න අර දේවදත්ත පරමාර්ථය ඔස්සේ යන්න ඉඩ තියෙනවා. ඒ තරම් භයානක දෙයක් මේ ජනප්‍රියත්වය කියන එක. ජනප්‍රියත්වය ඇතිවුණු හැටියෙ ඊළඟට බලාපොරොත්තු වන්නෙ පදවිය. පදවි ලාභය. ඉතිං ඒක තුළින් දන්නෙම නැතිව අශාසනික මාර්ගයකට යොමු වෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නුසුදුසු ගිහි සම්බන්ධකම් ඉවත් කරලා සංඝයා වහන්සේලා තමන්ගේ පරමාර්ථයට එකඟ වන නිවන් මගට අදාළ වන අන්දමින් ජීවිතය ගෙනයා යුතු බවයි. වෙන එකක් තබා නුසුදුසු අන්දමින් ගිහියන්ට සංග්‍රහ කිරීම පවා කුල දූෂණය නමින් හැඳින්වෙනවා. කුල දූෂණය කියන වචනය - පවුල් දූෂණය කරනවා කියලා කියන්නෙ මොකද, ඒ ශ්‍රද්ධාව දූෂණය කරනවා. මහා ශ්‍රද්ධාවක්, ගැඹුරු ශ්‍රද්ධාවක්, ලෝක ශ්‍රද්ධාවක්, ඇතිවයි ගිහි පින්වතුන් සංඝයා වහන්සේලාට සිවුපසය පූජා කරන්නෙ. ඒ ශ්‍රද්ධාව දූෂණය වීමට හේතුවෙනවා අනියම් අන්දමින්, නුසුදුසු අන්දමින්, ගිහියන් සමහ සම්බන්ධකම් පැවැත්වීම. ඒක අර දේවදත්ත ස්ථවීරයන්ගේ ක්‍රියාවලියෙන් අපට පැහැදිලි වෙනවා. නමුත් සමාජයේ සාමාන්‍යයේ සැලකෙන්නෙ, ජනප්‍රිය වෙන්නේ, බොහොම දෙනෙක් ‘ඡන්දය’ දෙන්නේ, අන්න අර විදියේ ආකල්පය ඇති අයටයි. අපි කල්පනා කර ගන්න ඕන ශාසනය දීර්ඝ කාලයක් පවතින්න නම් අපි - ‘කුසලච්ඡන්දය’ - කුසලයටයි ඡන්දය දෙන්නෙ ඕනේ. ඒ පැත්තටයි. ඉතිං අන්න ඒ විදියේ කාරණා රාශියක් අප මේ කථාන්තරය තුළින් මතුකර ගන්න පුළුවන් වුනා. බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයාට සම්බුද්ධ සාසනයක් කියල දෙයක් හඳුන්වලා දෙන්නේ මේ සංසාරයේ තියෙන දුක්ඛ ස්වභාවය දුක්ඛ සත්‍යය වශයෙන් අවබෝධ කරගෙනයි. රජකම්, සිටුකම්, සක්විතිකම් ආදී කොයි දෙයක් ලැබුවත් ඒ හැම දෙයක්ම අනිත්‍ය බව බුදු පියාණන් වහන්සේ නොයෙකුත් සුත්‍ර දේශනා වල ප්‍රකාශ කරලා තිබෙනවා. සමහර විට ඒ සුත්‍ර දේශනාවල සක්විති රජවරුන්ගේ සම්පත් ගැන තියෙන ටික බොහොම ආසාවෙන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියවනවා. ඒ මිසක් සූත්‍රයේ අවසාන වන ටික - “මහණෙනි, මේ සියල්ල අනිත්‍යයි. ඒ හිටි සක්විති රජවරුත් නෑ ඒ බිසෝවරුත් නෑ. කුමාරවරුත් දැන් නෑ. ඒ සියලු සම්පත් - සියල්ලම දැන් විනාශයි. ඔයත් ඇති සංස්කාර ගැන කලකිරෙන්න. මේ සියලු සංස්කාර අනිත්‍යයි” කියලා ඒ විදියටයි බුදු පියාණන් වහන්සේ අතීත කථාන්තර, චක්‍රවර්ති කථාන්තර, ආදිය මතු කරලා දක්වන්නේ. ඒ අනුව පෙන්නුම් කරන්නේ මේ සංසාරික ජීවිතයේ ඇති දුක් ස්වභාවයයි. මේවට පැලැස්තර දමමින් එක්තරා ප්‍රමාණයකට ගිහි ජීවිතය ගෙන යන බව ඇත්ත. නමුත් ගිහි පින්වතා තුළින්ම තමයි පැවිද්දෙක් ලෝකයට බිහි වෙන්නේ, යම් කිසි අවස්ථාවක. දැන් මේවගේ අවස්ථාවල මේ පින්වතුන් තම තමන්ගේ කොයිතරම් සුඛෝපභෝගී ජීවිත රටාවල් තිබුණත්, කොයි තරම් වස්ත්‍රාභරණ තිබුණත් ගෙදර දොරේ, ඒවා ඉවත් කරලා දාලා, ඒවා අහක්කරලා, මේ එක දවසක් වාම් ජීවිතයට නැඹුරුවෙලා තමන්ගේ ජීවිතය ගැන, ලෝකය ගැන, ගැඹුරින් කල්පනා කරන්න අවස්ථාවක් සලසා ගන්න ගෙවල් වලින් ඉවත් වෙලා, එහෙම කරපු ආරම්භය තුළින් ඇතුම් කෙනෙක් ගැඹුරින් කල්පනා කරලා මේ තමන්ගේ ජීවිතය ගැන සංසාරික තත්ත්වය ගැන හිතලා, යම් අවස්ථාවක කලකිරීමක්, සසර කලකිරීමක්, ඇතිකර ගත්තා නම් අන්න ඒ අවස්ථාවේ තමයි පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ. එතකොට පැවිදි පරමාර්ථය මොකක්ද? ‘පබ්බජ්ජා’ කියලා කියන්නේ මේ සසර දුකින් එතර වීම. ‘සබ්බදුක්ඛනිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය’ කියන ඒ පරමාර්ථය මුල් කරගෙනයි කෙනෙක් පැවිද්දටනේ. සිවුරුපටිය තාමත් ගෙල බඳින්නෙ ඒ වාක්‍යය කියලයි. සියලු දුකින් නික්මීම කියන නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි, මේ පැවිද්ද කියල කියන එක. එතකොට ශාසනයක් ආරක්ෂා වීම කියල කියන්නෙ - ශාසනය කියලා කියන කොට දැන් ඊළඟට සංඝයා වහන්සේලා ගැන හිතන කොට මේ පින්වතුන් අහලා තියෙනවා අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා අපි පාවිච්චි කරනවා. මේ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය ගිහි පින්වතාට විශේෂ සංකල්පයක් වන්නෙ මොකද? ඒක හරියට අර ගිහි ජීවිතයේ ඉඳලා බලනකොට නිවන ඉතාම ඈත තියෙන දෙයක්. බොහොම ඈත මාර්ගයක්. නමුත් මේ ඈත මාර්ගයේ අප වැනි අයත් අවස්ථා වශයෙන් මේ ගමන ගිහිල්ලා සසර දුක් කෙළවර කරලා තියෙනව කියන අවබෝධය ලබාදෙන පුද්ගල විශේෂයන් තමයි අර අෂ්ඨාර්ය පුද්ගලයින් හැටියට දක්වන්නේ. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන ඒ මාර්ගයේ යන සහ ඒ මාර්ගඵලයට පැමිණ අට දෙනා වහන්සේලා හරියට අර නිවන මඟ තියන පහන් වැටක් වගේ, පහන් පෙළක් වගේ. ඒ තුළින් යම්කිසි ආලෝකයක් ලබනවා මේ මාර්ගයේ අපිට යන්න පුළුවන් කියලා. එතකොට ඒ සංඝ සාසනය, ශාසනය තුළ තියෙන වටිනාකම එකයි. යම්තාක් මේ සංඝයා වහන්සේලා ඒ නිවන් මහ හැසිරෙනවද, ඒතාක් එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදීත් ප්‍රකාශ කලා යම්තාක් ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සම්පූර්ණ කරනවද, ඒ තාක් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස්වෙන්නෙ නෑ කියලා. මොකද, බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ධර්මයේ ප්‍රායෝගික අංශය තේරුම් අරගෙන ඒක අනුව ක්‍රියා කරනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම්, කෙනෙකුට අද පවා ඒවා ලබාගන්න පුළුවන්. ඒ විදියේ නෛර්යාණික සම්බුද්ධ ශාසනයක ඇති වටිනාකම් අපි හරියාකාර තේරුම් ගන්නෙ නැත්නම් ඒ වෙනුවට අන්න අර වගේ මේක කොඩියක් සන්නාහයක් හැටියට හිතාගෙන චීවරය පාවිච්චි කලොත්, ශාසනය පරිහානියට පත් වෙනවා මිසක් ශාසනය දීර්ඝ කාලයක් පවතින්නෙ නෑ. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස.   මෙන්න මේ කාරණයයි අපිට මේ කථාන්තරය තුළින් ගතහැකි වන්නෙ. ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ මාර්ගයට පිවිසෙන්නෙ කොහොමද? ශීල ආදී ගුණ ධර්ම තුළින්. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනව ශීලය කියන පදනම මතයි සමාධිය ගොඩ නැගෙන්නෙ. ඒ සමාධිය කියලා කියන විත්ත ඒකාග්‍රතාව පිහිට කොටගෙනයි යථාභූත ඥානය කියල කියන අනිත්‍ය දුඃඛ අනාත්ම ත්‍රිලක්ෂණය ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ කෙනෙකුට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා. එතකොට සංඝයා වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ, ඒ ජීවිත ආදර්ශයට අරගෙන අද මේ විශාල පිරිසක් ගිහි පින්වතුන් තම තමන්ගේ සුඛෝපභෝගී ජීවිත රටාවල් අතහැරලා මේ අද එක දවසක් රහත් ප්‍රතිපදාවේ හැසිරෙනවා කියන ඒ අවබෝධය ඇතිවයි පොහොසය අටසිල් සමාදන් වුනෙ. ඉතිං ඒ විදියේ ප්‍රතිපදාවක හැසිරීම තුළින්ම පේනවා යම් කිසි ගුරු ඉලක්කයක් පින්වතුන් තුළ පවා තිබෙනවා. අපි කවදා හෝ මේ ගිහි ජීවිතය තුළ තියෙන දුක් කම්කටොළ පමණක් නොවෙයි දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ - බුද්ධ වචනය සත්‍ය නම් මනුෂ්‍යයින් හැටියට පමණක් නොවෙයි තිරිසනුන්, යක්ෂයින්, ප්‍රේතයින් හැටියට, නිරා සතුන් හැටියට දීර්ඝ කාලයක් මේ සංසාරයේ - අපි දුක් විදලා තියෙනවා. බුද්ධ ශාසනයක් පහළ වුනා නම් ඒ බුද්ධ ශාසනයත් අප අර සඳහන් කල ආකාරයට බුදු පියාණන් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන එතුම්ම දායාදය හැටියට සලකන්න පුළුවන් වෙන්නෙ අන්න අර නිර්වාණ මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීමේ යෙදිල සිටින සංඝයා වහන්සේලාගෙන් සම්න්විත සම්බුද්ධ ශාසනයයි. එතකොට සම්බුද්ධ ශාසනය ආරක්ෂාවන්තාක් ගිහි පින්වතුන්ට මේ තමන් ගෙන යන ප්‍රතිපදාව පවා අර්ථවත් එකක් බව ඒත්තු යන්න පුළුවන්. එහෙම එකක් නැත්නම්, ඉලක්කයක් නැත්නම්, ඉදිරියට පහනක් ආලෝකයක් නැත්නම්, ගිහි පින්වතුන්ටත් තිබෙන්නෙ ඒ සුඛෝපභෝගී ජීවිතයෙම ගැලිලා, ඒ සුඛෝපභෝගී ජීවිතයටම සංඝයා වහන්සේලාත් ඇදගෙන සංසාරයේ තවත් දීර්ඝ කාලයක් සැරිසැරීමයි. එතකොට අපි හැම තිස්සෙම කල්පනා කරල මතු කරගන්න ඕන ධර්මය. බුදු පියාණන් වහන්සේලා මතු කරලා දුන්න ඒ නිවන. අපි මේ අකුරු තුනක් හැටියට සැලකුවත් ‘නිවන’ කියල කියන නිවීම, මේ සසර දුක් වලින් එතර වීමෙන් ලබන - එහෙම නැත්නම් මේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න - ඒ සැනසීම. මේ ඉලක්කයයි එතකොට හැම බෞද්ධයාගෙම පරමාර්ථය. කොයි කොයි විදියේ දාන ආදී පින්කම් කළත්, මලක්, පහනක් පිදුවත්, මේ පින්වතුන් ප්‍රාර්ථනා කරන්නේ මේ මල් පිදීමේ ආනිසංසයෙන් කුසලයෙන් මට නිවන් ලැබේවා කියලා. මේ හැම එකක්ම ‘නිබ්බාන පච්චයෝ හෝතු’ කියලා නිවනට ප්‍රත්‍යය වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. ඒක ප්‍රාර්ථනාවක් පමණක් හැටියට තබන්නේ නැතිව, ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක පක්ෂයට නගන්න නම්, අන්න අර කියාපු ශීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ මාර්ගයට අයිති වටිනාකම් තමයි අපි අර සඳහන් කලේ - අල්පේච්ඡතාව, සන්තුට්ඨීතාව සුභරතාව. ඒ කියන ගුණාංග. එතකොට මේ පින්වතුන් දන්නවා ගිහි පැවිදි දෙපක්ෂයම බොහොම ඕනෑ කමින්, බොහොම ආශාවෙන්, නිතර සජ්ඣායනා කරන, පරිහරණය කරන, කරණීය සූත්‍රයෙ පවා ‘කුලෙසු අනනුගිද්ධො’ කියලා සඳහන් වෙනවා. කුලයන් පිළිබඳව ගිජු කමක් නැති බව ඒ විදියටයි ඒ නිවන් ප්‍රතිපදාවේ හැසිරෙන්නෙ. දැන් අන්න කියවුනා අර ධර්මාශෝක රජතුමාගේ සහෝදරයා යුවරජු හැටියට හිටියා. නමුත් මහණ වුනාට පස්සේ ඒක විහාරිය වශයෙන් කැලෑවට වැදිලා අර සන්නාහය මුදන්නෙ නෑ රහත් වෙනකන් කියලා ඒ විදියට දැඩි අධිෂ්ඨානයකින් ඒ කටයුතු කළේ මොකද, අන්න ශාසනික වටිනාකම් හරියාකාර තේරුම් ගත්තා. මොකද, බුද්ධෝත්පාද කාලයක පමණයි කෙනෙකුට සසරින් මිදීමේ අවස්ථාව සැලසෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් පසේ බුදු රජාණන් වහන්සේලාත් පහළ වෙලා නිවන් දකිනවා නෙද කියලා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේලාත් තිබෙන අඩු පාඩුව මොකක්ද රහතන් වහන්සේලාට වඩා ශ්‍රේෂ්ඨ හැටියට සැළකුවත් උන් වහන්සේලාට බෑ නිවන් මග වෙන කෙනෙකුට අවබෝධ කරන්න. උන් වහන්සේලාගේ වැඩ සිටීමෙන් දානමාන ආදිය කරලා විශාල අන්දමින් පින් රැස් කරගන්න පුළුවන්. නමුත් නිවන් මග දක්වන්න බෑ. ඒක පුළුවන් වෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. එතකොට එහෙම දැක්වූවා නම්, එබදු ධර්මයක් පවතිනවා නම්, ඒ ධර්මය අනුව ජීවත්වීම තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන්, අර ඉස්සර පුස්කොල පොත්වල තිබෙන කොට නම් ඒවා පුස්කාලා වේයො කාලා ඒ ධර්මය නැතිවෙන්න ඉඩ තිබුණා. දැන් අපට නානාවිධ උපකරණ තිබෙනවා. ඔය නොයෙකුත් නම් වලින් මේ පින්වතුන් හඳුන්වන. අපි මේ ප්‍රකාශ කරන වචනත් කොහේද කොහේදෝ සටහන් වන බව පේනවා. ඉතිං ඒවා සටහන් වුණු පමණින් ශාසනයක් ආරක්ෂා වෙයිද? අපි කල්පනා කරන්න ඕන මේවා රන් පත්වල ලියලා තැන්පත් කරලා තිබුනත් මේ හදවත් වල තැන්පත් වෙන්නෙ නැත්නම් ඒවායින් ඇති වැඩක් නෑ. ඒවා ඊළඟට බලන කොට තේරුම් ගන්න බැරි - අර ශිලාලේඛන සෙල් ලිපි වගේ තේරුම් ගන්න බැරි - වචන ගොඩක් විතරයි අන්තිමට. දැන් ඒ තත්ත්වයටයි පත්වෙලා තියෙන්නේ. ඔය උගතුන් කියලා කියන මහා ශාස්ත්‍රඥයින් මේ ධර්මය තේරුම් ගන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්නෙ ඒකයි. ඒ අයට මේක තේරුම් ගන්න බෑ. මොකද, ප්‍රායෝගිකව මේ මාර්ගයේ යන්නෙ නැති නිසා. ශීල, සමාධි, ප්‍රඥා කියන ඒ මාර්ගයේ ගමන් තුළිනුයි මේ ධර්මයත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඊටත් වඩා වැදගත් දේ හැටියට තියෙන්නේ මේකයි. දැන් කෙනෙකුට, ඒ නිවන් මාර්ගයේ හික්මෙන කෙනෙකුට ඒ භාවනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට අදල එදිනෙදා ඊට අදාළ, උපදෙස් දෙන්න පුළුවන් වෙන්නෙත් ඒවායේ හැසිරෙන අයට පමණයි. ප්‍රායෝගික වශයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න අයට පමණයි. දැන් කොයි තරම් වඩු කර්මාන්තයට අවශ්‍ය වඩු උපකරණ ගොඩගහලා තිබුණත් ඒවා පාවිච්චි කරන ආකාරය කියා දෙන්න වඩුවෙක් නැත්නම්, කෙනෙකුට බෑ ඒ කර්මාන්තයේ යෙදෙන්න. අන්න ඒ වගේ මේ ධර්මයේ කොටස් හැටියට පොත්පත්වල, තව නොයෙකුත් උපකරණ වල තැන්පත් කරලා තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැමිණෙන ගැටළු පිළිබඳ උපදෙස් දීම සමත් ඒ මාර්ගයේ යන, ඒ මාර්ගයේ ගිය, අය නැත්නම් ඒ ශාසනය එතනින්ම අවසානයි කියල කියන්න පුළුවන්. අන්න ඒ විදියේ තත්ත්වයක් සමහර විට උදාවෙන්න පුළුවන්. මේවා ජීවිතයට ලංකර ගන්නෙ නැතිව මේ ධර්මය ඈතින් තියාගෙන මේවා විග්‍රහ කර කර, විතර්ක වඩ වඩා, මේවායින් මුදල් හම්බකිරීමේ පරමාර්ථයක් මතු කරගෙන, ඒ විදියට කටයුතු කරනවා නම් අන්න ශාසනයක් ආරක්ෂා වෙන්නෙ නෑ. ඒ වෙනුවට තමන් ටිකක් හෝ දැනගෙන ඒක ක්‍රියාවට නගලා, ශීල, සමාධි, ප්‍රඥා පුහුණු කරලා, බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ලෝකෝත්තර තත්ත්ව තමන්ට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් නම්, අන්න ඒ තුළින් තමයි ශාසනයත් ආරක්ෂා වෙන්නේ. ශාසනය පිළිබඳව ත්‍රිවිධ ශාසනයක් ගැන කියවෙනවා, පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේධ කියලා. පර්යාප්ති කියලා කියන්නෙ අන්න අර ධර්මය ඉගෙන ගැනීම, කට පාඩම් කර ගැනීම, කියන කොටසයි. ඒවා කොච්චර තිබුනත් ඒවා ප්‍රතිපත්තියට නැගීමක් නැත්නම් ඒක එහෙම පිටින්ම වචන ගොඩක්, මන්ත්‍ර ගොඩක්, විතරයි. නිකම්ම නිරර්ථක මන්ත්‍ර ගොඩක් පමණයි. ඊළඟට ඒක ප්‍රතිපත්තියට නැඟීම තුළින් යම්කිසි කෙනෙක් ප්‍රරත්‍යක්ෂ කර ගැනීම කියන කාරණයටයි ප්‍රතිවේධ කියන්නේ. ප්‍රතිවේධ කියල කියන්නේ විනිවිද දකිනවා. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යම් අවස්ථාවක නුවණින්, ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. පවත්තං වේදිතබ්බො කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. මේ ධර්මය “පවත්තං වේදිතබ්බො විඤ්ඤූහි” නුවණැත්තන් විසින් තම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අර කිව්ව මාර්ගයේ ගමන් කරන්න ඕන. ඉතිං මේ හොඳ ආරම්භයක් මේ පින්වතුන් කරලා තියෙනවා. මේ ශීල සමාදානය. ඒ එක්කම අද දවසේ හැකිතාක් දූරට භාවනා මාර්ගයට අනුව යම් ප්‍රමාණයකට තමන්ගේ භාවනා කමටහන් පුරුදු කරන්නත් අවස්ථාව සැලසුනා කියලා හිතන්න පුළුවන්. ඒ එක්කම ගැඹුරින් කල්පනා කරලා විදර්ශනාත්මක වශයෙන් මේ ජීවිතයේ, මේ ශරීරයේ, ඇති අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ න්‍යායයන් අනුව කල්පනා කරලා, යම්කිසි කෙනෙකුට ගැඹුරින් වැටහුනා නම්, අන්න ඒ අවස්ථාවේ තමයි අර විදර්ශනාත්මක වශයෙන් ප්‍රඥාව මතුවුනා කියලා කියන්නේ. මේ යථා තත්ත්වය මේ පංචස්කන්ධය තුළින්ම විනිවිද දකින්න ඕන, යම්කිසි අවස්ථාවක භාවනාමය වශයෙන්. මේ අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම අනිත්‍යයි. සැප කියලා හිතාගෙන ඉන්න දෙයක්ම දුකයි. සුඛ කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම අසුභයි. ආත්ම - මමය, මාගේය කියලා හිතන දේවල් අනාත්මයි කියලා කියන, අර ලෝකයා විපර්යාස හැටියට විපරීත අන්දමින් හිතාගෙන සිටින දේවල්වල යථා තත්ත්වය අපට අවබෝධ වෙන්ට ඕන. ඒ අවබෝධය කරා යන මාර්ගය තමයි භාවනා මාර්ගය. ඉතිං මේ නුවණැති පින්වතුන් කල්පනා කරන්ට ඕන අද වැනි වෙසක් දවසක මේ සාසනික වටිනාකම් අපි ආරක්ෂා කරගත යුතුයි ගිහි පැවිදි භේදයක් නැතිව. ඒවා ආරක්ෂා කරගන්න නම් ඒවා හරියාකාර තේරුම් ගන්න ඕන. නිවැරදිව තේරුම් ගන්න ඕන, බුද්ධ වචනයට අනුව. මොනවද අපට ආරක්ෂා කරගන්න තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ශාසනික පැවැත්මට උපකාර වන මේ නිර්වාණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමට උපකාර වන ඒ කාරණාද, එහෙම නැත්නම් අර ලෝකයා බැහැරින් ගෙන එන ඒ නොයෙකුත් ඉලක්කයන්ද? ජීවිත රටාව සුඛෝපභෝගී පැත්තට හරවාගෙන තරහකාරී ඒ ගිහි ජීවිතයෙන් පැමිණෙන ඒ ආරාධනා වලට අනුව අපේ ජීවිත හැඩ ගස්සා ගත්තොත් අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අල්පේච්ඡතා, සන්තුට්ඨීතා, සුභරතා ආදී ගුණ ආරක්ෂා කර ගැනීම අමාරු වෙනවා වගේම නුසුදුසු ගිහි සම්බන්ධතාවල් තුළින් එහෙම පිටින්ම ශාසනය පුදුම විදියේ සංකර තත්ත්වයකට පත්වෙනවා. සංකර තත්ත්වයකට පත්වෙනවා. ගිහි පින්වතුන් තුළ සංඝයා වහන්සේලා පිළිබඳව යම්කිසි ගෞරවයක් ඇතිවෙන්නෙ තමන්ට ගිහි ගෙදර කරන්ට බැරි යම්කිසි දෙයක් මේ සංඝයා වහන්සේලා කරගෙන යනවා. උන් වහන්සේලාට සිවුපසයෙන් සංග්‍රහ කිරීම අපගේ සත්පුරුෂ යුතුකමක් කියලා හිතා ගෙනයි බොහොම ශ්‍රද්ධාවෙන් තමන් නොකා නොබී ඒ ආහාර පානාදිය පවා, වස්ත්‍රාදිය පවා, සිවුපසය වශයෙන් සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. එතකොට දැන් ලොකු වගකීමක් තියෙන්නේ ඒ සංඝයා වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ යෙදී බුදු පියාණන් වහන්සේ මතුකර දෙන ඒ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඒ දායක පින්වතුන්ට විශාල කුශල සම්භාරයක් ලැබෙනවා. ඒ අදහසින් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස’ කියලා, ලෝකයාට උත්තරීතර පින්කෙතක් බවට පත්වෙනවා කියලා. එතකොට ඒ පින්කෙත හැටියට හිතාගෙන ඉන්න ඒ ගිහි පින්වතුන්ගේ ඕනෑ ඕපාකම් සම්පූර්ණ කරමින් අර දේවදත්ත ස්ථවීරයන් වගේ ඒ ප්‍රතිපත්තියේ හැසිරුණොත් එතන ජනප්‍රියත්වය කෙසේ වෙතත් ශාසන පරිහානියටයි මඟ පෑදෙන්නේ. මෙන්න මේ කාරණා ටික මේ පින්වතුන්ගේ සිත් වලට අපි දාන්නේ මේ ශාසනයේ චිර පැවැත්ම ගැන කල්පනා කරලයි. එතකොට අද මේ පැයක් පමණ කාලය තුළ මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කලා. ඒ වගේම තම තමන්ගේ මට්ටමින් යම්කිසි ශීලයක් සමාදන් වෙලා ශීලාදී ගුණධර්ම තුළින් කය වචනය හික්මවා ගත්තා. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන, මේ සංසාරයේ දුඃඛ ස්වභාවය අපි අවබෝධ කරගෙන ගිහි හෝ පැවිදි හෝ වේවා, මේ භාවනා මාර්ගයේ යමින් හැකිතාක් ඉක්මණින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් මේ සියල සංසාර දුකින් අත්මිදිලා උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගන්න මේ ධර්ම ශ්‍රවණය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා, උප නිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම අවීචියේ සිට අකනිටාව දක්වා වූ අපගේ නෑයිනුත් ඇතුළු සියලු සත්ත්වයෝද මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදියට දෙයියන්ට පින් දෙන්න. ‘එත්තාවතා ච අමෙහේහි ……………’ 24 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහි චූහයං අනොකසාරි අප්පිච්ඡං - තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං සැදැහැවත් පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ රටේ බුද්ධ ශාසනය පිහිටුවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය සිහිපත් කරන දවසයි අද, මේ පොසොන් පෝය දවස. ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් කාල විපත්ති, සමාජ විපර්යාස මධ්‍යයේ පැවතීගෙන ආ මේ බුද්ධ ශාසනයේ පරිහානි ලක්ෂණ මොනවද, ප්‍රගති ලක්ෂණ මොනවද කියන එක පවා, මේ කාලයේ බොහෝ දෙනෙකුට පැහැදිලි නැහැ. ඒ නිසා ඒ කාරණය යන්තමින්වත් තේරුම් ගන්න උපකාර වන අන්දමේ ගාථාවකුත් කථාන්තරයකුත් තමයි අද අපි තෝරාගත්තේ මේ දේශනාව සඳහා. මේ ගාථාව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමයේදී, “තිස්ස” කියන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙනුයි. ඒ තිස්ස ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන වනාන්තරයකට ඇතුල් උනා භාවනා කරන්න සුදුසු තැනක් සොයමින්. එහෙම වඩින අතරේ, එක්තරා කඳු බෑවුමක පිහිටි ලෙනක් ලඟට එනකොට ඒ හාමුදුරුවන්ගේ සිත බොහෝම සන්සුන් උනා. සමාධි ගත උනා. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කලා “මෙතන මේ ලෙන මට බොහොම සප්පායයි, බොහොම සුදුසුයි. සමහර විට මට මෙතන ඉදගෙන සසර දුක් කෙළවර කරගන්න පුළුවන්”, කියන ඒ අදහස ඇති කර ගත්තා. ඒ ලෙනට අරක්ගෙන සිටිය දේවතාවා මේ භික්ෂුන් වහන්සේ මෙතනට පැමිණෙනවා දැකලා ඉස්සෙල්ලා තමන්ගේ දිවැසින් බැලුවා, මේ ස්වාමීන් වහන්සේගේ ශීලය පිළිබඳව. බැලනකොට උපසම්පදා උනු දවසේ ඉදලා ඉතාම පිරිසිදු ශීලයක් රකින සංඝයා වහන්සේ නමක්. ඉතින් කල්පනා කලා, “දැන් මේ වගේ සීලවන්ත කෙනෙක් එක්ක, සංඝයා වහන්සේ කෙනෙක් එක්ක, මට එකට ඉන්න බැහැ”. මොකද ඉහළකින් ඉන්න බැහැනේ දේවතාවුන්ට, ඒක නිසා කරදර වෙනවා. දේවතාවා ඒත් සිතුවා, “සමහර විට මේ සංඝයා වහන්සේ අද රෑ විතරක් ඉදලා වඩීය” කියලා දේවතාවා ලෙන අතෑරලා ගියා. ඊළඟට දෙවැනි දවසේ මේ තිස්ස ස්වාමීන් වහන්සේ ගමට පිඩු සිඟා වැඩියා. උන්වහන්සේ දැකලා බොහොම පැහැදුණු එක්තරා උපාසිකාවක් උන්වහන්සේට ආරාධනය කරලා, නිමන්ත්‍රණය කරලා, ගෙදර පිණ්ඩපාතේ දානේ එහෙම වළඳන්න සලස්වලා ආරාධනා කලා. “මේ වස් තුන් මාසේ ස්වාමීන් වහන්සේ මෙහෙ වැඩ ඉන්න, ඒ ලෙනේ වැඩ ඉන්න අපි උපස්ථාන කරන්නම්,” කියලා. ඒ ස්වාමීන් වහන්සේත් ඒක පිළිගත්තා. ඉතින් ආපහු ලෙනට වැඩිය. අර දේවතාවා කීප දවසක් “අද වඩීවි, හෙට වඩීවි” කියලා බලාගෙන හිටියා. පස්සේ තේරුම් ගත්තා සති දෙකක් විතර යනකොට මේ ස්වාමීන් වහන්සේ වස් වසන්න තමයි මේ ඇවිත් ඉන්නෙ කියලා. ඉතිං ඊළඟට කල්පනා කරනවා, “දැන් කොහොමද මම මේ හාමුදුරුවෝ මෙතැනින් පිටවන හැටියක් සලස්වන්නෙ” කියලා. “ශීලය පිරිසිදු නිසා ඒ ස්වාමීන් වහන්සේගේ, ඒ පිළිබඳව අමුතු චෝදනාවක් කරන්න ක්‍රමයක් නෑ. නමුත් යම්කිසි උපක්‍රමයක් තුළින් මේ ස්වාමීන් වහන්සේගේ ශීලයට කැළලක් ඇති කරන්න ඕන, අපකීර්තියක් ඇති කරන්න ඕන” කියලා හිතලා, මේ දේවතාවා අර උපාසිකාවගේ වැඩිමහල් පුත්‍රයාට ආවේශ උනා. ආවේශවෙලා ඒ ළමයාගේ හිස කරකවලා, ඇස් උලුප්පවෙන විදියට සලස්වලා, කෙළ වගුරවමින් වැටෙන ආකාරයක් ඇති කළා. උපාසිකාව හයවෙලා කෑගහනකොට දේවතාවා අර ආවේශය තුළින්ම කියනවා “මමයි මේ දරුවට ආවේශ වෙලා ඉන්නෙ. වෙන බලි බිලි ආදියක් මට ඕනෙ නෑ. ඔබේ අර ඔබ උපස්ථාන කරන සංඝයා වහන්සේගෙන් දඹුවැල් බෑ මීයක් ඉල්ලගෙන, තෙලක් හිඳලා මේ දරුවට නස්‍ය කරහම ඒක හරි යනව. මම එතකොට ඉවත් වෙනව” කියලා. මේ උපාසිකාව කීව මගේ දරුවා මැරුණත් මට ඒක කරන්න බෑ” කියලා. ඊළඟට එහෙනම් ඒක කරන්න බැරිනම් පෙරුම්කායම් කුඩු ටිකක් ඒ ස්වාමීන් වහන්සේට කියලා නාහෙට දමන්න මේ දරුවගේ” “මට ඒකත් කරන්න බෑ” කීවා. “හොඳයි ඒකත් බැරිනම් මේ ස්වාමීන් වහන්සේගේ පා සෝදපු වතුර මේ දරුවගේ හිසට ඉහින්න” ආ ඒක නම් කරන්න පුළුවන් කියලා මේ උපාසිකාව, එදා ඒ භික්ෂුන් වහන්සේ, තිස්ස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම, දානෙ එහෙම පිළිගන්වලා, පා සෝදන්න සලස්වලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා “ස්වාමීනි, මේ වතුර ටික මේ ළමයාගේ හිසට ඉස්සට වරදක් නැද්ද?” කියලා. “හොඳයි කමක් නෑ” කිව්වා. ඉතිං, ඒ වතුර ඉහිනවත් එක්කම දේවතාව අර ආවේශය අත් හැරලා ආපහු ලෙනට ගියා. එතකොට ළමයට සනීපයි. මේ සංඝයා වහන්සේ මොකුත් දන්නෙ නැහැ මේ විස්තරයක්. පුරුදු ආකාරයටම දානෙ වළඳලා ඉවරවෙලා, තමන්ගේ කමටහන මෙනෙහි කරමින් භාවනා යෝගීවම ඒ ලෙන ළහට වැඩම කළා. වඩිනකොටම අර ලෙන දොර ළඟ හිටපු ඒ දේවතාවා “මහ වෙදාණෙනි, මෙතෙනට ඇතුල්වෙන්න එපා,” කියලා කිව්වා ඒතකොට මේ සංඝයා වහන්සේ අහනවා, කවුද මේ කථා කරන්නේ? කියලා. “මමයි, මේ ලෙනට අරක්ගත් දේවතාව” කියලා කීවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කලා මම ඒ වගේ වෙදකම් කරලා තියෙනවද? උපසම්පදාවුණු අවස්ථාවේ ඉදල මං ඒ විදියට ගිහියන්ට වෙදකම් කිරීමක් කරලා තියෙනවද? එහෙම කරලා නෑ. මගේ ශීලය ඉතාමත්ම පිරිසිදුයි කියලා දැකලා, ඊළඟට අහනවා දේවතාවාගෙන් මොකද, ඇයි මට මෙහෙම චෝදනා කරන්නේ? මම එහෙම එකක් කරලා තියෙනවද? ඒතකොට මේ දේවතාවා කියනවා, අතීතය ගැන මොකක්ද කියන්නේ. අදම මේ විදියේ දෙයක් කලා නේද? අහවල් අර උපාසිකාවගේ දරුවගේ හිසට වතුර ඉස්සා නේද? ඔන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා මේ දේවතාවා අස්ථාන චෝදනාවක් කරන්නේ කියලා. ඊළඟට ඒ එක්කම හිතුවා දේවතාවාට මගේ ශීලයේ අඩුපාඩුවක් සොයා ගන්න බැරි නිසා මේ වැරදි චෝදනාවක් කරනවා, කියලා ඊළඟට තමන්ගේ ශීලය ආවර්ජනා කලා. ආවර්ජනා කිරීම තුළින් ඇතිවෙච්ච ප්‍රීතිය, ප්‍රමෝදය කොයිතරමිද කියතොත්, ඒක මැඩපත්වාගෙන, සමාධිය ඇතිකරගෙන එතන කියවෙන හැටියට ආයෙත් අඩියක් ඉදිරියට තියන්නත් කලින්, එතනම උතුම්ම අර්හත් ඵලය ලබාගත්තා ඒක තුළින් ඒ සමාධිමත් වෙලා. ඒතකොට රහත් වෙලා ඉවර වෙලා අර දේවතාවාට කියනවා, මා වැනි පිරිසිදු භික්ෂුවකට චෝදනා කල ඔබට මෙතන ඉන්න සුදුසු නැහැ කියලා. කීවහම දේවතාවා ඉවත් උනා. ඊළඟට ඒ වස් තුන් මාසේ මේ ස්වාමීන් වහන්සේ එතන වැඩ විසුවා. ඒ ලෙනේ වාසය කරලා, වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩියා. ඒ අවස්ථාවේදී අනෙක් සංඝයා වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා “කොහොමද ඇවැත්නි තමන්ගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කර ගත්තද?” ඒ කියන්නෙ රහත් උනාද කියන එක. ඒක කෙලින් කීවේ නැහැ. ඒ වෙනුවට මේ ස්වාමීන් වහන්සේ අර සිද්ධවෙච්ච සම්පූර්ණ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. ඊළඟට ඒ සංඝයා වහන්සේලා අහනවා, දේවතාවා අර අස්ථාන චෝදනාව කරහම ඔබ වහන්සේට තරහ ගියේ නැද්ද? ද්වේෂයක් ඇති උනේ නැද්ද? කියලා. මට එහෙම අමුත්තක් ඇති උනේ නෑ කිව්වා. ඒ තුළින් ඒ කියන්නෙ රහත් උන බවයි කියන හැඟීමක් අරගෙන අර සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කිවුවා මෙන්න මේ අහවල් භික්ෂුව, මෙන්න මේ විදියේ දෙයක් කියනවා. රහත් උනා කියලයි කියන්නේ. ඒතකොට බුදු පියාණන් වහන්සේ ඒක අනුමත කරන ආකාරයට කිව්වා මගේ පුත්‍රයාගේ ශීලය මේ විදියයි, බොහොම පිරිසිදුයි. මගේ පුත්‍රයා මෙන්න මේ වගේ කෙනෙක්, කියලා ඒ අදහස දක්වීමින් තමයි අපි අර මාතෘකා කළ ගාථාව වදාළේ. “අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහි චූහයං” ගිහියන් සහ පැවිද්දන් කියන ඒ දෙපක්ෂය සමහම ඇලීගැලී විසීමක් නැත්තාවූ, “අනොකසාරි අප්පිච්ඡං - තමහං බ්‍රූමි බ්‍රාහ්මණං” අනගාරිකව හැසිරෙන්නාවූ, අල්පේච්ඡවූ ඒ භික්ෂුවට මම නියම බ්‍රාහ්මණයෙකැයි කියමි. මේ බ්‍රාහ්මණයා කියලා මේ ශාසනයේ යොදන්නේ, උතුම් බ්‍රාහ්මණයා කියලා, රහතන් වහන්සේටයි. එහෙම රහතන් වහන්සේ කෙනෙක් කියලා බුදු රජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් ඒ විදියට වදාළා. ඔන්න ඕකයි කථාන්තරය. දැන් ඉතිං අපි බලමු මේකෙ අර ශාසනය ගැන අපි කියාපු කාරණා වලට අදාළ යමක් තිබේද කියලා මේ ගාථාවත් කථාන්තරයත් තුළින්. පළමුවෙන්ම කථාන්තරය ගැන කියනකොට අපට ඉතාමත්ම හොඳ ආදර්ශයක්, ගිහියන් පැත්තෙන් හොඳ ආදර්ශයක්, ලැබෙනවා අන්න අර උපාසිකාවගේ ක්‍රියා පටිපාටියෙන්. සංඝයා වහන්සේලාගේ විනය නීති පිළිබඳව, ගුණ ධර්ම පිළිබඳව, යම්කිසි අවබෝධයක් ඇති උපාසිකාවක් නිසා තමයි, අර තමාගේ දරුවගේ ජීවිතේ ගියත් සංඝයා වහන්සේලාට අකැපවූ මිථ්‍යා ආජීවයක් හැටියට සැළකෙන වෙදකමක් ඒ සංඝයා වහන්සේ ලවා කරවන්න පෙළඹුනේ නැත්තේ. ඒ තුළින් අපට පේනවා ඒ කාලයේ ගිහි පින්වතුන්ට සංඝයා වහන්සේලාට කැප අකැප දේ පිළිබඳව අවබෝධයක් තිබුන බව. ඒ වගේම උන් වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම සංඝයා වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම රැක ගැනීමට රුකුල් දෙන ස්වභාවයක් තිබුනා ඒ සමාජයේ. ඇත්ත වශයෙන්ම සංඝයාවහන්සේලාගේ ශීලාදී ගුණධර්ම ගැන මේ කාලයේ බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒක නිසා වෙන නොයෙකුත් සිද්ධාන්ත මුල්කරගෙනයි ඒ ගිහි පැවිදි සම්බන්ධතාව ගෙන යන්නේ. සංඝයා වහන්සේලාට අයිති චතුපාරිශුද්ධි ශීලය නමින් සිවි පිරිසිදු ශීලයක් තිබෙනවා. ඒ ශීලය කොටස් හතරක ශීලයක්. කෙටියෙන් සඳහන් කරතොත්, 1. පාතිමොක්ඛ සංවර ශීලය 2. ඉන්ද්‍රිය සංවර ශීලය 3. ආජීව පාරිශුද්ධි ශීලය 4. පච්චය සන්නිස්සිත ශීලය කියලා ඔය විදියේ හතරක් තියෙනවා. ඉන් පළමුකොටම අර පාතිමොක්ඛ සංවර ශීලය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පණවා වදාල විනය නීති සංග්‍රහයට අනුව හික්මෙන එකයි. ඉන්ද්‍රිය සංවර ශීලය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රිය දොරටු හය, ගලාගෙන එන කෙලෙස්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ දොරටු වසා ගැනීම, සංවර කර ගැනීම පිළිබඳ ශීලයයි. ආජීව පාරිසුද්ධි ශීලය කියලා කියන්නෙ සංඝයා වහන්සේලාට අයිති පිරිසිදු ජීවිකාව, විශේෂයෙන්ම ගිහි පින්වතුන් පිළිබඳව අනියම් සම්බන්ධතාවල් පවත්වන්නෙ නැතිව, නියමාකාර ධර්මානුකුල, විනයානුකුල පැවැත්ම කර ගැනීම පිළිබඳව ඇතිවන පිරිසිදු බවයි, ආජීවය පිරිසිදු කර ගැනීම පිළිබඳ ශීලය. හතර වෙනුව කියන පච්චය සන්නිස්සිත ශීලය කියන එකේ අදහස සිවුපසය පිළිබඳව, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය කියන සිවුපසය පරිභෝග කිරීමේදී, ඒවා පාවිච්චි කිරීමේදී ඒවායේ පරමාර්ථය, නියම පරමාර්ථය සිහිපත් කරලා, ඒ කියන්නේ නිවන, නිවන සඳහා, නිවන ලබා ගැනීම සඳහායි කියලා, ගිජු බවකින් නෙවෙයි, ඒ වගේම ඒක භාවනාවට නගමින් - ධාතු කර්මස්ථාන, අසුභ කර්මස්ථාන වශයෙන් භාවනාවට නගමින් - සිවුපසය පරිභෝග කිරීම පිළිබඳ ශීලයයි. ඔන්න ඔය සිවු පිරිසිදු ශීලය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඒ කාලයේ ගිහි පින්වතුන්ට තිබුණ නිසා වෙන්න ඇති අර ආජීවය ගැන හිතලා සංඝයා වහන්සේලා කෙරෙහි ගරුත්වයකින් යුක්තව තමන්ගේ දරුවා මිය ගියත් මම ඒ විදියේ දෙයක් සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නෙ නැහැ කියලා අර උපාසිකාව කිව්වේ. ඉතිං මේ කාලේ සමහර විට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද, පරාර්ථ චර්යාව, සමාජ සේවය, ආර්ථිකය - ආදී ඔය මූලධර්ම අනුවයි ගිහිපැවිදි සම්බන්ධතාව මනින්නේ. ඒකේ වටිනාකම්, සුදුසු නුසුදුසුකම්. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සංඝයා වහන්සේලාගේ පරමාර්ථය නිවන නිසා, ඒ වගේම උන් වහන්සේලාගේ ජීවිතය අර ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය - ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය - අනුභව කරලා ගෙන යන ජීවිතයක් නිසා, යම් පරමාර්ථයක් සඳහාද පැවිදි උනේ, ඒ පරමාර්ථයට අදාළ දේට පමණයි බුදු පියාණන් වහන්සේ අවසර දෙන්නේ. ඒ වගේම වෙද හෙදකම් කිරීම ආදිය - ගිහියන්ට වෙද හෙදකම් කිරීම ආදිය - මිථ්‍යා ආජීවයක්, වැරදි ආජීවයක්, කුල දූෂණයක්. ඒ කියන්නෙ ගිහියන්ගේ ශ්‍රද්ධාව දූෂණය කිරීමට, කිලිටි කිරීමට හේතුවන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මොකද, ඒ කියන්නේ පමණට වැඩිය කුලපග වීම තුළින් සංඝයා වහන්සේලාගේ පරිහානිය සැලසෙනවා. එක පැත්තකින් සංඝයා වහන්සේලා ගිහියන්ගේ ඕනෑ ඕපාකම් පිරිමසන්න ඉදිරිපත්වෙලා විනය නීති කඩමින් ඒ ගිහියන් සතුටු කරන්න, සතුටු කරලා සිවුපසය ලබන්න පෙළඹෙනවා. අනික් පැත්තෙන් ගිහි පින්වතුනුත් බලනවා තම තමන්ගේ ඕනෑ ඕපාකම් පිරිමසා ගන්න හැම එකකටම සංඝයා වහන්සේලා උපකාර කරගන්න. දැන්, ගිහි ජීවිතය මේ පින්වතුන් දන්නවා ඉතාමත්ම සංකීර්ණ, මහා ප්‍රශ්න රාශියක් මැද ගෙවෙන ජීවිතයක්. බොහෝවිට ගිහිපින්වතුන්ට සිද්ධ වෙනවා තැනේ හැටියට ඇනේ ගහන්න. වෙන මිටියක් ආදියක් නැති වෙනකොට සංඝයා වහන්සේ ‘අතකොළුවක්’ හරි කරගන්නවා. කුළුපග ස්වාමීන් වහන්සේ අතකොළුවක් කරගෙන තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහා ගන්නවා. ඒ තුළින් වෙන්නෙ සංඝයා වහන්සේ විනයෙන්, අර කියාපු ආජීව පරිශුද්ධියෙන් පිහිරිලා, ඇතැම් විට ඒ තමන්ගේ ශීලයෙන් පිරිහෙනවා පමණක් නෙවෙයි අන්තිමට සිවුරෙන් පවා ඉවත් වෙනවා. ඒ විදිහේ ලොකු පරිහානි තත්ත්වයකට පත්වෙනවා සංඝයා වහන්සේලා. පරිහානියකට වැටෙනවා. ඒ එක්කම ගිහි පින්වතුන්ගෙත් සංඝයා වහන්සේලා පිළිබඳව තිබුණ ගෞරවය නැති වෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා ඔය රටේ කියන කථාවක්, පරණ කථාවක්, ‘දෙවේලේ දකින කුකුළගේ කරමලෙත් සුදුයි’ කියල. අන්න ඒ වගේ අර සංඝයා වහන්සේලා යටත් පිරිසෙයින් ඇදගෙන ඉන්න සිවුරේ පාටත් අමතක වෙනවා. සංඝයා වහන්සේ සුදු ඇඳුමක් ඇදගෙන ඉන්න කෙනෙක් කියන තත්ත්වයට වැටෙනවා. අර කුකුළා පිළිබඳ උපමාව හරියටම ගැලපෙනවා මෙතෙන්ට. සංඝයා වහන්සේ සිවුරක් ඇඳගෙන ඉන්න බවත් අමතක වෙනවා. තමන්ගෙම කෙනෙක් හැටියට සළකලා ඒ සියලුම මඟුල් තුලා ආදී හැම කටයුත්තකටම සංඝයා වහන්සේලා උපකාර කරගෙන ඒ විදියට ජීවිකාව ගෙන යන්න බලනවා. ඒක සමාජ සේවය, පරාර්ථචර්යා ආදී, ඒ පැත්තෙන් බලනකොට හොඳ දෙයක් හැටියට පෙනෙතත් සංඝයා වහන්සේලාගේ පැවිදි වුණු පරමාර්ථයට එකඟ නැති නිසයි බුදු පියාණන් වහන්සේ ඒවා මිථ්‍යා ආජීව හැටියට දක්වා වදාළේ. ඉතිං ඔය විදියේ තත්ත්වයක් තිබෙනවා. ඒ එක්කම දැන් මේ කථාන්තරයෙන් තවත් වැදගත් කාරණයක් අපට හෙළිවෙනවා, අර දේවතාවා කළ අස්ථාන චෝදනාව තුළින්. ඒ අස්ථාන චෝදනාව අහල අර සංඝයා වහන්සේ කිපුනේ නෑ. ඒ වෙනුවට කළේ මොකක්ද, තමන්ගේ ශීලය ආවර්ජනා කලා. ඒ ආවර්ජනා කිරීම තුළින් කොයිතරම් ක්ෂණික ප්‍රතිඵලයක් ලැබුණාද කියතොත් - මොකද කමටහන මෙනෙහි කරමින්ම එදා ඒ ලෙන ළඟට පැමිණියේ - දැන් ධර්මයේ දක්වෙනවා, මේ ශීල ආවර්ජනා කිරීම ඉතාම ප්‍රබල දෙයක්. ශීලය ආවර්ජනා කිරීම තුළින් ඇතිවන ප්‍රමෝදය. ලොකු සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමෝදය, වෙන අයට කෑ ගහ ගහ කියන්නෙ නැතුව, ඒක සන්සිඳුවාගෙන ප්‍රීතියක් බවට පත්කරගෙන, ඒ ප්‍රීතිය තුළින් සිතත් කයත් සන්සුන් කරගන්නවා. ඒ සන්සුන්කමින් සමාධියක් ඇතිවෙනවා. ඔන්න ඔය විදියයි සිතේ ක්‍රියාකාරීත්වය. ඒක ක්ෂණිකව අත්‍දුටුවා මේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම හොඳ, ශීල සම්පන්න විවේකයට ලැදි ස්වාමීන් වහන්සේ නමක් නිසා. ඒ එක්කම ඒ තුළින් අර අතීත පුණ්‍ය ශක්තියත් මතුකරගෙන ක්ෂණිකවම අර්හත්ඵලය ලබා ගත්තා. ඔයින් පේනවා එතකොට අන්න අර ආජීව පාරිශුද්ධි ශීලය හරියට රැක්ක එකේ ආනිසංසය එතනම ඒ සංඝයා වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා, තිස්ස ස්වාමීන් වහන්සේ. ඒක විශාල ආදර්ශයක් ඒ සංඝයා වහන්සේලාගේ පැත්තෙන් හිතනකොට. ඉතිං ඊළඟට අපි මේ ගිහි පැවිදි සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට අද වගේ දවසක, අර බුද්ධ ශාසනය පිහිටු වීම සඳහා ඒද මිහින්තලයට වැඩි පිරිස ගැන ටිකක් හිත යොමුකරලා බලමු. මිහිඳු මහා රහතන් වහන්සේත්, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල කියලා කියන උපසම්පන්න රහත් භික්ෂුන් වහන්සේලා හතර නමකුත්, සුමන කියන රහත් සාමණේරයන් වහන්සේ නමකුත්, භණ්ඩුක කියන අනාගාමී අභිඥාලාභී උපාසක තුමකුත් ඒ පිරිසට ඇතුළත් උනු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පිරිස සකස් වෙච්ච ආකාරය ගැන හිතනකොට අපට තේරුම් ගන්න පුළුවන්, මේ ධර්ම දූත පිරිස එවලා තියෙන්නේ නියම ආකාරයෙන්ම අලුත් රටකට, අලුත් ජනතාවකට, ගිහි පැවිදි සම්බන්ධතාව තේරුම් කිරීමට සුදුසු අන්දමින්. මොකද, අර එක පැත්තකින් බලනකොට උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පස් දෙනා තමයි අවම වශයෙන් උපසම්පදාව දීමේ ඒ ගරු විනය කර්මයට අවශ්‍ය වෙන්නේ. එතකොට අවම වශයෙන් පස් නමක් එතන ඉන්නවා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා. අර සාමණේරයන් වහන්සේත්, උපාසකතුමාත් කළේ මොකක්ද, මේ අළුත් ජනතාවට ගිහි පැවිදි සම්බන්ධතාව පිළිබඳ ඒ මූලධර්ම තේරුම් කලා. තේරුම් කරලා දෙන්න ඇති. සංඝයා වහන්සේලා කියන්නේ මෙන්න මේ දේවල් කැප හැටියට, මේ දේවල් අකැප හැටියට සළකන අයයි. ඒ විදියට යම් කිසි සම්බන්ධීකරණයක් කිරීමට දැනුවත් කිරීමට උපකාර වන අන්දමටයි මේ පිරිස සකස් උනේ කියලා අපට හිතාගන්න පුළුවන්. ඉතිං ඒකත් ගැඹුරු අදහසකින්. වෙන රහතන් වහන්සේලා, වෙන භික්ෂුන් වහන්සේලා නැතුවට නොවේ. අර උපාසක තුමෙකුත් අරගෙන ආවේ මේ ශාසනයේ අර ක්‍රමික පරිවර්තනය ගිහියාගේ ඉඳලා පැවිද්දා දක්වා යන ආකාරයට, ඒ වගේම ගිහිපැවිදි සම්බන්ධතාව පිළිබඳ මූලධර්ම අළුත් ජනතාවකට තේරුම් කරන්න පුළුවන් ආකාරයකටයි ඒ පිරිස සකස් උනේ. එහෙම නමුත් කල්යාමේදී අර අපි කලින් සඳහන් කළ ආකාරයට නොයෙකුත් විදියේ කාල විපත්ති, සමාජ විපර්යාස මධ්‍යයේ මේ ශාසනය යන අතරේ, මේ උතුම් පරමාර්ථ, නෙක්ඛම්ම අදහස, පැවිද්දේ පරමාර්ථ, ඒවා අමතක වෙන්න පටන් ගත්තා, සංඝයා වහන්සේලාතත්, ගිහියන්ටත් - ගිහිපිරිසටත්. ඒක තුළින් අන්තිමට උනේ මොකද, ගැඹුරු නෙක්ඛම්ම අදහසකින් සිද්ධ විය යුතු පැවිද්ද අන්තිමට නිකම්ම පැවිද්දක්, එහෙමත් නැත්නම් නිකම්ම නිකම් පැවිද්දක් බවට පත් උනා. ඒ කියන්නේ දැන් පැවිදි කිරීම කියලා කියනකොට එක ගැඹුරු අදහසකින් සිද්ධ විය යුතු දෙයක්. බාහිර වශයෙන් - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා - සිවුරු පෙරවීම පමණකින්, හිස මුඩු කිරීම පමණකින්, කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ කියලා. කය පැවිදි කිරීම පහසු නමුත් හිත පැවිදි කිරීම අපහසු බවත් බොහෝ දෙනා පිළිගන්නවා. එතකොට කය පැවිදි කිරීම සුළු වේලාවකින් කළ හැකි නමුත්, සිත පැවිදි කරන්න සැහෙන කාලයක් ඕන වෙනවා. පාරමී ශක්තිය දියුණු කරගත්තු, කලාතුරකින් කෙනෙක් ක්ෂණිකවම ඇතැම් විට ගිහි ඇඳුමින් පවා රහත් වුණු අවස්ථාවල් තිබෙනවා. නමුත් ඒ අනුව සාධාරණීකරණයෙන් හිතන්න නරකයි. මේ ශාසනයේ මේ ප්‍රතිපදාව ඉතාමත්ම දුෂ්කර දෙයක්. දැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ‘දුල්ලභා පබ්බජ්ජා’ පැවිද්ද දුර්ලභ දෙයක්. ඒ වගේම දුෂ්කර දෙයක්. නියම පැවිද්ද දුර්ලභ දෙයක්, දුෂ්කර දෙයක්. නමුත් අර විදියට දැන් ක්‍රම ක්‍රමයෙන් මේ සමාජ පරිවර්තන විපර්යාස ගැන හිතලා බලනකොට පැවිද්ද බොහොම සුලහ දෙයක්, බොහොම පහසු දෙයක්. ඒ තත්ත්වයටයි වැටෙන්නේ. එතකොට මේ පැවිද්ද පහසු කර ගැනීමේ ක්‍රම නොයෙකුත් නොයෙකුත් විදියට ගිහිල්ලා අන්තිමට මේ පැවිදි කිරීම විලාසිතාවක් බවට පත්වෙනවා. මේ කාලයේ හැම දෙයක්ම විලාසිතාවක් වෙනවා. ඉතිං ඒ විලාසිතාවේ අවසාන කෙළවර සමහර විට මේ පින්වතුන්ට නුදුරු අනාගතයේ දකින්න ලැබේවි. දැන් මේ පින්වතුන් සිල් සමාදන් වෙලා සිල් පවාරණය වෙන්න වගේ, උදේ පාන්දරට ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය’ කියලා පැවිදි වෙලා, හවසට සිවුර ඉවත් කිරීමේ ‘ඇඳුම් මාරුකිරීමක්’ බවට පැවිද්ද පරිවර්තනය වෙන්න ඉඩ තියෙනවා. ඕන්න ඔය විදියේ තත්ත්වයක් තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ ප්‍රතිපත්තිමාලාවකින් පෙන්නුම් කරලා තියෙනවා මේ පැවිදි වීමේදී බාහිර වශයෙන් කරන වෙනස්කම්, සිවුරක් පෙරවීම්, හිස මුඩු කිරීම ආදිය, ඒවායේ ගැඹුරු අර්ථය සළකමින් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට ගෙනහිල්ලා රහත් වීමට පවා ඒවා උපකාර කරගන්නා ආකාරය, එක්තරා වටින සූත්‍රයකින් - දස ධර්ම සූත්‍රය කියලා. මෙන්න මේ දස ධර්ම සූත්‍රය විශේෂයෙන්ම සංඝයා වහන්සේලා සඳහා දේශනා කළ දෙයක් නමුත් ඒ දස ධර්ම සූත්‍රයට අඩංගු කාරණා දහය ගැන මේ පින්වතුන් තේරුම් ගැනීම හරි ආකාර ගිහි පැවිදි සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. අපි අර කලින් කියාපු ශාසන පරිහානිය සම්පූර්ණයෙන් නතර කරන්න බැරි වෙතත් යටත් පරිසෙයින් ඒ පරිහානි වේගය තරමක් දූරට හරි මර්දනය කර ගන්න උපකාර වෙනවා ගිහි පින්වතුන්වත් මේ ගැන දැනුවත් උනොත්. ඒක නිසයි අපි මේ අවස්ථාවේ අර දස ධර්ම සූත්‍රයේ සඳහන් වෙන කාරණා දහය කාලවේලා හැටියට කෙටියෙන් නමුත් තේරුම් කරන්න උත්සාහ කරන්නේ. ඒ දස ධර්ම සූත්‍රයේ මෙන්න මේ විදියටයි සඳහන් වෙන්නේ. ’මහණෙනි, කාරණා දහයක් තියෙනවා පැවිද්දන් විසින් නිරන්තරයෙන්, නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කළයුතු. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එක, ඒකේ අදහස, නුවණින් සලකා බැලීම. එහෙම නැත්නම් ආපස්සට හැරිලා ඒක සලකා බැලීම. යමක් හොඳද? නරකද? හරියට කෙරුනද? නැද්ද? කියන එක සළකා බැලීමයි. මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනය එක්තරා අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට හොඳ උපමාවකින් තේරුම් කරලා දුන්නා පොඩි දරුවකුට තෝරන්නා වගේම. දැන් යම්කිසි කන්නාඩියක් දිහා බලන්නෙ කෙනෙක් ගමනක් බිමනක් යනකොට, තමන්ගේ හිසකෙස්, මුණ, ඇඳුම් පැළඳුම් පිළිබඳ යම්කිසි හැඩගස්වා ගැනීමක් කර ගැනීමටයි. මේකෙ අඩුපාඩු මොනවද කියලා බලලා ඒක හැඩ ගස්වා ගැනීමටයි කන්නාඩියක් දිහා බලන්නෙ. අන්න ඒ කන්නාඩිය දිහා බැලීමටත් ප්‍රත්‍යවේක්ෂා කියන වචනය යොදනවා. කන්නාඩියක් ගෙදරක පාවිච්චි කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම සඳහා. ඒ කියන්නේ ආපස්සට හැරිලා බලනවා. යන්න ඔක්කොම ලෑස්තියි. නමුත් ආපස්සට හැරිලා බලනවා. මගේ ඒ සකස් වීම ඇඳුම් පැළඳුම් හරියට තියෙනවද කියල. අන්න ඒ වගේ අදහසක් මෙතනත් තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂා කරන්න කාරණා දහයක් තියෙනවා. කන්නාඩි දහයක් වගෙයි මේක බැලුවාම. මොනවද ඒ එක එකක්? අපි ඊළඟට තේරුම් කරන්න බලමු. පළමුවෙනි එක, සංඝයා වහන්සේලා නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මෙන්න මේක. ‘විවර්ණ භාවයකට පැමිණියේ වෙමි.’ විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. කෙටියෙන් කිව්ව නමුත් ඒකෙන්, තේරුම් කලොත් මෙන්න මෙහෙමයි ගන්න වෙන්නේ. දැන් පළමුවෙන්ම අපි හිතමු ගිහි පින්වතා පිළිබඳව. ගිහියාගේ ස්වභාවය විවර්ණභාවය නෙවෙයි වෛවර්ණ භාවයයි. විවර්ණ දේට කැමති නැහැ. වර්ණවත්, වෛවර්ණවත් දේවල් වලටයි ගිහි පින්වතා කැමති. නමුත් සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වදාරන්නේ විවර්ණ භාවයට පැමිණෙන්නෙ කියලා. කොහොමද විවර්ණභාවයට පැමිණෙන්නේ? ඒක දෙයාකාරයකට විග්‍රහ කරලා තියෙනවා. ‘කාය වෙවණීයං, පරික්කාර වෙවණීයං’ කියලා කය පිළිබඳව විවර්ණ භාවයත් පිරිකර - අවශ්‍ය පරිහරණය කරන භාණ්ඩ - පිළිබඳ විවරණ භාවයත් තේරුම් කරන්නේ මෙහෙමයි. දැන් ගිහි පින්වතුන් මේ කෙස් රැවුල් පිළිබඳව කොයිතරම් විලාසිතාවක් කලින් කල කරනවද කියලා මේ සමාජයේ ඉන්න පින්වතුන් දන්නවා. ඒවාට දෙන දසවදේ. කලින් කල මේක වෙනස් උනු ආකාරය දැක්ක හැටියේ තරුණ පක්ෂය, තරුණ, තරුණියන් ඒ අනුව, අලුත් විලාසිතාව අනුව, මොන වියදමක් කරලා හරි ඒ පැත්තට නැඹුරු වෙනවා. ඕන්න ඒක කරනවා. ඒක කරන්න වෙහෙසෙනවා. නමුත් පැවිද්දන්ට ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද, පැවිදීවීමේදීම කෙස් රැවුල් ඉවත් කරනවා. අන්න විවර්ණභාවය. එතකොට කය පිළිබඳ විවර්ණභාවය ඒ විදියට හිතාගන්න ඕන. පිරිකර පිළිබඳ විවර්ණභාවය තමයි, ගිහි පින්වතුන්ට නොයෙකුත් විදියේ වෛවර්ණ ඇඳුම්. දැන් මේ පින්වතුන් උනත් මේ අවස්ථාවේ සුදු ඇඳුමින් පෙනී හිටියත්, ඔය පාරට තොටට බැහැලා යනකොට අඳුනගන්නත් බැරි විදියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන්. ඒකයි ගිහි පින්වතාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් සංඝයා වහන්සේලා පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාරල තියෙන්නේ, කඩ කපපු දූර්වර්ණ පඬු ගැසූ සිවුරක් ඇඳගන්න. පාත්‍රයක් පාවිච්චි කරන්න. කළු කරපු පාත්‍රයක්. ඒ වගේම අනෙක් පරිෂ්කාර ආදියත් අල්පේච්ඡතාව පෙන්නුම් කරන දේවල්. සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි පාවිච්චි කරන්න තියෙන්නේ. අල්පේච්ඡතාවට ගැලපෙන දේ. ගිහි පින්වතුන්, කාමභෝගී ගිහියන්, පාවිච්චි කරන දේවල් කියලා බුදු පියාණන් වහන්සේ සමහර සංඝයා වහන්සේලාට අකැප දෙයක් පාවිච්චි කරනකොට ඒක කඩලා බිඳලා විසි කරන්නැයි කියලත් කියපු අවස්ථාවල් තියෙනවා. එයින් පෙන්නුම් කරනවා එතකොට විවර්ණභාවය. ඔන්න ඒක සංඝයා වහන්සේලා විසින් නිතර සිහිපත් කළයුතු දෙයක්. ගිහියාට වගේ වෛවර්ණභාවය නොවෙයි. විවර්ණ භාවයයි අපට අයිති. පළමුවෙනි එක. ඊළඟ ඒකේ අදහස සිංහලෙන් කිව්වොත් ‘මාගේ ජීවිකාව අනුන් හා සම්බන්ධව ගෙනයන එකකි.’ ‘පරපටිබද්ධ’ කියන වචනයක් එතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අනුන් හා පිළිබඳ, අනුන් එක්ක සම්බන්ධ කරගෙනයි මේ මගේ ජීවිකාව ගෙනයන්නේ. මගේම මුදලින්, මගේම වතුපිටිවලින්, මගේ බැංකු ගිණුමින්, ජීවත් වෙනවා නොවෙයි. ගිහි පින්වතුන් ශ්‍රද්ධාවෙන්, කැමති නම් ශ්‍රද්ධාවෙන්, පූජා කරන, ගෙන් ගෙට පිණ්ඩපාතේ ගිහිල්ල ලබාගන්න, ඒ ආහාරයෙන් යැපෙන්නේ. ගිහිපින්වතුන් පූජාකරන චීවර ආදී අනෙක් ප්‍රත්‍යයන්ගෙන්. ගිහි පින්වතුන් හදලා දුන්න කුටියක වාසය කරන්නේ. අන්න ඒ කාරණය නිතර සිහිපත් කරන්න. මොකටද එහෙම සිහිපත් කරන්නේ? ඒ සිහිපත් කිරීම තුළින් පැවිදි පරමාර්ථය ඉබේටම සිහිපත් වෙනවා. ඇයි? මම මේ තරම් කෝටිපතියෙක්. ඇයි මම මේ ඔක්කොම අතහැරියේ? මේ හිඟන තත්ත්වයට පත් උනේ? ඇත්ත වශයෙන්ම භික්ෂුව කියන එකේ මූලික අර්ථය භික්ෂාවෙන් යැපෙන - හිඟන්නෙක් වගේ බැලුවාම. වචනය වශයෙන් බලනකොට හිඟන්නා වගේ - වෙනස තියෙන්නේ හිඟන්නන් වගේ එහෙම කරදර කරන්නෙ නෑ. ඇවිල්ලා ගෙයක් ඉදිරියේ හිටගෙන ඉන්නවා ටික වේලාවක්. ලැබුනත් එහෙමයි. නොලැබුනත් එහෙමයි. ඒ වගේම හිඟන්නකුට දෙන අර්ථයෙන් නෙවෙයි, මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් මේ නිවන මග යන තමන්ටත් පින් සඳහා, පින් කෙතක් කියලා හිතලයි සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. එතකොට අන්න ඒ පැවිදි පරමාර්ථය සිහිපත් වෙනවා ඒයින්. බුදු පියාණන් වහන්සේ නිතරම මතක් කරලා දෙන්නේ වැරද්ද කළ භික්ෂුවකට, “ඇයි මහණ, නුඹ මේ ගිහි පින්වතුන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරයෙන් නේද යැපෙන්නේ?” ඒ තුළින් අපට පේනවා අන්න නියම ගිහි පැවිදි සම්බන්ධතාව. එතන තියෙන්නේ, ඒ ගනුදෙනුව තුළ තියෙන්නේ, ඒ ගුණධර්ම පිරීමයි. නමුත් මේ කාලේ ඇතැම් කෙනෙක් ඔය ‘පරපටිබද්ධ’ කියන වචනය පවා පුදුම අන්දමට විකෘත කරලා තෝරමින්, පැවිද්දට අයිති ගිහි පින්වතුන්ට ඒ අර ගිහි ආකාරයෙන් ගනුදෙනුව සම්පූර්ණ කිරීමයි කියලත් තෝරනවා සමහර කෙනෙක. ඒක නෙවෙයි, තමන් ඇත්ත වශයෙන් ඒ ණය ගෙවන්න නම් තමන් අර්හත්ත්වය ලබා ගන්න ඕන, දැන් අර තිස්ස ස්වාමීන් වහන්සේ කලා වගේ. ඒකෙන් තමයි ඒ මහත්ඵල මහානිසංස වන්නෙ. ඒ රහත්වීම හා එක්කම අර උපාසිකාවට කොයිතරම් විශාල පිනක් අත්වන්ද? එහෙම නැතුව අර වෙදකමට අල්ල ගත්තා නම් අර හාමුදුරුවෝ, අර දෙන දානයෙන් වැඩක් නැහැ. ඕන්න ඔය විදියේ තත්ත්වයක් තියෙන්නෙ. ඕක තේරුම් ගන්න, ඕක මතක් කරගන්න, තමයි සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ විදාරලා තියෙන්නෙ ‘පරපටිබද්ධා මේ ජීවිකා - ’මගේ ජීවිකාව අනුන් හා සම්බන්ධ වූ එකක්’ කියලා. ඕන්න එතකොට ඒ දෙවැනි එක. ඊළඟට තුන්වැනි එක. ‘මා විසින් අන්‍යවූ ආකල්පයක් කළ යුත්තේය.’ ඒක තේරුම් කරන්න වෙනවා. සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කීවොත්, ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මා ඉරියව් පැවැත්විය යුතුය. ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මගේ හැසිරීම තිබිය යුතුය. ඒයින් කියවෙන්නේ මොකකද? දැන් ආකල්පය කියලා එතන යොදලා තියෙන්නේ විශේෂයෙන්ම යාම් ඊම් සිටීම් ඉඳීම් ආදි, ඒ ඉරියව් පැවැත්වීමේ ක්‍රමයයි. ඉරියව් පැවැත්වීම පිළිබඳව සංඝයා වහන්සේලා ඒ ඉරියව් පවත්වන ක්‍රමයත් ගිහියන් ඉරියව් පවත්වන ක්‍රමයත් අතර වෙනසක් තිබෙනවා. සංඝයා වහන්සේලාට අයිති සන්සුන්ව ඒ යාම ඊම ආදී කටයුතු කිරීමයි. කොටින්ම කියතොත් බුදු පියාණන් වහන්සේගේ විනය නීතිවල අවසානයේ කියනවා ‘මහණෙනි, නුඹලා හැසිරෙන්නට ඕන, අප්පසන්නානංච පසාදාය, පසන්නානංච භියෝභාවාය, නොපැහැදුණු අයගේ පැහැදීම සඳහා පැහැදුණු අයගේ වඩ වඩාත් පැහැදීම සඳහා.’ ඒ පරමාර්ථත් අනුවයි බුදු පියාණන් වහන්සේ යම් යම් විනය නීති, විනය ශික්ෂාපද පණවා වදාළේ. විශේෂයෙන්ම ‘සේඛියා’ කියලා ශික්ෂාපද රාශියක් තියෙනවා, සංඝයා වහන්සේලා ගමේ හැසිරෙන ආකාරය පිළිබඳව. මේ ආකාරයට හැසිරිය යුතුයි. මේ මේ විදියට සිවුරු ආදී පෙරවිය යුතුයි. මේ විදියට සන්සුන්ව යා යුතුයි. මේ විදියට වැළඳිය යුතුයි. ඔය හැම එකකින්ම පෙන්වන්නෙ අර ඒක දකින ගිහියාගේ සිත පහන් වීම, ප්‍රසාදයට පත්වීමට හේතුවක් වන බවයි. ඒ නිසයි වෙනස් ආකල්පයක් සංඝයා වහන්සේලාට තිබෙන්නෙ. ගිහියන් කරන දේවල් කරකර හිටියොත් කවදාවත් බෑ ඒ කියාපු සන්සුත් බවක්, සංවර බවක්, ඇති කර ගන්න. ඉතිං මේකේ වටිනාකම, ඇතුම් කෙනෙක් හිතන්න පුළුවන් මේ තියන නවීන ලෝකෙ ඕවා කිරීමෙන් මොකක්ද ඇති වැඩේ. නවීන කෙසේ වෙතත් අපි ඉතිහාසෙට හිත යොදලා බැලුවොත් මේ ආකල්ප සම්පත්තියේ වටිනාකමට හොඳම නිදර්ශන ඉතිහාසයෙන් ලැබෙනවා වණ්ඩාශෝක කියන එක්තරා මහා දාමරික රජකෙනෙක් ධර්මාශෝක උනේ කොහොමද කියලා හිතලා බලනකොට. ඒක ඉතිහාසගත කථාන්තරයක්. නිග්‍රෝධ සාමණේර නමින් හැඳින්වෙන හත් හැවිරිදි කුඩා රහතන් වහන්සේ නමක් වණ්ඩාශෝක රජුගේ රජ මාලිගාවේ මීදුලින් ගමන් කරන සන්සුන් ආකාරය දැකලා පැහැදිලයි, වණ්ඩාශෝක රජතුමා ආරාධනා කරලා, ඒ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා ධර්මශෝක කෙනෙක් වුනෙ. ඒයින් පේනවා අන්න අර ආකල්ප සම්පත්තියේ වැදගත්කම. ඉතිං ඒ වගේම අපි දන්නවා දැන් බුද්ධ දේශනාවට අනුව ඒ ආකල්ප සම්පත්තිය මෙන්න මේ විදියේ ලස්සන උපමාවකින් දක්වලා තිබෙනවා. බුද්ධ දේශනාවට අනුව අතීත සංඝයා වහන්සේලා ප්‍රකාශ කළ උපමාවක් තිබෙනවා. “සිනිධා තෙල ධාරාව - අහොසි ඉරියාපථෝ” සංඝයා වහන්සේලාගේ ඉරියව් පැවැත්ම පිළිබඳ ලස්සන උපමාවක් දීලා තියනවා සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඔය ගිතෙල්, එහෙම නැත්නම් පොල්තෙල්, බෝතලයකින් වත්කරන්න බලන්න. වතුර වක්කරනවා වගේ “ගොඩොස්” ගාලා වැක්කෙරෙන්නේ නැහැ නේ. මහ පුදුම විදියේ රටාවකින් සිනිඳුව, මෘදුව, සමව, හැල හැප්පුම් නැතුව, ගලාගෙන යනවා. අන්න ඒ විදියටයි ඉරියව් පවත්වන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ සංඝයා වහන්සේලාට. ඒකයි ඒ ආකල්ප සම්පත්තියේ එක ලක්ෂණයක්. සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඉතිං ඔය විදියට ආකල්ප සම්පත්තිය ගැන නිතර මෙනෙහි කරන්න කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරලා තියෙනවා. අර ගිහියා තමන්ගේ ඇදුම් පැළඳුම් ආභරණ හරිතැන තියෙනවාද කියලා කණ්නාඩියෙන් හැරිලා බලන්නා වගේ නිරන්තරයෙන් සංඝයා වහන්සේලට තමන්ගේ ආකල්ප සම්පත්තිය පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂා කරලා අඩුපාඩු හරිගස්සා ගන්නෙයි කියන එකයි. ඊළඟ කාරණය, හතර වෙනි කාරණය, තමන්ගේ ශීලය පිළිබඳව. මාගේ ශීලය පිළිබඳව හිතලා බලන කොට, ආපස්සට හැරිලා බලනකොට සළකලා බලනකොට, මාගේ හිත මටම දොස් නගනවද?, මගේ හිත මටම දොස් නගනවද කියන එක තේරුම් කරන්නේ මගේ ශීලයේ යම්කිසි කැළලක් අඩුපාඩුවක් තියනවාද? කියන එක. දැන් අර සංඝයා වහන්සේ කළෙත් ඒකයි. දේවතාව චෝදනා කල හැටියේ සිතුවා, කල්පනා කරලා බැලුවා, ආවර්ජනා කරලා බැලුවා. මෙන්න මේ කණ්නාඩිය දිහා බැලුවා තමන්ගේ ශීලය පිළිබඳව. මේකෙ අඩුපාඩුවක් තියනවාද කියලා. බලනකොට නෑ. ඒක තුළින් තමයි අන්තිමට රහත් උනේ. අන්න එතකොට, ඒක අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා කෙනෙකුට හැදෙන්න ඕන නම් - “අත්තාධිපතෙය්‍ය” - අර අපි ආත්ම ගෞරවය කියලා සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරන්නේ. ඒ වාගේ තමාටම ඒක සතුටුවෙන්න හේතුවක්, තමා මේ මේ ශීලාදී ගුණ ධර්ම රකිනවා කියලා, තමන්ගේ හිත දොස් නගන්නේ නෑ. දොස් නගන්නේ නෑ කියන්නේ පසුතැවිල්ලක් නෑ. පසුතැවිල්ලක් නෑ කියලා කියන්නෙ හිත එකහයි. සන්සුන්. සමාධිගතයි. විසිරෙන්නේ නෑ. ඒක තුළින් අපට පේනවා ප්‍රතිපදාවටත් ඒවා එකතු වෙන ආකාරය. ඊළඟ කාරණය - පස් වෙනි කාරණය තිබෙන්නේ මා ඇසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා, ඇසුරු කරන අනෙක් සංඝයා වහන්සේලා, නුවණැති සංඝයා වහන්සේලා - අඥාන අය නොවෙයි. - නුවණැති සංඝයා වහන්සේලා ශීලය පිළිබඳව, මාගේ මේ ශීලය පිළිබඳව විමසලා බැලුවට පස්සේ මට චෝදනා කරන්න පුළුවන් තත්ත්වයක් තියනවාද? ඒකත් ආවර්ජනා කරලා බලනවා. ඒකෙදි බුදුපියාණන් වහන්සේ දක්වනවා ‘ලෝකාධිපතෙය්‍ය’ කියලා එක්තරා සිද්ධාන්තයක් තියනවා තමා ගැන හිතලා සතුටුවනවා වගේම ලෝකයාගේ අපවාදයක් - ඒ කියන්නෙ සාධාරණ විදියට අපවාදයක් - එනවා නම් ඒකත් නැතිවන ආකාරයටයි සංඝයා වහන්සේලා හැසිරෙන්නට ඕනෙ. ඉතිං ඒ විදියට තමන්ගේ ශීලය පිළිබඳව අනුන්ටවත් චෝදනා කරන්න ඉඩක් තියෙනවාද කියලා කල්පනා කරලා බැලුවා. ඒක හිතලා බලලා තමයි අර තිස්ස හාමුදුරුවන්ටත් පෙනුනේ දේවතාව කලේ අස්ථාන චෝදනාවක්. වෙන කෙනෙකුට, කාටවත්, චෝදනා කරන්න බැහැ. ඉතාම පිරිසිදුයි ශීලය කියලා අන්න අර ප්‍රත්‍යවේක්ෂාව තුළින්, පස්වෙනි ප්‍රත්‍යවේක්ෂාව තුළින්, තේරුම් ගත්තා. ඒක නිසාම තමයි ගිහිල්ලා සංඝයා වහන්සේලාට අර තමන් ලෙනේ ගත කළ ජීවිතය පිළිබඳව බය නැතුව සම්පූර්ණ විස්තරය කිව්වේ. අපි අනික් පැත්ත හිතමු. යම්කිසි විදියකින් අර සංඝයා වහන්සේට ඒ ගෙවල් වලට ගිහිල්ලා වෙදකම් කරන්න පටන් ගත්තා නම් එහෙම අර විදියට ගිහිල්ලා බුදු රජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලාවත් සංඝයා වහන්සේලාටවත් කියන්න පුළුවන්ද? කියන්න බැරි තත්ත්වයක් තියනවා. ඒ වෙනුවට තිස්ස ස්වාමීන් වහන්සේගේ අර කාරණය, පස්වෙනි කාරණයත් පිරිසිදු නිසා බය නැතුව කීවා මම මේ මේ විදියට ඒ කාලය ගතකළා කියලා. ඔන්න ඊළඟට කියවෙන හයවෙනි කාරණය - ‘සියල ප්‍රිය මනාප දෙයින් වෙන්වීමක්, ඒවායින් ඉවත්වීමක්, ඒවායින් වියෝවීමක් මට තියෙනවා’ කියන කාරණය. හැම දේකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා. මරණයෙන් හෝ එහෙම නැත්නම් වෙනත් හේතුවලින් අපි මේ ප්‍රියමනාප කියලා හිතන දේවල් හැම එකකින්ම වෙන් වෙන්න වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ පැවිද්දාට අයිති කාරණය තමයි. අන්න අර ගාථාවෙනුත් එතන කියවෙනවා ‘’අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහිච්චූහයං’’ ගිහියන් පිළිබඳවත් ඈලීගැලී විසීමක් නෑ පැවිද්දන් පිළිබඳවත් ඈලීගැලී විසීමක් නෑ. ඒ මොකද එහෙම කරන්නේ? මේ හැම එකකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන ධර්මතාව. ඒක නිතිපතා මතක් කරගන්නවා. මට ප්‍රිය මනාප දේවල් වලින්, මට ප්‍රිය මනාප අයගෙන් වෙන්වීමක් තියනවා, මේ සංසාර ස්වභාවය ඒකයි කියලා හිතට දාගන්නවා. ඕන්න ඕකයි හයවෙනි කාරණය. හත්වෙනි කාරණය - ඊළඟට කර්මය පිළිබඳව කල්පනා කරනවා කර්මය පිළිබඳ ධර්මතාව. ’කර්මය තමයි මා සතු දෙයක් හැටියට තියෙන්නේ. තමා සතු දෙයක් හැටියට තියෙන්නේ කර්මය විතරයි නියම ආකාරයෙන්න බලනවා නම්. කර්මයයි මගේ දායාදය, මගේ උරුමය. කර්මයයි මගේ උත්පත්තියට හේතුව. කර්මයයි මගේ නියම ඥාතිවරයා. නියම පිහිට. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරතොත් එහි විපාකයත් මා බලාපොරොත්තු විය යුතුයි. කර්මයට උරුමකාරයා මමයි. කර්මයේ විපාක විදින්න වෙනවාමයි. අන්න එතකොට ඒ කර්මය පිළිබඳ ලෝකයේ පවතින, බුදු රහතුන්ටවත් බේරෙන්න බැරි විදියේ මහ පුදුම ධර්මතාව තමන්ගේ ජීවිතයට ළංකර ගන්නවා, ඒ ප්‍රත්‍යාවේක්ෂාව තුළින්. කර්ම කන්නාඩිය දිහා බලල තේරුම් ගන්නවා මේ අපේ හැම දෙයක්ම, හැම එකක්ම, මේ විදියයි ස්වභාවය. මේවා ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ. යම් අතීත කර්මයක් නිසා අපේ මේ සැපදුක්. මේ හොඳ දෙවල් විඳින ඒවා ඔක්කොම අතීත හොඳ කර්මයක් නිසා. මේ දුක් ගැහැට යම් යම් අකුසල කර්ම නිසා. අනාගතයටත් ඒ විදියයි කියල ඒ කර්මය සිද්ධාන්තය කරගෙන ජීවත්වීමයි එතනින් කියවෙන්නේ. ඊළඟට දක්වන අට වෙනි කාරණය, ඒක ටිකක් අමුතු විදියටයි එතන දැක්වෙන්නේ. ‘මට දවල් ඉක්මෙන්නේ මා කොයි ආකාරයකින් සිටින විටද?’ ඒ කියන්නේ මට රෑ දවල් ඉක්මෙන්නේ කොහොමද? මට රෑ දවල් ගත වෙන්නේ කොහොමද? කුමක් කරමින් සිටියදීද? ඒයින් පෙන්නුම් කරන්නේ දැන් පැවිදි ජීවිතය ගෙවන මොහොතක් පාසා හිතන්ට ඕන මා අද මේ දවසක් ගෙවවා. මේ ගෙවෙන දවස මාගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට උපකාර වන එකක්ද? එහෙම නැත්නම් ඒක පරිහානියට හේතුවන එකක්ද කියලා. මා කොයි ආකාරයකට සිටිද්දීද මේ රෑ දවල් ගෙවෙන්නේ කියලා. ඒ කියමනේ අදහස - මම කාලය ගෙවන්නේ කොහොමද? නිෂ්ඵල විදියටද? සාර්ථක විදියටද? කියන කාරණය නිතර මෙනෙහි කරනවා. ඊළඟට නව වෙනුවට දක්වන කාරණය - මා පාලු ගෙවල්, භාවනාවට සුදුසු පාලු ගෙවල්, හිස් ගෙවල් පිළිබඳව ඇල්මක් ඇති කරගන්නවාද? එහෙම නැත්නම් ඒවායේ විවේකී වාසයට මා තුළ ඇල්මක් තිබෙනවාද? කියල හිතනවා. ඒක අමාරු දෙයක්. ගිහි පින්වතාට, පිරිසක් එක්ක ජීවත්වෙන පින්වතෙකුට, තනිව වෙන්ව විවේකීව පාලුගෙයක, කැලෑවක, අර වගේ ලෙනක. ඉන්න බැහැ. ඒක විශේෂ ශක්තියක් නිවනට උපකාරීවන. ඒකයි බුදුපියාණන්වහන්සේ මෙතන දක්වන්නේ. ඒතනින් අඟවන්නේ භාවනානුයෝගී බවයි. විවේකයට ලැදි බවයි. ඒතකොට සංඝයා වහන්සේ කෙනෙක් තමන්ගෙන්ම අහන්න ඕන. ඇත්ත වශයෙන්ම මම විවේකයට ලැදි ද? පාලු ගෙයක මට ඉන්න පුළුවන්ද? මිනිස් සමාජයෙන් ඉවත් වෙලා බණ භාවනා සඳහා විවේකය සඳහා පාලු ගේකට ගිහිල්ලා ඉන්න පුළුවන් ශක්තිය තියනවාද මා තුළ? ඒකත් නිතර හිතන්න කියලා තියනවා. අර විදියට ගිහියන් වට කරගෙන ඈලී ගැලී ජීවත්වෙන කෙනෙකුට පාලු ගෙයක් තියා වනාන්තරයක් පවා භය ගෙන දෙන දෙයක්. හිතන්නවත් බයයි. අපොයි කොහොමද තනිව ඉන්නේ? අන්න ඒ විදියේ තත්ත්වයක් මෙතන. ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මේ නව වෙනුව දක්වලා තියෙන්නෙ භාවනාවට අදාළ අන්දමින් ඒකත් ප්‍රත්‍යවේක්ෂාවක්, තමා ගැනම හිතලා බලන්න. සළකලා බලන්න. ඔන්න ඊළඟට දහවෙනි එක. මේ දහවෙනි එක සඳහා තමයි මේ ඔක්කොම. බුදු පියාණන් වහන්සේ ධර්ම කාරණා සම්පිණ්ඩනය කරනවා නම් ඒ හැම එකකම අවසාන දේ තමයි ධර්මය කුළු ගැන්වෙන කාරණය බොහෝ විට. ඒ වගේම මෙන්න මේක ගැන විශේෂයෙන්ම හිතන්න ඕන, මේ පින්වතුන් හිතට දාගන්න ඕන. මොකක්ද දහවෙනි එක? සංඝයා වහන්සේ කෙනෙක් මෙන්න මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන නිතිපතා, නිරන්තරයෙන් සළකලා බලන්න ඕන. නුවණින් සළකලා බලන්න ඕන මගේ අවසාන අවස්ථාවේදී, මරණ මොහොතේදී, මා ඇසුරු කරන අනෙක් සංඝයා වහන්සේලා ඇවිල්ලා මගෙන් ඇහුවොත්, කොහොමද ඔබ වහන්සේ මෙච්චර කල් මේ පැවිදි ජීවිතය ගෙවුවා යම්කිසි උත්තර මනුෂ්‍ය ධර්මයක්, ධ්‍යාන මාර්ගඵල ආදියක් එහෙම ලබාගෙන තියනවාද? කියලා එහෙම අහනකොට මුණ මකු කරගෙන, බිම බලාගෙන, පසුතැවිල්ලෙන් යුක්තව ඉන්න බැරි විදියට, එහෙම ඉන්න අවශ්‍යතාවක් නැතිවන ආකාරයට, මා යම්කිසි ශාසනික උතුම් ආධ්‍යාත්මික තත්ත්වයක් ලබාගෙන තියෙනවාද? නැද්ද? කියලා. යම්කිසි උතුම් තත්ත්වයක් ලබාගෙන තියනවා නම් අර ප්‍රශ්නය අහනකොට මද සිනහවක් - ඒකට ‘ඔව්’ කියලා කියන්න අකමැති නම්, අල්පේච්ඡතාව නිසා තමන් ලබාගත්තු බව යටත් පිරිසෙයින් මද සිනහවකින් මුණ සරසාගන්නවත් පුළුවන් ඒ මරණ අවස්ථාවේදී. ‘මේ ගොල්ල හිතන්නෙ මා ලැබුවේ නැහැ’ කියලයි. අන්න ඒ විදියට ඒ මරණ වෙලාවේ පසුතැවිල්ලක් නැතුව තමන්ගේ ජීවිතය ගැන ආපස්සට ආවර්ජනා කරලා බලනකොට, මගේ පැවිද්ද, පැවිදි පරමාර්ථය ඉෂ්ට සිද්ධ වෙලා ඉවරයි. මට කිසිම භයක් නැහැ. අපාය භයක් නැහැ. රහත් වුනොත් තවත් සංසාරේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කිසිවක් නැහැ. පහන නිවුනා වගේ අන්න ඒ සැනසිල්ලයි එතකොට ඒකයි අර අවසාන පරමාර්ථය. පැවිද්දේ අවසාන පරමාර්ථය. පරම නිෂ්ඨාව. සිවුරු පටිය බඳින්නෙත් ඒක සඳහායි. වෙන එහෙකට නෙවෙයි. සිවුරු පටිය බඳින්නෙ දැන් ඔය හරකෙක් බැඳලා ඇදගෙන යන්නෙ. ඒ වගේ ගිහි සමාජෙට ඒ සිවුරු පටිය උපකාර කරගෙන ඇදගෙන යන්න නෙවෙයි, සිවුරු පටිය බඳින්නේ සංඝයා වහන්සේ කෙනෙකුගේ බෙල්ලෙ. ගිහියන්ගේ ඕනෑ එපා කම් පිරිමහගන්න, ඒ සිවුරු පටිය ඇඳගෙන යන්න නරකයි. ඒ සිවුරු පටිය බැඳීම එක්තරා ලාංඡණයක් . ඒක ඉවත් කරලා රීළඟට සිවුරු අන්දවනවා. ඒකේ අදහස මොකක්ද? “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” සියලු සසර දුක් කෙළවර කරන ඒ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා. එතකොට අන්න ඒ අවසාන පරමාර්ථයටයි අදාලවයි මුල ඉඳලම තියෙන්නේ. මෙන්න මේ එක එකක් ගැන දැන් ආපස්සට හිතුවොත් කාරණාවල ගැඹුරු අර්ථය, මේ අවසාන කාරණයෙන් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන් වැඩි විස්තර නොකීවත්. අවසාන අවස්ථාවේදී, මරණ මොහොතේදී, තමන් පසුතැවිල්ලක් නොවෙන ආකාරයට අර උතුම් ලෝකෝත්තර තත්ත්වයක්, මේ බුද්ධ ශාසනයේ මේ දූර්ලභ බුද්ධ ශාසනයේ, දූර්ලභ පැවිද්ද තුළින්, දුෂ්කරතා මධ්‍යයේ හෝ, නොකා නොබී හරි, නොයෙකුත් රෝග පීඩා බාධක මධ්‍යයේ හරි, අර තත්ත්වය ලබා ගත්තා නම් අන්න අවසාන අවස්ථාවේ ලොකු සැනසිල්ලක්. එහෙම නැත්නම් මර බියෙන් කැගසමින්, විලාප තියමින්, කොයි විදියේ තාන්න මාන්න, නිලතල, උපාධි ලාභ ආදිය තිබුණත් අවසාන අවස්ථාවේදී, මහා භයානක විලාප නගමින් - අන්තිමට පැවිදි ජීවිතය එතනින්ම අවසානයි. ඊළඟට කොහේ යනවද කියලා නෑ. අන්න ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නෙ මේ දස ධර්ම සූත්‍රයේ අවසාන එකෙන්. දැන් සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේ කාලේ නම් ඒවා යල් පැනපු දේවල් කියලා. අපට තවම අහන්න ලැබිල නැහැ දස ධර්ම සූත්‍රය නව ධර්ම සූත්‍රය කළ බවක්. තාමත් ඒක සංඝයා වහන්සේලා භාවිතා කරනවා. ඒයින් අපට පේනවා මේ අවසානයේ කියවෙන්නෙ පැවිදි ජීවිතයේ නිශ්ඨාවයි, පරමාර්ථයයි. ඒකෙනුයි කුළු ගැන්වෙන්නේ පැවිදි ජීවිතය කියන එක. ඒ මිසක් මේක සුලහ දෙයක් නොවෙයි. සුලහ කරන්න බැහැ මේක. ඒ වගේම මේක ලේසියි. දැන් ඔය කපුටන්ගේ ජීවිතය බොහොම ලේසියි. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා, ඒ විදියට විනයාදී ශික්ෂාපද නොරකින භික්ෂුවට ඉතාම පහසුයි කපුටකූ වගේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියනවා නියම ආකාරයේ පැවිද්දාට ජීවිතය දුෂ්කරයි, අමාරුයි. සමහර විට පිණ්ඩපාතෙවත් හරියට ලැබෙන්නේ නැහැ. නමුත් අනියම් ආකාරයෙන් ගිහියන් සතුටු කරගෙන, වැරදි ආජීවයකින් ඒ සිවිපසය ලබාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි ප්‍රතිපත්තිය. මොකද ඒක විශාල පාවාදීමක්. එක පැත්තකින් ශාසනය පාවා දීමක්, අනික මේ දූර්ලභ බුද්ධෝත්පාද කාලයේ දූර්ලභම පරමාර්ථය වන මෙතෙක් නොකළ සසර දුකින් එතර වීම කියන පරමාර්ථය, පාවාදීමක්. ඒ තුළින් පැවිද්ද එහෙම පිටින්ම නිෂ්ඵල වෙනවා. සඵල වෙන්නෙ නැහැ. නිෂ්ඵල වෙනවා, ව්‍යර්ථ වෙනවා. ඔන්න ඕක තුළින් අපට හිතාගන්න පුළුවන් මේ දස ධර්ම සූත්‍රය තුළ තියන වටිනාකම. මේකෙ ඇත්ත වශයෙන්ම සංඝයා වහන්සේලා හංගගෙන පාවිච්චිකරන දෙයක් හැටියට හිතන්න නරකයි. ගිහි පින්වතුන් ඒ පිළිබඳව දැනුවත් වීම තුළින් ගිහි පින්වතුන්ට පුළුවන් ආරක්ෂා වෙන්න. තමන් ඇසුරු කරන කුළුපග ස්වාමීන් වහන්සේලාගෙන් අනියම ඉල්ලීම් ඒ සංඝයා වහන්සේලා නොමගට යොමු නොකරන්න. මෙන්න මේ ශාසන පරිහානියක් දැන් කාලයේ ප්‍රකට රහසක් වශයෙන් පවතිනවා. සමහර දේවල් සමාජයේ තියෙනවා ‘ප්‍රකට රහස්’ කියලා. ඒවා කියන්න බය වෙන්නත් නරකයි. ඉතිං ඒ විදියේ ප්‍රකට රහස් හැටියට තියෙන ශාසන පරිහානියට හේතුව අර සංඝයා වහන්සේලාගේ නොසැලකිල්ල පමණක් නොවෙයි. ගිහි පින්වතුන් තමන්ගේ නිලතල බලතල යොදමින් අන්න අර කියාපු විදියට සිවුරු පටිය අල්ලගෙන ගිහියන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න, එහෙම නැත්නම් අර ‘තැනෙ හැටියට ඇණේ ගහන්න’ අතකොළුවක් කර ගැනීම තුළනුයි මේ ශාසන පරිහානිය යෙදිල තියෙන්නේ. ඒ නිසා අපේ මේ ගිහි පින්වතුන් ඥානවන්ත විය යුතුයි. දැනුවත් විය යුතුයි. උපාසිකාව වගේ. අතීතයේ ශාසනය බැබළෙන කාලේ, රහතන් වහන්සේලා එහෙම මේ රටේ වැඩියෙන් වාසය කල කාලවල, තිබුණු ශාසන තත්ත්වයට හේතුව ගිහි පින්වතුන් අර සංඝයා වහන්සේලාගේ සිවිපිරිසිදු ශීලය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇතිවයි ක්‍රියා කළේ. තමන්ගේ ජීවිතය නැති වුනත්, දරුවන්ගේ ජීවිතය නැති වුනත්, සංඝයා වහන්සේලා ලවා අර නුසුදුසු අනියම දේවල් කරගන්න යන්නෙ නැහැ. ඒ තුළින් ශාසන විනාශයයි, ශාසන පරිහානියයි සැළසෙන්නේ. ඉතිං මේක තුළින් වටිනා කාරණා කීපයක් මේ පින්වතුන්ට හෙළි වුනා. මේ බුද්ධ ශාසනය කියන්නේ, අපි කල්පනා කරන්න ඕන - ඒකත් ඔය නොයෙකුත් ආකාරයෙන් තෝරනවා - තුන් ආකාර කරලත් තෝරනවා පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියලා. බුද්ධ ශාසනය ගැන කියන කොට දැන් අපට බුද්ධ ශාසනය ලැබුණා කියලා කියන කොට, කෙනෙක් සිහියට නගා ගන්නවා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට ලැබුණා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය නිසා ත්‍රිපිටකය අපට ලැබුණා. අන්න පරියත්ති කියලා කියන්නෙ එකයි. ඉගෙනීමට ඕන කරන ධර්ම කොටස් අපට ලැබුණා. ඒවගෙම පටිපත්ති කියලා කියන්නේ, මේ ශාසනයේ මේ කියන ධර්මය ක්‍රියාවට නැගිය යුත්තක. මේවා පොත් වලට සීමා කළයුත්තක් නොවෙයි. මේ හැම ධර්මයක්ම, අර ධර්මයේ කියවෙන ‘ඒව බලව’ කියන ඒ අභියෝගයට අනුව ‘මාව ක්‍රියාත්මක කරලා බලන්න’ කියලා කියන විදියේ ධර්මයක්. ඒ වගේම පියවරෙන් පියවරට අරගෙන යන ඕපනයික ධර්මයක්. ඒක නිසා ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවායේ, ඒ ප්‍රතිපත්තියේ, යැදීමයි පටිපත්ති ශාසනය කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්ති ශාසනයත් ඒ මුල් අවධියේ බැබළුණු බවට සාධක තමයි මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු පිරිස ඇවිල්ලා, රජ පවුල් වලින් පවා, රජ බිසෝවරුන් පවා, පැවිදි කරමින් විශාල පිරිසක් ශාසනයට ඇතුළත් කරමින්, හරි ආකාර ශාසනය පිහිටෙව්වයි කියන්නේ අන්න ප්‍රතිපත්තියට ඇතුළු වුන අවස්ථාවයි. ඊළඟට ප්‍රතිවේධ කියලා කියන්නෙ ඒ ප්‍රතිපත්තිය තුළින් බණ භාවනා දියුණු කරගෙන ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව, දියුණු කරගෙන ඒ තුළින් අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල ප්‍රතිවේධ කිරීමයි. ප්‍රතිවේධ කිරීම කියලා කියන්නෙ නුවණැසින්, නුවණින් මේ සත්‍ය තත්ත්වය චතුරාර්ය සත්‍යය, විනිවිද දැකීමයි. ප්‍රඥාව කියන ආලෝකය තුළින්, වැහිලා තියෙන, අවිද්‍යාවෙන් වැහිලා තියෙන, මේ තත්ත්වය තම තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්. තම තමන්ටමයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට ඇවිල්ලා පෙන්වන්න බෑ. කොයිතරම් පර්යේෂණ කෙරුනත්. දැන් මේ කාලේ නිතර අසන්ට ලැබෙන දේවල් තමයි, ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාලයේ බුද්ධ කාලෙටත් වඩා, එහෙම නැත්නම් ඊට මෑත ලංකාවේ ඒ කාලෙටත් වඩා, මේ කාලේ ශාසනය බොහොම දියුණුයි කියලා. මොකද, ඒ තරමටම පොතපත තියනවා. නොයෙකුත් මාධ්‍ය වලින් ඉගෙනීම පිළිබඳව නම් නානාප්‍රකාර ක්‍රම තිබෙනවා. මුළු ත්‍රිපිටකයම සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. මුළු ත්‍රිපිටකයම ඉස්සර නම් මේවා බොහොම අමාරුවෙන් වන පොත් කරලා, කට පාඩම් කරලා, හිතේ දරා ගත්තා. ඒක තුළින් අර පුද්ගලයාගේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒක අමතක වෙනවට නිතර සජ්ඣායනා කිරීම තුළින් ඒ පුද්ගලයා දන්නෙම නැතුව ධර්මයට අනුව ජීවත්වෙනවා. නමුත් දැන් ඒවා ඔක්කොම අපේ මේ නවීන විද්‍යාත්මක ක්‍රම නිසා - අපි මේවා කිව්වට වරදවලා තේරුම් ගන්න එපා. මේවායේ ආනිසංස ආදීනව දෙපැත්තම අපට පෙන්නලා දෙන්න සිද්ධ වෙනවා. - ඒ තුළින් ඇතුම් කෙනෙක් ආඩම්බර වෙනවා. මුළු ත්‍රිපිටකයම මා ළඟ තියෙනවා, සාක්කුවේ තියෙනවා අළුත්ම ක්‍රමයට. නමුත් ඔය ධර්මය පිළිබඳ නියම පර්යාප්තියක් නොවේ එතන. කොහොම හරි ඒක අපි කියමු පර්යාප්තිය ටිකක් වැඩිපුර තියෙනවා කියලා. නමුත් ප්‍රතිපත්තිය එන්න එන්නම අර විදියට හීන වෙනවා. මොකද, මේ ධර්මය දැන් බොහෝ දෙනා හිතන්නේ අර අනෙකුත් දේවල් වගේ, ඔය නොයෙකුත් පර්යේෂණාගාරවල කරන පර්යේෂණ තුළින් ධර්මය තේරුම් ගත යුතු දෙයක් කියලා. එහෙම නැත්නම් ඔය දැන් නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ, බාහිර දේවල් ගැන බාහිර හැටියට ඒවා සළකල යි. ඒ විදියට පර්යේෂණ කිරීමක් නොවේ මෙතෙන. මේ ආර්ය පර්යේෂණය ඒ විදියේ දෙයක් නෙවෙයි. තමන් තුළම ශීලාදී ගුණධර්ම වගා දියුණු කර ගැනීමෙන් තමයි මේ ධර්මයේ සත්‍යතාව උරගා බලන්න පුළුවන් වන්නේ. බාහිරව කරන දේ වලින් නෙවෙයි. ඒ විදියේ බාහිර පර්යේෂණ වලින් නෙවෙයි. ඒකට ප්‍රතිපත්තියට බහින්න ඕන. මුල ඉඳලම ප්‍රතිපත්තියට බහින්න ඕන පංචශීලයේ ඉඳලාම. ඉතිං අන්න ඒකටයි ප්‍රතිපත්ති ශාසනය කියන්නෙ. ඒ අතින් බලන කොට ප්‍රතිපත්ති ශාසනය ඉතාම දූර්වලයි. ඊළඟට ඊටත් වඩා දූර්වලයි ප්‍රතිවේධ ශාසනය. දැන් ඇතැම් කෙනෙක් මේ කාලේ කියනවා - මේවා කරන්න බෑ මේ කාලේ. මේ ලෝකෝත්තර තත්ත්වයන් මේ කාලෙට අයිති නැහැ. නිවන කියන එක මේ කාලෙට අයිති නැහැ. ඒවාට වෙන බුදු කෙනෙක් එනකම් ඉන්න ඕන. එහෙම නැත්නම් කිසිසේත් මේ කාලේ සමාජයට ගැලපෙන්නෙ නැහැ. එහෙම හිතලා එහෙම පිටින්ම අවලංගු කරන තත්ත්වයකුත් තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන බුද්ධ වචනයට අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, යම් තාක්කල් මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා නම් තමන්ගේ චිත්ත සන්තානයේ, අන්න ඒතාක් කල් රහතුන්ගෙන් ලෝකේ හිස් වෙන්නෙ නෑ කියලා. ඒ ‘හැකි’ සංඥාව ඇති කරගෙනයි අපි මේ ධර්ම ගමන යා යුත්තේ. ශාසනය ආරක්ෂා කරන්න උත්සාහවත් වෙන්ට ඕනෙ. එහෙම නැත්නම් තුනෙන් පංගුවයි රැකෙන්නෙ. ශාසනයේ තුනෙන් පංගුවයි. අර කියාපු පර්යාප්තිය, ඉගෙනීම, පිළිබඳ පැත්ත විතරයි දියුණු වෙන්නේ. ඒක දියුණු වුනාට වැඩක් නෑ. පුස්තකාලවල පොත් පුස්කකා තියේවි. නමුත් සමාජයේ අන්තිමටම වන මෘගයින් වගේ එකිනෙකා කාගන්න තත්ත්වයක්, ඒ විදියේ අපරාධකාරී තත්ත්වයක්. අනික් පැත්තෙන් භික්ෂු ශාසනය පිළිබඳවත් ඒ විදියේ පරිහානි තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා, අනික් පටිපත්ති ප්‍රතිවේධ කියන අංග ගැන නොතකා හැරියොත්. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු කෙනෙක් තුළින් අපි බලාපොරොත්තුවෙන ගැඹුරු දේ තමයි, උතුම්ම දේ තමයි මේ සසර දුක් කෙළවර කර ගැනීම. මේ සංසාර දුක කෙළවර කර ගැනීමට අවශ්‍ය අන්දමින් ධර්මය පෙන්නුම් කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් විතරයි. පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුටවත් ඒක කරන්න බැහැ. උන්වහන්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගත්තත් අනෙක් අයට ඒක තේරුම් කරලා දෙන්න බැහැ. ඉතිං බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම දේශනා කරන කොට, “මහණෙනි, මම මෙන්න මේ ධර්මය හොඳට බෙදලා, විග්‍රහ කරලා විභාග කරලා මේ විදියට ඕනෑ කෙනෙකුට මේක තේරුම් කරගන්න පුළුවන් තත්ත්වයට පහත් කරලා මේක”බලන්න” කියලා විවරණය කරලා දීලා තියෙනවා.” අර ගුරු මුෂ්ටිය කියලා අතීත කථාන්තරයක් තියෙනවා, අතීත යෙදීමක් තියෙනවා. ඒ කියන්නේ සමහර ගුරුවරු, අතීතයේ හිටපු ඊර්ෂ්‍යා පරවශ ගුරුවරු, තමන්ගේ ගෝලයින්ට ඔක්කොම දුන්නේ නැහැ. ටිකක් හංග ගත්තා. ඒ විදියේ දෙයක් නැතිබව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “මා ඒ විදියට කොටසක් හංග ගත්තේ නැහැ. නිවනට අදාළ යම් දෙයක් තිබේද - අනික් දේවල් වලට නෙවෙයි - නිවනට අදාළ යම් දෙයක් තිබේද, මගේ බුද්ධ ඥාණය තුළ, ඒ හැම එකක්ම මම නුඹලාට කියලා දීලා තියෙනවා.” අන්න ඒක නිසා මේ ධර්මය ක්‍රියාත්මක කලොත් කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නෑ. ඒ විදියටයි සම්බුද්ධ ශාසනය නගා සිටුවන්න පුළුවන් වන්නෙ, මේ ශාසන පරිහානි යුගයේදී - යටත් පිරිසෙන් පරිහානි වේගය අඩු කරගන්නවත් පුළුවන් වන්නේ. ඒක නිසයි අපි මේ අද දේශනාව එල්ල කළේ. ඇත්ත වශයෙන් මේක පුද්ගලයකුට එල්ල කළා නොවෙයි. ගිහි පැවිදි කියන ඒ දෙපක්ෂය තුළම නියමාකාර සම්බන්ධීකරණයක්, දැනුවත් වීමක්, තිබෙන්නට ඕන. මේ නියම ගිහි පැවිදි සම්බන්ධතාව කියන්නෙ මොකක්ද කියලා. මේ කාලේ නම් බොහෝ විට පරිහානි ලක්ෂණයි ප්‍රගති ලක්ෂණ හැටියට උල්ප්පලා පෙන්වන්නේ. ඒ විදියේ ස්වාභාවයක් තියෙනවා. පරිහානි ලක්ෂණ මතුකරලා දක්වනවා ප්‍රගති ලක්ෂණ හැටියට. මොකද, ලෝකයා බොහෝ විට දුවන්නේ අර බටහිරින් එන ආර්ථික සිද්ධාන්ත ඔස්සේමයි. පරාර්ථ සේවා, සමාජ සේවා ආදී ඒ පරමාර්ථ ඔස්සේ දුවන්නේ. ඒවා අනුවයි මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම් ගැන නීරික්ෂණ කරන්නේ, තීරණ වලට එළඹෙන්නේ. ඒක වැරදියි. බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ දස ධර්ම සූත්‍රය ආදී ඒ සූත්‍ර වලින් පෙන්නුම් කරන වටිනාකමුයි අපි මතුකර ගන්නට ඕන. ඒ අනුවයි ගිහි පැවිදි සම්බන්ධතාව සකස් කරගන්නට වෙන්නේ. ඉතිං මෙන්න මේ කාරණා ටික මේ පින්වත් පිරිස මේ වටිනා දවසේ හිතට ගන්න ඕන. පොසොන් පෝය දවස කියන එක අපි කවුරුත් නොයෙකුත් ආකාරයෙන් සිහිපත් කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේට අනුබුදු ස්වාමීන් වහන්සේ කියලා හිටං ගරු කරනවා. උන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි, අර කියාපු ආකාරයට උන්වහන්සේ යම් බුද්ධ ශාසනයක් පිහිටෙව්ව නම් ඒ බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා අන්න අර කියාපු ත්‍රිවිධ ශාසනයම පරියත්ති පටිපත්ති පටිවේධ - පර්යාප්තිය තියෙන්නේ ප්‍රතිපත්තිය සඳහායි, ප්‍රතිපත්තිය තියෙන්නේ ප්‍රතිවේධය සඳහායි. ඒවා වෙන්කරලා ගන්න බැහැ. නියම ආකාර පර්යාප්තිය නම් අර ආර්ය ධර්මය හරියට තමන්ට, තමන්ගේ චිත්ත සන්තානයට නගාගෙන ඒ අනුව තමන් ජීවත් වෙමින්, ඒක ප්‍රතිපත්තියට නැගීමයි. රීළහට අවසානයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ‘පවත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ මේ ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්. අන්න ඒ විදියට තමයි ප්‍රතිවේධය කරන්න පුළුවන් වෙන්නෙ. අර ලෝකෝත්තර තත්ත්ව ප්‍රත්‍යක්ෂ කරගෙන මේ සියලු සසර දුකින් අත් මිදිලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අද කල්පනා කරන්න ඕන මේ පින්වත් පිරිසත්, ඒ ගෙදරවල් වලින් ඇත්වෙලා යම් යම් ප්‍රමාණයේ ශීලාදී ප්‍රතිපත්තියකට නැඹුරු වෙලා අද දවසේ තමන්ට පුළුවන් මට්ටමකින් යම්කිසි භාවනා ආදියක් කරන්න ඇති. අන්න ඒ විදියට තමයි අපේ පුංචි තරමින් අපි මේ ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කර ගන්න ඕනෙ. අර කියාපු අර සිහි කටයුතු අවස්ථාවට අනුව අපි මිහිඳු මහරහතන් වහන්සේට උපහාරය දැක්වූවා කියල, ඒ විදියට හිතාගන්න ඕනෑ. ඒවගේම ඒ තුළින් අපි මේ සම්බුද්ධ ශාසනයෙන් නියම වැඩ ගැනීම කියලා කියන ඒ පරමාර්ථය අපේ ජීවිතයට ළං කරගෙන, තම තමන් මේ ගැන උනන්දු වෙමින්, බණ භාවනා, ශීලාදී ගුණ ධර්ම වගා දියුණු කර ගනිමින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්, ඒවාට නිසි උපදෙස් ලබා ගනිමින් හැකිතාක් ඉක්මණින් මේ ජීවිතයේදීම - බුද්ධෝත්පාද කාලය දූර්ලභයි, ඒ වගේම බුද්ධ ශාසනයත් පරිහානියට යනවා. මේ යන පරිහානි වේගය අනුව අපට සමහර විට නැවත ඉපදිලා මේ ගුණධර්ම රකින්න අවස්ථාවක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා - මේ ජීවිතයේදීම හැකිනම්, සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ අද රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරය ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමන්ගේ ඥාතීනුත් ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වාවූ යම් තාක් සත්ත්ව කෙනෙක් මේ විදියේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුශලය අනුමෝදන් වෙන්න කැමති නම්, ඒ අනුමෝදන් වීම තුළින් අර දුගති තත්ත්ව වලින් අත්මිදී සුගති තත්ත්ව වලට පත්වී කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් හැකිතාක් ඉක්මණින් ජාති ජරා ව්‍යාධි, මරණාදී සියලු සංසාර දුකින් අත්මිදී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න. “එත්තාවතා ච අම්හේහි……………” 25 වන දේශනය නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස දිස්වා ආදීනවං ලෝකෙ - ඤත්වා ධර්මමං නිරූපධිං අරියො න රමති පාපෙ - පාපෙ න රමති සුචි සැදැහැවත් පින්වතුනි, ලෝකයේ ආදීනව පක්ෂය ගැන අවබෝධය ගැඹුරු වූ තරමට තමයි නෙක්ඛම්ම සංකල්පය මේරීමට පත්වෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය මෝරා ගිය ප්‍රමාණයටයි පැවිදි ජීවිතයක පරමාර්ථය මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ගිහි සැපයත් පැවිදි සැපයත් අතර වෙනස හරියාකාර තේරුම් නොගත්තොත් පැවිදි ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා අතීත ආචාර්යවරු පැවිදි අපේක්ෂකයකුගේ සිත ශක්තිමත් කරන්න නොයෙකුත් උපාය මාර්ග යෙදුවා. අද අපි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කථාවෙනුත් ඒකට නිදර්ශනයක් ලැබේවි. මහා කච්චාන මහ රහතන් වහන්සේ අවන්ති රටේ කුරරඝර කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලයේ සෝණ කුටිකණ්ණ කියන උපාසක මහත්මයෙක් උපස්ථායක හැටියට හිටියා. මේ සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයා ඒ කුරරඝර ප්‍රදේශයේ ඉතාමත්ම ධනවත් ශ්‍රද්ධාවන්ත කාලී කියන උපාසිකාවගේ පුතෙක්. එක දවසක් මේ සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයා විවේකීව භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ඇති වුනා. ‘මහා කච්චාන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන ආකාරයට මේ පිරිසිදු බ්‍රහ්මචර්යාව ගිහි ජීවිතයේදී ආරක්ෂාකර ගැනීම අපහසුයි. බොහොම අමාරුයි. ඒක නිසා මම මේ කෙස් රැවුල් ඉවත් කරලා කාෂාය වස්ත්‍රය ඇඳගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වෙන්ට ඕන.’ ඒ අදහස ඇති වුනාට පස්සේ ගිහිල්ලා කච්චාන ස්වාමීන් වහන්සේට තමන්ට මෙහෙම අදහසක් ඇතිවුනා කියලා ප්‍රකාශ කරලා “ස්වාමීනි මාව පැවිදි කරන්න” කියලා ඉල්ලා සිටියා. එතකොට මහ කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා “සෝණ, යාවජීව වශයෙන් දිවිහිම් කොට, එක ආහාර වේලකින් යැපෙමින් තනියහනේ නිදමින් ශාසන බ්‍රහ්මචර්යාව රැකීම දුෂ්කරයි. අමාරුයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට කාලානුරූපව, ඉඳලා හිටලා, පෙහෙවස් රැකීම් වශයෙන් උපෝසථ අට්ඨාංග ශීල රැකීම් වශයෙන් එක ආහාර වේලකින් යැපීමින් තනි යහනෙ නිදමින් ඒ විදියට ඒ ප්‍රතිපත්තිය ඒ බ්‍රහ්මචර්යා ක්‍රමය ආරක්ෂා කරන්න” කියලා. ඉතිං ඒක ඇහුවට පස්සේ අර සෝණ කුටිකණ්ණ උපාසක මහත්මයාට පැවිදිවීම පිළිබඳව තිබුණු උනන්දුව අඩු වුනා. නැවත ගිහිල්ලා නැවතත් භාවනා කරන අවස්ථාවේදී ආයිත් දැඩිව හිතට ආවා මේ ගිහි ජීවිතයෙ අමාරුයි පිරිසිදු බ්‍රහ්ම වර්යාව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා. නැවත වරක් ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අර වගේම අවසර ඉල්ලුවා. නමුත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයිමත් ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් කිව්වා මේ කටයුත්ත, මේක, දුෂ්කරයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉදගෙන ඔය විදියට යාවජීව නොවෙයි කාලානුරූපී බ්‍රහ්ම වර්යාව රකින්න උත්සාහවන්ත වෙන්න කියලා. ඉතිං ඒ අවස්ථාවෙත් ඒ අදහස යටපත් වෙලා නැවතත් ගිහිල්ලා තුන්වෙනි වරටත් භාවනාවේදී දැඩිව මේ සිතිවිල්ල ආවම ඇවිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ඉල්ලා හිටියා. අන්න ඒ අවස්ථාවේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහේ පැවිදි කළා. පැවිදි කරලා අවුරුදු තුනකට පස්සේ බොහොම අමාරුවෙන් උපසම්පදාව සඳහා සංඝයා වහන්සේලා දහ නමක් එහෙන් මෙහෙන් සොයා ගත්තා. මොකද හේතුව, අවන්ති රටේ සංඝයා වහන්සේලා බොහොම හිඟයි. ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි උපසම්පදාවට සංඝයා ගණපූරණය වශයෙන් දහ නමක් සොයාගෙන උපසම්පදාව දුන්නෙ. ඉතිං මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට උපසම්පදා වෙලා වස් කාලය ගත කලාට පස්සේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ආවා. භාග්‍යවතුන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, මෙන්න මේ මේ ස්වරූපයයි කියලා මා අහලා තියෙනවා මිසක් මට තාම සියසින් දකින්න බැරිවුණා. භාග්‍යවතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් මට බොහොම ලොකු දෙයක්. ඒක නිසා මගේ උපාධ්‍යායයන් වහන්සේ අවසර දෙතොත් බුදු පියාණන් වහන්සේ දකින්න වඩින්න ඕන කියලා චාරිකාවේ. ඊළඟට කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේට ඒ අදහස කියලා අවසර ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ ‘සාධු සාධු’ කියලා බොහොම සතුට ප්‍රකාශ කරලා “යන්න සෝණ. ගිහිල්ලා ඒ පහදවන සුළු ස්වරූපය ඇති, ඒ ශාන්ත දාන්ත වූ මනස ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්න. දැකලා මගේ වචනයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ සුවදුක් විමසලා වන්දනා කරන්න. මාගේ උපාධ්‍යායන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳිනවා කියලා” ඒ විදියට ආශීර්වාදාත්මකව ඒක අනුමත කලා. ඉතිං සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට වැඳලා පැදකුණ කරලා, සෙනසුන සකස් කරලා කියලා පාත්‍ර සිවුරු අරගෙන - දුර ගමනක් - අවන්ති රටේ ඉදලා ජේතවනාරාමය බලා පිටත් වුණා. ඉතිං අනුපිළිවෙළින්, ක්‍රම ක්‍රමයෙන්, එහෙම චාරිකාවේ වැඩම කරලා එක දවසක් දා ජේතවනාරාමයට පැමිණියා, පැමිණිලා බුදු පියාණන් වහන්සේ දැකලා අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්ව විදියටම වන්දනා කලා. භාග්‍යවතුන් වහන්සේත් අර සාමාන්‍යයෙන් සුපුරුදු ආකාරයටම ඒ විදියේ ආගන්තුක භික්ෂුවක් ආපුවම අහන සතුටු සාමීචි කථාවේ යෙදුනා “කොහොමද ඒ චාරිකාවේදී ගමනෙදී හොඳට පිණ්ඩපාතේ එහෙම ලැබුනාද? කරදර නැතුව සුවසේ ආවද?” කියලා. ඉතිං “එසේය ස්වාමීනි” කියලා කිව්වාට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා “ආනන්ද, මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනවන්න” කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ සිතුම් පැතුම් හරියට දන්න නිසා තේරුම් ගත්තා මේ විදියට විශේෂ කියමනක් කියන්නේ, සෙනසුනක් පනවන්න කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අවසර දෙන්නේ, තමන් වහන්සේගේම ගඳකිලියේ ඒ ගන්ධ කුටියේ ඒ භික්ෂුව රාත්‍රිය ගතකරනවා දකින්ට කැමති නිසා වෙන්ට ඕනෙ කියලා තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේම සෙනසුන පැනෙව්වා, මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට. ඉතිං ඊළඟට ඒදා රාත්‍රි වැඩි කාලයක්ම බුදු පියාණන් වහන්සේ එළිමහනෙහි භාවනානුයෝගීව වැඩ හිඳලා පා සොදගෙන කුටියට වැඩම කලා. සෝණ ස්වාමීන් වහන්සේත් එළිමහනේ රාත්‍රි වැඩි කාලයක් භාවනාවේ වැඩ හිඳලා සේනාසනයට ඇතුල් වුණා. ඊළඟට අපට අහන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ උදෑසන අළුයම් කාලේ අවදිවෙලා සෝණ ස්වාමීන් වහන්සේට කියනවා “භික්ෂුව ඔබට ධර්මයක් දේශනා කරන්න වැටහේවා!” කියලා. අන්න එතකොට සෝණ ස්වාමීන් වහන්සේ තමන්ට කට පාඩම් තිබුණු, දැන් මේ කාලේ සුත්‍ර නිපාත නමැති ධර්ම ග්‍රන්ථයේ අඩංගු වන ගාථාමය සුත්‍ර දහසයක් - ඒකට කියන්නෙ අට්ඨක වග්ගය - ‘අට්ඨක වග්ගය’ කියන පරිච්ඡේදයේ සඳහන් වන ගැඹුරු අර්ථවත් ගාථාමය සුත්‍ර දහසයක්ම කට පාඩමින් ඉතාම හොඳ ස්වරයෙන්, ඊට ගැලපෙන නිසි ස්වරයෙන් හොඳට ශබ්ද නගලා දේශනා කලා. ඒක අහලා භාග්‍යවතුන් වහන්සේ බොහොම සතුට ප්‍රකාශ කරලා “බොහොම හොදයි, භික්ෂුව, ඔබ නියම හොඳ ස්වරයෙන් ඉතාමත් පැහැදිලි, නිදොස්ව ගලායන, අර්ථය හෙළි කරවන අන්දමේ හොද ස්වරයකින් මේ සුත්‍ර ටික දේශනා කලා”. ඊළඟට බුදු පියාණන් වහන්සේ අහනව, “මහණ ඔබට වස් කීයද?” කියලා. එතකොට සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ කියනවා “ස්වාමීනි, මට එක වසයි තියෙන්නේ”. සංඝයා වහන්සේලාගේ ඒ වයස ගණින්නේ ගත කල වස් කාලය අනුවයි. ඉතිං “එක වසයි මට තියෙන්නේ” කියලා කිව්වා. උප සම්පදාවෙන් එක වසයි. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා “මොකක්ද මහණ මෙච්චරකල් කළේ?” කියලා. මෙච්චර කල් මොකද කළේ. එතකොට සෝණ, ස්වාමීන් වහන්සේ කියනවා “ස්වාමීනි මම මේ කාමයන්ගේ ආදීනව පක්ෂය නං දැක්කා. ඒ වුනත් ගිහි ජීවිතයේ නොයෙකුත් කම් කටොළු කරදර වැඩ කටයුතු නිසා මේ විදියට මගේ පැවිදි වීම පමා වුනා” කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකාව වශයෙන් ප්‍රකාශ කළ ගාථාව වදාළේ. ඒ ගාථාව ඇත්ත වශයෙන් අර උදාන පාළි කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙන්නෙම ප්‍රීති වාක්‍ය වලට මුල් තැන දෙන ආකාරයකින්. ඉතිං ඒ ප්‍රීති වාක්‍යයක් හැටියට බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තමයි අපි මුලදි කිව්වේ. දිස්වා ආදීනවං ලෝකෙ - ඤත්වා ධර්මමං නිරූපධිං අරියො න රමති පාපෙ - පාපෙ න රමති සුචි ලෝකයේ ආදීනව පක්ෂය දැකලා නිරූපධි නම් වූ සියලම උපධීන් අතහැරීම කියන නිවන, නිරූපධි නම් වූ නිර්වාණය දැනගෙන, නිර්වාණ ධාතුව දැනගෙන, ආර්ය පුද්ගලයා පාපයෙහි නො ඇලෙයි. පිරිසිදු තැනැත්තා පාපයෙහි නොඇලෙයි. කියන ඒ කෙටි අදහසයි එතන තියෙන්නේ. ඉතිං මේ සෝණ ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති සුත්‍ර පිටකයෙත් විනය පිටකයෙත් තව හුඟක් ඒ ඒ තැන්වල තියෙනවා. මෙතන අපි ප්‍රීති වාක්‍යයට මුල් තැන දීපු නිසයි මේ ටික කියවෙන්නේ. මේ ටික මුල් තැන තියාගෙන අපි අතිත් කරුණුත් අවස්ථානුකුලව එකතු කර ගනිමින් දැන් ඊළඟට මේක පිළිබඳ යම් කිසි විවරණයක් කරන්න බලමු. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ මේ කථාන්තරය තුළත් ගාථාව තුළත් ඇතුළත්වන වටිනා අදහස් ටික මතුකර ගැනීමයි. පළමුවෙන්ම අපි මේකට හිත යොදන කොට මේ පින්වතුන්ටත් සමහර විට සැක උපදින විදියේ කාරණාත් මෙතන තියෙන නිසා අපි ඒවා හෙළිවෙන ආකාරයට එකින් එක අරගෙන බලමු. දැන් මේ මහා කච්චාන කියන ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගෙන් ‘එතදග්ග’ කියන තනතුරත් සම්මාන වශයෙන් ලබාපු කෙනෙක්. මේ ‘එතදග්ග’ තනතුර කියලා කියන්නෙ පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චාරිත්‍රයක් තිබුණා - හැම බුදුවරුන්ගේම චාරිත්‍රයක් - තමන්ගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසෙහිම යම් යම් අංශ වලින් විශේෂ ශක්තීන් ඇති අය හඳුන්වා දෙනවා සංඝයා වහන්සේලාට ‘එතදග්ග - භික්ඛවේ මම සාවකානං’ ආදී වශයෙන්. මාගේ ශ්‍රාවකයින් අතර මෙන්න මොහු එහෙම නැත්නම් මැය අග්‍රයි, ප්‍රධානයි කියලා. ඊළඟට ඒ කාරණය සඳහන් වෙනවා. ඒ විදියට මහා කච්චාන ස්වාමීන් වහන්සේට ප්‍රධානත්වය, අග්‍රස්ථානය, ලැබුනේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ සුත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කිරීමේ දක්ෂ භික්ෂුන් වහන්සේලා අතරිනුයි. ඒ විශේෂ දක්ෂතාව මහා කච්වාන ස්වාමීන් වහන්සේ තුළ තිබුනා. අර්ථකථන වශයෙන්, බුදු පියාණන් වහන්සේ දේශනා කළ කෙටි කියමන, දීර්ඝ වශයෙන් විස්තර කිරීම. ඉතිං ඒ විදියේ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඊළඟට ඒ වගේම මේ කථාවේ කියවුනා අවන්ති රටේ භික්ෂු සංඝයා ඉතාම අඩුයි කියලා. ඉතිං එහෙම එකේදී අපට සමහර විට සැකයක් ඇතිවෙන්න පුළුවන්, මොකද මේ මහා කච්වාන ස්වාමීන් වහන්සේ අර සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහේ පැවිදි වෙන්න ඉල්ලුවහම දෙසැරයක්ම ඒක ප්‍රතික්ෂේප කලේ කියලා. අපි නං බලාපොරොත්තු වෙන්නේ - කියන්න තිබුණේ මේ විදියේ දෙයක් කියලයි. “අපේ ප්‍රදේශයේ සංඝ බලය බොහෝම අඩුයි. බොහොම හොඳයි, ඉක්මණට පැවිදි වෙන්න. තවත් පුළුවන් නම් දහ පහළොස් දෙනෙක් එකතු කරගෙන එන්න. අපිට පිරිකර සොයාගන්න පුළුවන්. හොඳ පැවිදි පින්කමක් පවත්වන්න පුළුවන්” කියලා ධෛර්යය කරනවා වෙනුවට මේ පැවිද්දේ දුෂ්කරතාව ප්‍රකාශ කලා. ඒ දුෂ්කරතාව ප්‍රකාශ කළ වචනත් ඉතාම වැදගත්. අපි මේ කාලෝචිත හැටියට හැඟෙන නිසයි මේ කාරණය මතු කරලා දෙන්නේ. එතන ඒ මහා කච්වාන ස්වාමීන් වහන්සේ පැවිද්දේ දුෂ්කරතාව පෙන්නුවේ මෙහෙමයි. ‘යාවජීව’ කියන වචනය සඳහන් වෙනවා. මේ පැවිද්ද කියන එක - ඒක අදහස - ‘යාවජීව’ දිවි හිම් කොට, දිවි ඇති තාක්, එක ආහාර වේලෙන් යැපෙමින් තනි යහනේ නිදමින් බ්‍රහ්ම වර්යාව රැකීම. ඒක අමාරු දෙයක්. එතකොට අපිට මෙයින් පේනවා ඒ කාලේ පැවිද්ද කියන එක ‘තාවකාලික’ සංකල්පයක් නෙවෙයි ‘යාවජීව’ සංකල්පයක් - මේක බොහොම බැරෑරුම් එකක් හැටියට. ඒක ලිහිල් කරගත යුතු දෙයක් නොවෙයි. දැඩි අධිෂ්ඨානයකින් ගතයුතු, ජීවිතය පිළිබඳ දැඩි තීරණාත්මක පියවරක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අභිනික්මන කියලා කියන්නේ, ආවට ගියාට කරන දෙයක් නොවෙයි. සතියක දෙකක නිවාඩුවකට ගිහිල්ලා එනව වගේ දෙයක් නොවෙයි. බුද්ධ කාලයේ පැවිද්ද කියන එක ගැඹුරු අදහසකින්, ගැඹුරු නෙක්ඛම්ම සංකල්පයකින් ගතයුතු තීරණාත්මක පියවරක් බවයි අපට මෙයින් පෙනෙන්නේ. ඒක නිසයි අර මහා කච්වාන ස්වාමීන් වහන්සේ ඒකට තාම සුදුසු කම, ඊට සැහෙන පමණ මේරීමක් අර උපාසක උන්නහේ තුළ නැති බව දන්න නිසයි දෙවරක්ම ප්‍රතික්ෂේප කලේ. නමුත් ඒ එක්කම ඒ වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයක් පෙන්නුවා. එහෙම නම් කරන්න තියෙන්නේ මොකක්ද? පැවිදි වෙන්න තරං යාවජීව වශයෙන් ඒ තරම් දැඩි කැපවීමකින් ඒ පියවර ගන්න ශක්තිය නැත්නම් කරන්න තියෙන්නේ, ගිහි ජීවිතයේම ඉදගෙන අර ‘කාලයුත්තං’ කාලානුරූපව, බ්‍රහ්ම වර්යාවට උත්සාහයක් වශයෙන්, ඉඳහිටලා, අර විදියට පෝය දිනක ආහාර වේලක් අතහැරලා, ඒ ගිහි සැපත අත හැරලා බ්‍රහ්මවර්යාව රැකීමයි. ඒ විකල්ප ක්‍රියා මාර්ගයත් මහා කච්වාන ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒ තුළින් අපට යම් අදහසක් ගන්න පුළුවන් අතීතයේ ඒ පැවිද්ද පිළිබඳව. අන්න පැවිදි අපේක්ෂකයකු ආව පමණින්, කිව්ව පමණින්, පිරිස් වැඩිකර ගන්න, ඒ විදියේ සංකල්පයකින් නොවෙයි පැවිදි කළේ. ඔලු ගෙඩි ගැනීමෙන් ශාසනයේ දියුණුව මනින්න බෑ. ඒක නිසා අර ටික දෙනා නමුත්, නියම ගැඹුරු අදහසකින්, අර කියාපු කැපවීමකින් යුක්තව පැවිදි ජීවිතයට අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න සුදානම් නම්, අන්න ඒ අවස්ථාවෙයි, එතකොටයි ඒ මේරූ අවස්ථාවෙයි, අවසර දෙන්නේ. ඒක නිසා තමයි අර තුන් වරක්. තුන්වෙනි වර කළ ඉල්ලීම අනුවයි මහා කච්වාන ස්වාමීන් වහන්සේ අවසර දුන්නේ. ඒයින් පේනවා හිත ඇතුළේ නෙක්ඛම්ම සංකල්පය මෝරන්න සැලැස්සුව. දැන් වුනත් සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් තුන් වරක් පැවිද්ද ඉල්ලනවා. නමුත් එක පිට එකවරට කියාගෙන කියාගෙන යනවා. නමුත් මේකෙ ගැඹුරු අදහස මොකක්ද? පළමුවෙනි වර කිව්වා, සමහර විට හිත වෙනස් උණා නම්, ඒක එතනින් නතර කරනවා. ඒක නං දැන් චාරිත්‍රයක් බවට හැරිලා. නමුත් දැන් මෙතන ඔන්න හොඳටම පේනවා. පළමුවෙනි වර ඇවිල්ලා කිව්වා හරවලා යැව්වා. දෙවෙනි වර ඉල්ලා හිටියා. ඒත් හරවලා යැව්වා. තුන්වෙනි වර ඉල්ලා හිටියාම, දැන් ඉතිං මේ තරම් තුන් සැරයක් ඉල්ලන්නේ යම්කිසි ගැඹුරු අදහසකින් කියලා ඔන්න අවසර දුන්නා. ඔයින් අපට පේනවා එතකොට මේ පැවිදි කිරීම, පැවිද්දේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයටයි අතීතයේ ආචාර්යවරුන් තමන්ගේ පැවිදි අපේක්ෂකයින් හැසිරෙව්වේ. ඉතිං ඒ වගේම සෝණ ස්වාමීන් වහන්සේට ඒ ප්‍රතිපත්ති රකින්න අමාරු වෙන්න ඇත්තේ සමහර විට - මහ ධනවත් පවුලක උපාසක කෙනෙක්. ඒ වගේම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු ආදී දේවල් තියෙන්න ඇති. ඒ හැම එකක්ම නිසා තමයි මහා කච්වාන ස්වාමීන් වහන්සේ මුලදි අවසර නොදී පසුව අර හිත තුළ ඒක මෝරා ගියාට පස්සේ අවසර දුන්නේ. එතකොට ඒ කාරණය එහෙමයි. රීළහට අපි තව පැත්තක් බලමු. මේ සෝණ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කලාට පස්සේ බුදු පියාණන් වහන්සේ විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මොකක්ද වරප්‍රසාදය? තමන් වහන්සේගේම කුටියේ රැය ගත කරන්න අවසර දුන්නා. ඒක ඉතාම දූර්ලභ වරප්‍රසාදයක් සාමාන්‍ය ශ්‍රාවකයකුට බුදු රජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ රැයක් ගත කරන්න ලැබීම. ඒකට හේතුව මොකද කියන එකත් අපි හිතලා බලන්ට ඕන. මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දැන් අර මහා කච්වාන ස්වාමීන් වහන්සේ අර තත්ත්වය ලැබූවේ, අර අපි කිව්ව එතදග්ග තනතුර ලැබූවේ, පදුමුත්තර බුදු පියාණන් වහන්සේ වෙතිත් ඊට නියත විවරණය ලැබූව නිසා ගෞතම බුද්ධ ශාසනයේ කෙටියෙන් දේශනා කළ සුත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කරන සංඝයා වහන්සේලා අතුරෙන් අග්‍ර තනතුර ලබනවා කියලා. ඒ වගේම සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් සඳහන් වෙන්නේ පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලබා ගත්තු කෙනෙක් කියල යම් කිසි විශේෂ කාරණයක් සම්බන්ධයෙන්. මොකක්ද ඒ? එතන සඳහන් වෙන්නේ ‘කල්‍යාණවාක්කරණානං’ - කල්‍යාණවාක්කරණ කියලා කියන්නේ යහපත් වාග් විලාසය ඇති. යහපත් වාග්විලාසය ඇතිව ධර්මය දේශනා කරන්න පුළුවන් සංඝයා වහන්සේලා අතර අග්‍ර තනතුරයි සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට ලැබුනේ. දැන් මේ පුංචි කතන්තරයේ නොකිවුවත් විනය පිටකය ආදී ඒ තැන්වල සඳහන් වෙනවා, ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ අනුමෝදන් වුනා පමණක් නොවෙයි සතුට ප්‍රකාශ කලා පමණක් නොවෙයි, සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේගේ දේශනාවට. ඒ කියන්නේ එතන සඳහන් වෙන්නේ ‘සරභඤඤ’ දේශනාවට. ‘සරභඤඤ’ දේශනාව කියලා කියන්නෙ හොඳ ගැලපෙන ස්වරයෙන්, මට සිලිටි ස්වරයෙන්, අර්ථය පැහැදිලි වෙන ආකාරයට නිදොස්ව ගලායන අන්දමින්, ඒ ධර්මය දේශනා කළ දක්ෂතාව. ඒ නිසා ‘කල්‍යාණ වාක්කරණ’ - යහපත් වාග් විලාසය ඇති - භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර තනතුර බුදු පියාණන් වහන්සේ මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේට දුන්නා. ඒ සම්මානය දුන්නා. එතකොට අන්න එයින් අපට හිතාගන්න පුළුවන් අර වරප්‍රසාදය, විශේෂ වරප්‍රසාදය ලැබුනේ, බුදු පියාණන් වහන්සේට ඕනෑකම තිබුණ මේ ගෝලයාගෙන් පාඩම් ගන්ට. උදෑසනම හරියට පාඩම් අරගෙන ඉවරවෙලයි සම්මානය දුන්නේ. ඉතිං ඒකට ඉඩ සැලැස්සීම වශයෙනුයි - අපිට හිතාගන්න තියෙන්නේ - බුදු පියාණන් වහන්සේ රාත්‍රිය ගත කරන්න ඒ සෝණ කුටිකණ්ණ ආගන්තුක ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ. ඒ වගේම අපට පේනවා එහෙම ඉඩ සලසා දුන්නේ ඒ සෝණ ස්වාමීන් වහන්සේ එක්ක රට තොට විස්තර කථා කර කර ඉන්න නෙවෙයි. ඒක අපට පැහැදිලි වෙනනේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ වැඩි කාලයක් එළිමහනේ භාවනාවේ වැඩ හුන්න. ඒ ආගන්තුක සෝණ ස්වාමීන් වහන්සේත් රාත්‍රියේ වැඩි කාලයක් එළිමහනෙ භාවනාවේ වැඩ හුන්නා. ඇවිල්ලා මධ්‍යම යාමයේ පමණයි සැතපුනේ. අන්න එයින් පේනවා එතකොට ඒ ආගන්තුක වුනු පමණට රට තොට කථා කර කර ඉන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂුවට අර විදියේ වරප්‍රසාදයක් දුන්නේ. උදෑසන නැගිටලා පාඩම් අරගෙන සුදුස්සට සුදුසු තැන දීමටයි. අන්න ඒ විදියට අපට ඒ කාරණයත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ එක්කම කියයුතු දෙයක් තමයි දැන් මේ සෝණ ස්වාමීන් වහන්සේගේ යහපත් වාග් විලාසය ගැන සූත්‍රයේ සඳහන් වෙන්නෙ මේ විදියටයි. ‘කල්‍යාණියා’ කල්‍යාණ කියන ඒ ප්‍රධාන වචනය සඳහන් වෙනවා එතන. යහපත් වචනයෙන්. විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා කියන වචන සඳහන් වෙනවා. ඒ කියන්නෙ, ‘විස්සට්ඨ’ හොඳට පැහැදිලි වචනෙන්. වචන හොඳට පැහැදිලි, නිදොස්ව ගලායන ඒ වගේම අර්ථය හඟවන, අර්ථය තේරුම් කරවන, අර්ථය හෙළි කරවන අන්දමිනුයි දේශනා කලේ. ඒ දේශනා ක්‍රමය ධර්මයේ හඳුන්වන්නෙ සරභඤ්ඤ කියලා. සරභඤ්ඤ දේශනා ක්‍රමය. නමුත් මතක් කළ යුතු කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ දක්වලා තියෙනවා ගීත ස්වරයෙන් ධර්මය දේශනා කිරීම ඇවැතක් හැටියට, වැරද්දක් හැටියට. ගීත ස්වරයෙන් - ඒ කියන්නෙ ඇදලා පැදලා ගීත ස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතු බව බුදු පියාණන් වහන්සේ විනය නීතියකින් පනවා වදාරලා ඒකේ ආදීනවත් පෙන්නුම් කරලා තියෙනවා. අනිෂ්ට විපාක. මොනවද අනිෂ්ට විපාක? පහක් හැටියට දක්වලා තියෙනවා. ‘මහණෙනි ඇදලා පැදලා ගීත ස්වරයෙන් ධර්මය දේශනා කිරීමෙන් මෙන්න මේ ආදීනව පහ තිබෙනවා. පළමුවෙනි ආදීනවය මොකක්ද? තමාමත් තමන්ගේ ඒ ස්වරයෙහි ඇලෙනවා. දේශකයාත් තමන්ගේ ගීත ස්වරයේ ඇලෙනවා. අනුනුත් ඒ ගීත ස්වරයේ ඇලෙනවා. අසන අයත් ඒ ගීත ස්වරයේ ඇලෙනවා. තුන්වෙනි කාරණය, තුන්වෙනි අනිෂ්ට විපාකය මොකක්ද? ගිහියන් අතර විචේනයක් ඇතිවෙනවා, හරියට අපි සංගීත පවත්වන්නා වගේ, ගීත ගායනා කරන්නා වගේ, ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයනුත් ගීත ගයනවා කියලා. හතරවෙනි කාරණය, අර සංගීතයේ, එහෙම නැතිනම් ගීතයේ, ගීත ස්වරයේ රටාවට ඕනෑවට වඩා සිත යැදීමෙන්, ඒකට ඇලුම් කිරීමෙන් සමාධිය බිඳෙනවා. යම් සමාධියක් හදාගෙන ආව නම් ඒක බිඳෙනවා අර ගීත ස්වරයට සිත යාමෙන්. පස්වෙනි කාරණය, අනාගත පරම්පරාව - ඒකට ’පශ්චිමා ජනතා’ කියන වචනය යොදනවා, පසුවට එන්න ඉන්න අය, අනාගත පරම්පරාව - වැරදි ආදර්ශයක් ඒයින් ලබාගෙන තමන් දුටු දේ අනුව මේක තමයි හරි වැඩේ කියලා ඒක අනුගමනය කරනවා, අනුකරණය කරනවා. අන්න වැරදි ආදර්ශයක් අනාගත පරම්පරාවට දීමක් වෙනවා. ඔන්න ඔය කාරණා නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ගීත ස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම අපි මේ සඳහන් කළ අට්ඨකවග්ගයේ තියන ඒ සූත්‍ර ගාථාමය සූත්‍ර. නමුත් ගාථාමය සූත්‍ර වුනාට ඒවා සංගීත හැටියට නොවෙයි අර සෝණ ස්වාමීන් වහන්සේ දේශනා කලේ. ඒ එක් එක් වචනය හරියට පැහැදිලිව උච්චාරණය කරමින් මට සිලිටී අන්දමින් ඊට ගැලපෙන ආකාරයෙනුයි. දැන් අපි දන්නවා හරියට අර්ථය ආරක්ෂා වෙන්න නම් - දැන් ධර්මය ගැන සඳහන් වෙන්නේ ‘සත්‍ථං සබ්‍යඤ්ජනං’ - බුදු පියාණන් වහන්සේගේ ධර්මය පවත්වාගන්න පුළුවන් වෙන්නෙ අර්ථ පක්ෂයත් ව්‍යඤ්ජන පක්ෂයත් දෙකම සැළකිල්ල යෙදුවොත් තමයි. අර්ථය කියලා කියන එක මේ පින්වතුන් දන්නවා, තේරුම බව. ව්‍යඤ්ජන කියලා කියන්නෙ මේ පින්වතුන් හිතන එක නෙවෙයි. ව්‍යඤ්ජන කියලා කියන්නෙ අකුරු. දැන් යම් කිසි දේශනාවක අර්ථ කියලා පැත්තක් තියෙනවා. ඊළඟට අකුරු - ඒකට අදාළ අකුරු පද ගැලපීම ආදිය. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා වැරදි විදියට අකුරු යෙදුවොත් අර්ථයත් විකෘත වෙනවා. ඒක නිසා දැන් සිංහල භාෂාවේ අපි හිතමු බොහෝ දෙනා ඔය ව්‍යාකරණ කාරයින් එහෙම පෙන්නුම් කරන නිදර්ශනයක් - ‘බෙනේක නයෙක්’ කියනවා වෙනුවට ‘බෙනේ කනයෙක්’ කිව්වොත් එතන අර්ථ දෙකක්. ඒ විදියට අර වචන, පද බෙදීම් ආදිය වරද්ද ගත්තොත් ඔන්න අර්ථයත් විකෘත වෙනවා. ඉතිං මේ අවුරුදු දාස් ගණනක් තිස්සේ බුද්ධ වචනය රැකගෙන ඒමට අත්‍යාවශ්‍ය දෙයක් තමයි අර්ථ පක්ෂයත් ව්‍යඤ්ජන පක්ෂයත් දෙකම රැකගැනීම. අර ගීත ස්වරයට ඉඩ දුන්නොත් වෙන්නෙ මොකක්ද? අර්ථය මැකිලා යනවා. අර්ථය මැකිලා යනවා සංගීතය පමණක් ඉතිරි වෙනවා. අන්තිමට ස්වර ටික විතරයි ඉතිරි වෙන්නේ. මුළු මහත් ධර්මයේම ස්වර ගොඩක්, එහෙම නැත්නම් හොඳ තාල ගොඩක් පමණක් ඉතිරි වෙනවා. නමුත් අතීතයේ නම් ඒ අර ගාථා ධර්ම පවා - දැන් මෙතන ගැඹුරු ගාථාමය සූත්‍ර රාශියක්. නමුත් ඒවා, අපිට හිතාගන්න පුළුවන්, සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ හොඳට උච්චාරණය කරන්න ඇති, ඒ පද හොඳට බෙදලා. දැන් පාලි භාෂාවේ නම් අල්පප්‍රාණ මහප්‍රාණ හේදයකුත් තියෙනවා. අල්පප්‍රාණ මහප්‍රාණ හේදයක්. ඉතිං සමහර විට මහප්‍රාණ ඇති වචනය අල්පප්‍රාණ කරලා කීවොත් එකෙ වෙන අර්ථයක්. ඒ වගේම වචන හරියාකාරව බෙදලා, අර වගේ පටලවා ගන්නෙ නැතුව. ඉතිං ගීත ස්වරයටම ඉඩ නොදී ‘සරභඤඤ’ කියලා කියන්නේ අන්න අර්ථයත් රැකෙන ආකාරයට, අර්ථය උද්දීපනය වෙන ආකාරයට, අර්ථය මතු කරදීමයි මේ. දැන් ගද්‍ය පද්‍ය කියන දෙක අතරේ යම් කිසි වෙනසක් තියෙන බව අපි දන්නවා. ගද්‍යයත්, පද්‍යයත් අතර වෙනසක් තිබෙනවා. නමුත් පද්‍යයේ අදහස මොකක්ද? එතන තියෙන තාලය, වෘත්තය උපකාර කර ගන්නවා අර්ථය උද්දීපනය කරන්ට. අර්ථය වඩාත් ප්‍රකට කරන්න. වඩාත් හිතට කාවද්දන්න. ඒ මිසක් අර්ථය මකා දාන්ට නොවෙයි. නමුත් සංගීතයට ඉඩ දුන්නොත් වෙන්නෙ කල්යාමේදී මොනවා කියනවාද දන්නෙ නෑ. අර සද්දෙට දේශකයත් ඇලෙනවා. ශ්‍රාවකයත් ඒකට ඇලෙනවා. අන්තිමට ඉතිරි වෙන්නෙ අර තිරිසනුන්ටත් අයිති ශබ්ද රසය විතරයි. ඉතිං ඔන්න ඕකයි ධර්මය ගැන කියනවා නම්. මේ පින්වතුනුත් ධර්ම රත්නය ගැන කථා කරනවා, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා. බණ පොතට වඳිනවා. ධර්ම දේශකයාට ලොකු ආසනයක් දෙනවා. මේ ඔක්කොම කරන්නෙ මොකද? අපට ධර්මය රැකගන්න ඕන. ධර්මයටයි බුදු පියාණන් වහන්සේ ගරු කලේ. බුදු වුනාට පස්සේ “මම කාටද ගරු කරන්නේ” කියලා කල්පනා කරලා බැලුවා. “කවුරුවත් නෑ මේ ලෝකේ මගෙන් ගෞරව ලබන්න.” අතීතයේ බුදුවරු කලේ මොකක්ද කියලා ඊළඟට අතීත බුද්ධ චාරිත්‍රය බැලුවා. ඒ හැම තථාගතයන් වහන්සේ කෙනෙක්ම කලේ ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින් වැඩ විසීම. ඉතිං අන්න ඒක නිසා තමයි මේ ශාසනයේ ධර්ම ගෞරවය පුද්ගල ගෞරවයට වැඩිය ලොකුයි කියන්නේ. ඉතිං ධර්ම ගෞරවය ඒ තරං වටිනා දෙයක් නම් ඔන්න ඔය කාරණයත් වැදගත් දෙයක් වෙනවා, ධර්මය ආරක්ෂා කර ගැනීමට. දැන් මේ කාලේ පත්පොත බහුල කාලේ, සමහර විට අපට ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි පොතක් පතක් ලියන කොට එකේ ශෝධ්‍යපත්‍ර කීප වරක්ම බලන්න වෙනවා. නමුත් අර හාණක පරම්පරා වශයෙන් කට වචනයෙන් මේක පවත්වාගෙන ආපු කාලෙ උන්වහන්සේලාට අන්න අර කියාපු ආකාරයට අර්ථයත් වචනයත් ඒ දෙකම රැකගන්ට - ‘සාඨං සව්‍යඤ්ජනං’ - අර්ථයත් ව්‍යඤ්ජනයත් කියන ඒ දෙපක්ෂයම රැකගෙන මේ ධර්මය පවත්වාගෙන එන්ට සිද්ධ වුනා. ඉතිං දැන් මෙතන හරියටම ගැලපිලා ඇවිල්ලා තියෙනවා, පුදුම අන්දමට. පාරමී ධර්ම ගැන හිතනකොට අපිට හිතාගන්න පුළුවන්, අර පදුමුත්තර බුදු රජාණන් වහන්සේ වෙතින් නියත විවරණය ලබා ගත්තා මහා කච්වාන මහ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මය සවිස්තරව දේශනා කිරීමේ දක්ෂයා හැටියට, ඉතාමත්ම දක්ෂ කෙනා හැටියට. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේම ගෝලයෙක් තමයි මේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ. ඒත් පදුමුත්තර බුදු රජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තා අර ධර්මය හරියාකාරව උච්චාරණය කරලා, යහපත් වාග් විලාශයකින් ඉදිරිපත් කිරීමට. ඒ දෙක හරියට ගැලපෙනවා. ඉතිං එහෙම පරම්පරාවලින් පවත්වාගෙන ආපු ධර්මයක් තමයි අපට තියෙන්නේ. ඒවායෙත් යම් යම් අඩුපාඩු කම් තියෙන්ට පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි රැකගන්ට උත්සාහ කරන්න ඕන අන්න අර කියාපු විදියට ගීත ස්වරයට තැන දෙන්නෙ නැතුව ‘සරභඤඤ’ ක්‍රමයට. ඒක ටිකක් තේරුම් කර ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකෙ ලක්ෂණ හැටියට තියෙන්නෙ වචන හරියට පැහැදිලිව, නිදොස්ව ගලායන අන්දමින් තියෙන්ට ඕන. රීළහට අර්ථය පැහැදිලි වෙන ආකාරයට. සමහර විට ඔය දැන් පිරිත් සූත්‍ර ආදි දේශනාවේදී සජ්ඣායනා ආදියේදී සමහරු දන්නෙත් නෑ මොකක්ද කියන්නෙ කියලා. හොඳ තාල මට්ටමක් යනවා. ඒ රටාව චිතරයි පිරිත් හැටියට අන්තිමට ඉතිරි වෙන්නෙ. නමුත් අර ගැඹුරු අර්ථ ඇති ඒ පිරිත්. අපි පිරිත් දේශනා කියලා කියන්නෙත් බුද්ධ වචනය, ධර්මය. පිරිත් පොතට ඇතුළත් වුණු පමණින්, ඒක සක්ඛායනා කිරීමට කිවු පමණට ඒක සිංදුවක් නොවෙයි. ඒ තුළ ගැඹුරු ධර්මයක් තියෙන්නෙ. කරණීය සූත්‍රය ගැන හිතලා බැලුවොත්, රතන සූත්‍රය ගැන හිතලා බැලුවොත්, මහා මංගල සූත්‍රය ගැන හිතලා බැලුවොත්, ඒ හැම එකකම එක එක ගාථාවක, එක එක වචනයක මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් ඒ වචනවල අර්ථය ගැන නොසලකා ඒක සක්ඛායනා වෙයි කිව්ව පමණට අපි ඒක සංගීතයක් කර ගත්තොත්, අන්න එතකොට ධර්ම රත්නයට එතන නිග්‍රහයක් වගේ දෙයක් වෙනවා. ඉතිං මේ කාරණාත් අපට කාලෝචිතව මතක් කරලා දෙන්ට සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ ගාථාවෙන් කියවෙච්ච කාරණයට හිත යොදලා බලමු. මොකක්ද ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ? මේ ලෝකයේ ආදීනව පක්ෂය. ඔන්න දැන් ටිකක් ගැඹුරු හරියටයි එන්නේ. දැන් අර සෝණ ස්වාමීන් වහන්සේ අර විදියට සරභඤඤ ක්‍රමයට ඒ ධර්මය දේශනා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා ඉවරවෙලා ඇහුවනෙ ප්‍රශ්නයක් “වස් කීයද?” කියලා. ඉතිං වස් ගණන කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. අන්න ඒ ප්‍රශ්නය මේ පින්වතුන්ටත් තම තමන්ගෙන් අහන්න තරං වටින ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නය? “මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ?” මොකද ඒකෙ තේරුම? මේ ගිහි ජීවිතයේ මෙච්චර ආදීනව දැක දැකත් මොකද මහණ නුනේ? මොකද මේ පියවර ගත්තෙ නැත්තේ? ඒ අවස්ථාවේ සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට දොස් කිව්වේ නෑ. “මම පැවිද්ද ඉල්ල හිටියා. මට පැවිද්ද දුන්නෙ නෑ.” ඒවා කිව්වේ නෑ. තමන්ගේ බැරිකම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මම දැක්කා මේ කාමයන්ගේ ආදීනව. දැක්කට මොකද, මේ ගිහි ජීවිතයේ තියෙන වැඩ කට්ටලය නිසා මට මේක පමා වුනා” කියලා උත්තර දුන්නා. සමහර විට මේ පින්වතුන්ටත් එහෙම කියන්න වෙන්න පුළුවන්. කොයි හැටි හෝ වේවා! දැන් අපි ඊළඟට මතු කරන්නේ අන්න අර කාමයන්ගේ ආදීනව පිළිබදව බුදු පියාණන් වහන්සේ ඒ ඒ තැන්වල දේශනා කළ කාරණා කීපයක්. ඒක ගැන අමුත්තක් හිතන්න නරකයි. ඇතැම් කෙනෙක් කල්පනා කරනවා ගිහි පින්වතුන්ට මේ කාමයන්ගේ ආදීනව ගැන කියන එක ගැලපෙන්නෙ නෑ. ඒක කියන්න ඕනෙ සංඝයා වහන්සේලාටයි කියලා. නමුත් සංඝයා වහන්සේලා කියලා කියන්නේ අර අහසින් වැටුනු අය නොවෙයි. අර සෝණ කුටිකණ්ණ උපාසක උන්නැහෙ වගේ ඉදලා තමයි අන්තිමට සෝණ කුටිකණ්ණ මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුනෙ. ඒක නිසා මේ පින්වතුන්ටත් ඒක උපකාර වෙන්න පුළුවන්. ඉතිං අපට කියන්න තියෙන්නෙ අන්න ඒ ආදීනව පක්ෂය ගැන කියන කොට, මේ පින්වතුන් සමහර විට අහලා ඇති වටිනා උපමා කථා බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා පෝතලිය ගෘහපතියාට. පෝතලිය සූත්‍ර නමින් දැක්වෙන ධර්ම කොට්ඨාශයක සඳහන් වෙන්නේ. පෝතලිය කියන ගෘහපතිය එක්තරා අවස්ථාවකදී තමන්ගේ සියලු ධනය දූ දරුවන්ට පවරලා දීලා, ඒ වැඩ කටයුතු, ව්‍යාපාරික කටයුතු යම් දේවල් තිබුණ නම් ඒවා ඔක්කොම අතහැරලා දාපු අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා. බුදු පියාණන් වහන්සේ විවේකීව වැඩ සිටින ස්ථානයකට, ගහක් යටට ආවහම බුදු පියාණන් වහන්සේ මේ ගහපතියාට ‘ගෘහපතියා’ කියලා ආමන්ත්‍රණය කලා. ඒකට හිත නරක් උණා. බලාපොරොත්තු වුනේ තමන් මේවා අතහැරලා තියෙන නිසා ඊට වඩා වටිනා වචනයක් කියයි කියලා. ගිහියෙක් හැටියට ගණන් ගන්නේ නෑ, කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ‘ගෘහ පතියා’ කියලා ආමන්ත්‍රණය කරලා. ඒකට තරහ ගියාට පස්සේ, අමනාප වුනාට පස්සේ, ඔන්න බුදු පියාණන් වහන්සේ දැක්වුවා හරියාකාරවම ඒ ගිහි ජීවිතය පිළිබඳ පටලැවිලිවලින් හිත මෑත් කර ගන්න නම්, මෙන්න මේ මේ කාරණා වලට සිත යෙදිය යුතුයි කියලා. ඒ අතර තමයි මෙන්න මේ උපමා හත තියෙන්නේ. අපි එක එකක් ගනිමු. කාමයන්ගේ ආදීනව පක්ෂය, ආදීනව කියල කියන අනිෂ්ට විපාක පක්ෂය ප්‍රකාශ කිරීමට බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා. පළමුවෙනි උපමාව - ඇට කැබැල්ලේ උපමාව. කතන්දරය කෙටියෙන් නමුත් අහලත් ඇති මේ පින්වතුන්. බුදු පියාණන් වහන්සේ මේ විදියටයි ඒක විස්තර කරන්නේ. ‘ගෘහපතිය, ඔන්න දැන් ගවයින් මරණ මඩුවක් ළහට ඇවිල්ලා බලාගෙන ඉන්නවා, ඉතාමත්ම බඩගිනි, කුසගිනි, ඇති බල්ලෙක්. බොහොම දුක්බිත පීඩිත බල්ලෙක් බලාගෙන ඉන්නවා. අර ගවයින් මරන්නා හෝ ඒ අතවැස්සා හෝ ඇට කැබැල්ලක් - ඒකේ තිබුණු මස් ඔක්කොම සුරලා දාලා, යම්තම් ලේ වැකිලා තියෙන එකක් - අර බල්ලා දිහාවට විසි කරනවා. අර බල්ලා ඒක හප හප ඉන්නවා. මොකද ගෘහපතිය, හිතන්නේ අර බල්ලාගේ, අර සුනඛයාගේ, ඒ කුසගින්න එයින් සන්සිඳේද? ’නැත ස්වාමීනි අන්තිමට වෙහෙසට පත් වෙනවා විතරයි’ අන්න ඒ වගෙයි, මතක තියාගන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාමයන් කියන ජාතිය ඇට කැබැල්ලකට උපමා කරලා තියෙනවා. මස් නැති, ලේ වැකුණු, යන්තම් ලේ වැකුණු ඇට කැබැල්ලකට උපමා කරලා තියෙනවා බොහෝ දුක් ආයාස කරදර ඇති දෙයක් කියලා. අන්න ඒ උපමාව බුදු පියාණන් වහන්සේ එතන වදාළා. ඊළඟට දක්වන උපමාව - එසේම ගහපතිය, ගිජු ලිහිණියෙක් හරි, කපුටෙක් හරි, උකුස්සෙක් හරි, මස් කැබැල්ලක් අරගෙන අහසට නගිනවා. ඕක දැකලා ගිජු ලිහිණි රැලක් හෝ කපුටු රැලක් හෝ උකුරස්සන් රැලක් හෝ අර සතා පිටිපස්සේ ලුහුබඳිනවා. ඉතිං ගෘහපතිය, ඔය අවස්ථාවේ අර ඒ ගිජු ලිහිණියා හෝ කපුටා හෝ උකුස්සා හෝ ඒ මස් කැබැල්ල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතුන් ඇනලා එක්කො මරණයට පත්වෙනවා. මරණය හා සමාන දුකකට හෝ පත්වෙනවා. අන්න ඒ විදියට මස් පිඬට උපමා කරලා තියෙනවා කාමයන් කියලා බුදු පියාණන් වහන්සේ ඒ උපමාව ආශයෙන් ඔන්න ඊළඟට කාරණය දක්වා වදාළා. මාංශ පේශියකට, මස් පිඩකට මේ කාමයන් උපමා කරලා තියෙනවා කියලා. ඊළඟට දක්වනවා තුන්වෙනි උපමාව. ඔන්න ගහපතිය, යම් කිසි කෙනෙක් දැල්වෙන තණ හුලක් අරගෙන උඩු සුළඟ පැත්තට යනවා. එතකොට අර සුළඟින් ඒ දැල්වෙන තණ හුල දැවීගෙන දැවීගෙන ගිහිල්ලා අර පුද්ගලයා ඒක අත හැරියේ නැත්නම්, අර තණහුල නියම වෙලාවට අත හැරියේ නැත්නම්, අර පුද්ගලයාට මොකද වෙන්නේ? අත හෝ බාහුව හෝ දැවිලා එහෙම නැත්නම් වෙන අඟ පසඟත් දැවිලා එක්කො මරණයට පත් වෙනවා, නැත්නම් මරණය හා සමාන දුකකට පත් වෙනවා. අන්න ඒ විදියට තණහුලට උපමා කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයන් කියල ඒ තුන්වෙනි උපමාව දෙනවා. ඊළඟට උපමාව දෙනවා - හතරවෙනි උපමාව. ඔන්න යම් තැනක තියෙනවා මිනිසකුගේ උහටත් වැඩිය ගැඹුරට හාරපු අඟුරු වලක්. එහෙම පිටින්ම දැවෙන මහා අඟුරු වලක්. ඔය අඟුරු වලක් තියෙන තැනකට එනවා, ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති මනුෂ්‍යයෙක් - අසරණ මනුෂ්‍යයෙක් එනවා, ඔය තැනට. හොඳට හයිය ශක්තිය ඇති ශක්තිමත් දෙන්නෙක් අර පුද්ගලයාගේ අත දෙකෙන් ඇදගෙන යනවා අඟුරු වල දිහාවට. ඒ වෙලාවට මොකද අර පුද්ගලයා කරන්නෙ? අර අසරණ මනුෂ්‍යයා ඒ අතට මේ අතට ඇඹරෙනවා. මොකද එහෙම ඇඹරෙන්නේ? ඔන්න ඊළඟට පෝතලිය ගෘහපතියා කියනවා ‘භාග්‍යවතුන් වහන්ස, ඒ පුද්ගලයා දන්නවා මේකට වැටුනොත් එක්කො මරණය එහෙම නැත්නම් මරණය හා සමාන දුකකට පත්වෙනවා කියලා’. අන්න ඒ විදියට හිතාගන්න කියලා පෝතලිය ගෘහපතියාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ විසින් අඟුරු වලකට උපමා කරලා තියෙනවායි මේ කාමයන් කියලා. ඊළඟට ඔන්න පස්වෙනි උපමාව දෙනවා. කෙනෙක් රාත්‍රියේ හොඳ හීනයක් දකිනවා. ඉතාමත්ම රමණීය උයන් වතු, රමණීය භූමිභාග, රමණීය පොකුණු, රමණීය කෙත්වතු. ඕවා දැක දැක ඉන්නවා හීනෙන්. හීනෙන් නැගිට්ට හැටිය බලන කොට ඒ මොකක්වත් නෑ. අන්න ඒ වගේ මේ කාමයන් සිහිනයකටම උපමා කරලා තියෙනවා කියලා මතක තියාගන්න කියලා පෝතලිය ගෘහපතියට කිව්වා. ඔන්න ඊළඟට දෙන උපමාව. ඔන්න යම්කිසි කෙනෙක් - අපි හිතමු මඟුල් තුලා ආදී විශේෂ කටයුත්තක් සඳහා විශේෂයෙන් සැරසිලා යන්න තියෙන කෙනා මොකද කරන්නේ? පිරුවට ඉල්ලා ගන්නවා. ඇඳුම පැළදුම, වෙන එකක් තබා යාන වාහන පවා. ඒ හැම එකක්ම පිරුවට කෙනෙක් ඉල්ලා ගන්නවා, ණයට. මේ මේ අපට අහවල් දවසේ මේ විදියේ කටයුත්තක් තියෙනවා. මේක දෙන්න පුළුවන්ද? ඔය ඇඳුම දෙන්න පුළුවන්ද? සපත්තු කුට්ටම දෙන්න පුළුවන්ද? කියලා ඔහොම ඉල්ල ගන්නවා. ඉල්ලෙගෙන ඔන්න කඩ වීදියේ අර ඔක්කොගෙන්ම සැරසිලා, අර ඔක්කොම අනුන්ගෙන් ඉල්ලාගත්ත ආහාරණත් දාගෙන ඇදුම් පැළදුම්ත් ඇඳ පැළදගෙන, අර අනුන්ගෙන් ඉල්ලාගත්තු රථයේ හොඳට ඡේත්තුවට යනවා. ඔය විදියට ඒ යන අතරේ අර මනුෂ්‍යයින්, නගරේ මනුෂ්‍යයින් කියනවා, “මේත් ඉතිං ඉතාම ධනවත් කෙනෙක් වෙන්න ඕන. ඔහොම තමයි පොහොසත් අය තමන්ගේ පොහොසත්කම පෙන්නන්නේ” කියලා. බොහොම හොඳයි කියලා. එක එක අය දකින අය සතුට ප්‍රකාශ කරමින් ඉන්න අතරේ අරව දුන්න එක්කෙනා ඇවිල්ලා, ‘මේ අපට හදිසි කාරණයක් තියෙනවා. ඔය ඇඳුම් ටික අපට දෙන්න, ඔය සපත්තු කුට්ටම දෙන්න, මේ වාහනය අපට ඕන.’ කියලා ඔය විදියට අරවා එතනදීම ඉල්ලා ගන්නවා. එතකොට අර මනුෂ්‍යයාට මොකද වෙන්නෙ? තමන් අර හොඳට පොහොසතෙක් වගේ පෙනී සිටියත් ඒ ඔක්කොම ඔහුට එතනදීම නැතිවුනා. ඒ උපමාව දීලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාළා “අන්න ඒ වගේ හිතාගන්න ගෘහපතිය මේ කාමයන් ‘පිරුවට ගත්තු දෙයක් වැනියි. ඉල්ලා ගත්තු දෙයක් වැනියි.’ ඒ උපමාව. ඊළඟට දක්වන උපමාව මොකක්ද? ඔන්න ගමක් කිට්ටුව ඝන වනරොදක තියෙනවා ගහක්. අපි හිතමු - අඹ ගහක් වගේ ගෙඩි හැදෙන ගහක්. ඉතිං ඒ ගහේ ගෙඩි හොඳට හැදිලා තියෙනවා. හොඳට පළතුරු තියෙනවා. නමුත් එකක්වත් බිම වැටිලා නෑ. ඔතෙන්ට එනවා යම් කිසි කෙනෙක් අර කියාපු ගෙඩි හොයාගෙන. අපි හිතමු අඹ ගෙඩියි කියලා. ඒ අඹ සොයමින් එනවා කෙනෙක්. දකිනවා මේ ගහේ අඹ තියෙනවා. බිම එකක්වත් නෑ. නමුත් මට ගහට නගින්න පුළුවන් කියලා ගහට නගිනවා. නැගලා ගහේදීම අඹ කමින් ඔඩොක්කුවටත් පුරවා ගන්නවා අඹ ගෙඩි. ඔහොම පුරවමින් ඉන්න අතරේ තව කෙනෙක් එනවා. ඒත් අඹ සොයමින්. එයාගේ අතේ කෙටේරියක් තියෙනවා. තියුණු කෙටේරියක්. ගෙඩි මුකුත් වැටිල නැහැ. ඒ වගේම මෙයාට ගහට නගින්න තේරෙන්නෙ නෑ. ගහට නගින්න දන්නෙ නෑ. ඉතිං කල්පනා කරනවා මේ ගහේ අඹ තියෙනවා, මගේ අතේ කෙටේරිය තියෙනවා. මට ගහට නගින්න බෑ. ඉතිං කරන්නේ මට මේ ගහ කපලා ඕන හැටියට ගෙඩි අරගෙන ඔඩොක්කුවත් පුරවගෙන යන්නයි කියලා ගහ කපන්න පටන් ගන්නවා. එතකොට මොකද ගෘහපතිය හිතන්නේ? අර කලින් ගහට නැග්ග කෙනා ඉක්මණින් ගහෙන් බැස්සේ නැත්නම් මොකද වෙන්නේ? ගහ වැටෙන කොට ඒ පුද්ගලයා ගහත් එක්කම වැටිලා අතක් පයක් කැඩෙනවා. එහෙම නැත්නම් ජීවිතයම නැතිවෙලා යනවා. එහෙම නේද කියලා කිව්වහම ගහපතියා, එසේය කියලා කියනවා. ගහපතියා ඒ විදියට පිළිතුරු දෙනවා. ඔන්න ඔය විදියට උපමා හතක්ම බුදු පියාණන් වහන්සේ දැක්වා වදාළා. මේ එක එක උපමාවක ගැඹුරු අර්ථය - මේ පින්වතුන්ට පවා එදිනෙදා ජීවිතයේදී අහන්න ලැබෙන පුවත් වල, ප්‍රවෘත්ති වල, බරපතල අපරාධ සාතන දිවි හානි කර ගැනීම් ඒ හැම එකකම, මූලධර්මය මේ උපමා තුළ තියෙනවා. දැන් ඒ එක් එක් උපමාව අපි කෙටියෙන් සලකා ගත්තොත්, මෙතන පේනවා පළමුව අපි කිව්වේ අර ඇට කැබැල්ලේ උපමාව. එතන ඒ බල්ලා, ඒ විසි කළ ඇට කැබැල්ලේ යම්තම් ලේ වැකිලා තියෙන නිසා ඒක හපනවා. හපන අතරේ සමහර විට හක්කෙන් එන ලේයි ඒ ආහාරය හැටියට ගන්නෙ දන්නෙම නැතුව. ඉතිං ඒ විදියට ඒ කාමයන්ගේ හැටි එතනින් පෙන්නුම් කරන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. “අප්පස්සාදා දුඛා කාමා” කියලා කාමයන්ගේ ආස්වාද පක්ෂය ටිකයි - ආස්වාද නැතිව නෙවෙයි. ආස්වාද කියලා කියන්නෙ රස විඳීම. රස විඳීම කියලා කියන එක නැතෙයි කියලා කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඒක කිව්වා කියලා සමහර විට දොස් කියන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා, ආස්වාද පක්ෂයක් තියෙනවා. නමුත් ඒක ටිකයි. ‘බහු දූඛා’ දුක්පක්ෂය වැඩියි. ආස්වාද ටිකයි, දුක් පක්ෂය වැඩියි. ඉතිං අර බල්ලත් ඒ ලේ වැකුනු ඇට කැබැල්ලේ ලේ ටික ලෙව කෑවා. ඉතිං එතනින් නැවතුනෙ නෑ. ඊළඟට තියෙන්නේ දුක් ගොඩක්. ඒ උපමාව. ඊළඟට ඒ වගේම තමයි මාංශ පේශී උපමාව. ඒකත් ටිකක් හිතලා බලනකොට දැන් කාමයන් කියලා කියන්නෙ කැමති දේ. තමන් කැමති දේට තව කී දෙනෙක් කැමතිද? ඒතකොට ඒ තමන් කැමතිදේ අයිති කරගන්න යනකොට ඒකටම කැමති තව කී දෙනෙක් එක්ක සටන් කරන්න වෙනවද? ඔය ප්‍රවෘත්ති ඉතිං මේ පින්වතුන් එදිනෙදා ජීවිතයේ අත් දැකපු දේවල් ධනය පිළිබදව බැලුවත්, පුද්ගලයින් පිළිබදව බැලුවත්. ඒ මස් පිඬ අර එක ගිජු ලිහිණියෙක් අරගෙන අහසට නගිනවා. කීදෙනෙක් පස්සෙන් ඇවිල්ලා කොටනවද? ධනය පිළිබඳවත්, අනිත් දේවල් පිළිබඳවත් ඒ න්‍යාය තේරුම් ගන්න පුළුවන්. ඉතිං ඒ වගේම තමයි අර ගිනිහුළ පිළිබඳ උපමාව. දන්නෙම නැතිව අත දැවෙනවා. ඒකෙ අවදානම් බවයි එතන පෙන්නුම් කරන්නේ. කාමයන්ගේ අවදානම් බව. ඊළඟට ඒ වගේම අඟුරු වලේ උපමාව. ඒක ඇදිලා යනවා පුදුම විදියට. නමුත් දන්නවා තමන් විපතට පත් වෙන බව. විපතට පත්වෙන බව දන්නවා. නමුත් ඔහේ ඇදිලා යනවා, අඟුරුවලකට ඇදිලා යන්නා වගේ. රීළහට අර සිහින ස්වභාවය. එයින් පෙන්නුම් කරන්නේ කාමයන්ගේ හිස් බව, නිස්සාර බව. හීනෙන් දුටුවා හොඳ ලස්සන නොයෙකුත් විදියේ දර්ශණ. අන්තිමට නැගිට්ටට පස්සේ ඒ එකක්වත් නෑ. එකක්වත් නෑ. අවට තියෙන්නෙ අන්ධකාරය විතරයි. රාත්‍රි අන්ධකාරය විතරයි. අන්න ඒ වගේ තමයි කාමයනුත් කියලා, ඒවායේ නිස්සාර බව, හිස් බව, ශුන්‍ය බව, රවටන සුළු බව, ඒ ඔක්කොම එතනින් කියවෙනවා. ඊළඟට අර ණයට ගත්තු දේ, පිරුවට ගත්තු දේ, පිළිබඳව. ඒකත් මේ පින්වතුන්ට ඇත්ත වශයෙන්ම එදිනෙදා ජීවිතයේ අත්දකින්න ලැබෙන දේවල්. මඟුල් තුලා ආදියක් ආපුවම කී දෙනෙකුට පින්සෙන්ඩු වෙලාද ඒවා අවශ්‍ය දේවල් ලබාගන්නේ, තමන්ට ඒවට ධනය නැති වෙනකොට. එහෙම ඉල්ල ගත්තු දේ ‘කොයි වෙලාවේ මේවා ඉල්ල ගනියිද, මේවා පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් මට ගෙවන්න වෙනවා නේද, වන්දි ගෙවන්න වෙනවා නේද’ කියලා බොහොම බයෙන්. ඉතිං කොහොම හරි ඡායාරූපය ගන්න තුරු ඒ ටික පරිහරණය කරනවා, බොහොම පරිස්සමින්. ඊටකලින් ඉල්ලා ගන්න ආවොත් ඔන්න ඒතකොට ඒකත් ඉවරයි. ඔය විදියටයි දැන් මඟුල් තුලා ආදී ඒ කටයුතු. ඉතින් මේ හැම එකක් තුළින්ම අපට පේනවා, වැඩිය නිදර්ශන අවශ්‍ය නෑ. මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්, අන්න බුදු පියාණන් වහන්සේ දීපු උපමා කොයි තරම් ගැලපෙනවද කියලා. අනුන්ගෙන් ඉල්ලාගත්තු දෙයක්, ණයට ගත්තු දෙයක්, පිරුවට ගත්කු දෙයක් වගෙයි කාමයන් කියන එක. ඊළඟට අර ගහ පිළිබද උපමාව. එතන ඇත්ත වශයෙන් කියන්නෙ ගහේ ගෙඩි. ගහේ ගෙඩියි එතන උපමාවට දාල තියෙන්නේ. ගහේ ගෙඩි තියෙනවා නමුත් ඒ ගෙඩි භුක්ති විඳින්න වෙන්නේ දෙයාකාරයකට. එක් කෙනෙක් නියම ආකාරයෙන් නැගලා, නියම ආකාරයෙන් ඒ ගෙඩි භුක්ති විදින්න උත්සාහ කරනවා. එහෙම භුක්ති විඳින අතරේ අනියම් ආකාරයෙන් ගහ කපලා ගෙඩි ලබාගන්නත් තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔය දෙන්නා අතර තියෙන හටන තමයි ඔන්න ඊළඟට දැක්වෙන්නේ. ඔය විදියට කාමයන්ගේ ආදීනව ගැන බුදු පියාණන් වහන්සේ දුන්නු ඒ උපමා එදිනෙදා ජීවිතයේ තමන්ට දකින්න ලැබෙන, අහන්ට ලැබෙන, අත් දකින්න ලැබෙන සිද්ධි ආශ්‍රයෙන් මේ උපමා ගැන හිත යොදවන කොට අන්න ලොකු ගැඹුරු සසර කලකිරීමක්. සසර කලකිරීම කියන වචනයට මේ ධර්මයේ දැක්වෙන්නෙ ‘නිබ්බිදා’ කියලා. දැන් මෙතන කියවුනා ‘ආදීනව’ කියලා ආදීනව කියලා කියන්නෙ පංච කාම සම්පත්තියේ ඇති අනිෂ්ට ස්වභාවය, අනිෂ්ට විපාක. ඒවා දකින කොට කෙනෙකුට සසර කලකිරීම ඇතිවීම ස්වාභාවික දෙයක්. ඒක බය විය යුතු දෙයක් නොවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ලෝකයේ යථා තත්ත්වය කෙනෙකු දකිනවා නම් ඒ දැකීම නිසාම කෙනෙකුට ලෝකය ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. කුඩා දරුවකු කොයි තරම් ආසාවෙන් යම්කිසි ඇඳුමක් ගත්තත්, ශරීරය වැඩෙන කොට අර ඇඳුම ආරක්ෂා කර ගන්න ශරීරයේ කොටස් කපන්නෙ නැහැ නේ. එතකොට ඒ ඇඳුම ඉවත් කරනවා. ඊළඟට ඒකට ගැලපෙන ඇඳුමක් අඳිනවා. ඒ විදියේ දෙයක් තමයි මේ ගිහි ජීවිතයේ ඉදලා පැවිදි බව කරා යන ගමන. ඒක නිසා කිසිම කෙනෙකුට මේකට දොස් කියන්න බෑ ගිහි පින්වතුන්ට ආදීනව ගැන කියන්න හොඳ නෑ. හිතන්න හොඳ නෑ. ගිහි ජීවිතයේ සැප සම්පත් පිළිබදව විතරක් හිත හිතා ඉන්න ඕන කියලා එහෙම කියන්න නරකයි. මොකද, ඒක වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මය විවෘත ධර්මයක්. ඉතිං ඒක නිසා මේවා ගැන හිතනකොට ඔන්න මේ පින්වතුන්ට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒ තුළින් දකින්න පුළුවන් වෙනවා. විදර්ශනාව කියන්නෙ එතන තමන් අත්දකින දෙයක්. විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවන බව අප දන්නවා. ඒක නිසා ඒ දැකීමට නම් අන්න තමන්ගේ අත් දැකීම හා අවට දකින්ට ලැබෙන නිදර්ශන ආශයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ වචනය කොයි තරම් සත්‍යද කියලා මෙනෙහි කරන්ට ඕන. ඒ මෙනෙහි කරනකොට තමයි ඇතුළතින් තේරෙන්නෙ මෙච්චර කාලයක් කලේ මේ මෝඩකම නේද? අන්න අර බුදු පියාණන් වහන්සේ අසපු ප්‍රශ්නය එතන. අපි අර කිව්වේ, මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් කළේ අන්න අර සංසාරය වඩන එක. ඒකට තමයි අපි අර වෙන අවස්ථාවල ප්‍රකාශ කලේ, ලෝක වර්ධන ශුසාන වර්ධන ප්‍රතිපත්තියේ ගමන් කිරීම කියලා. ලෝක වර්ධනයක් වෙන්න එපා. සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා අපි ප්‍රකාශ කරන්නෙ එකයි. මෙතෙක් කලේ ලෝකයන් වැඩුවා. සොහොන් වැඩුවා. ඇට සැකිලි වැඩුවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා, ලෝකයෙන් එතෙර වීම. මේ පංචස්කන්ධ ලෝකයෙන් එතෙර වීම. මේක දුකක් බව. එතකොට අන්න ඒ ටිකයි ඊළඟට අර ගාථාවේ කියවෙන්නේ. ගාථාව ඉතාම සරල එකක්. නමුත් ඉතාම ගැඹුරු අර්ථ රාශියක් එතන කියවෙනවා. ‘දිස්වා ආදීනවං ලෝකෙ’ - ලෝකයේ ආදීනව පක්ෂය දැකලා, ‘ඤත්වා ධර්මමං නිරූපධිං’ - ‘නිරූපධි’ කියලා එතන ඒ වචනය යොදලා තියෙන්නේ නිවනටයි. ටිකක් ගැඹුරු වචනයක්. තේරෙන මට්ටමකින් කිව්වොත් උපධි කියලා කියන්නෙ කෙනෙකුගේ මමත්වය රඳාපවතින වස්තු ආදියට. එදිනෙදා ජීවිතයේ උපධි කියන එක බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නෙ - ඔන්න අපි හිතමු දරුවන් ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. එක්තරා අවස්ථාවක මාරයා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අභියෝගයක් ඉදිරිපත් කලා. පුත්‍රයන් ඇති කෙනා පුත්‍රයන් නිසා සතුටු වෙනවා. ගවයන් ඇති කෙනා තමන්ගේ ගව රැල ගැන හිතලා සතුටු වෙනවා. එහෙම ප්‍රකාශ කරලා කියනවා. අන්න අර කියාපු උපධි වස්තු ආදිය, තැන්පතු ආදිය, දැන් මේ කාලේ වචනෙන් කීවොත් තැන්පතු වස්තු ඒ හැම එකක්ම උපධි නමින් හඳුන්වෙනවා. එතකොට අර සචේතනික හෝ අචේතනික වස්තු සම්භාරයම තමයි උපධි හැටියට සලකන්නේ. ඒවා නැති කෙනා සතුටු වෙන්නෙ නෑ කියලයි මාරයා කියන්නෙ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකම අතිත් පැත්තට හරවලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කලා ‘සොවති පුත්තෙහි පුත්තිමා’ දරුවන් ඇති කෙනා දරුවන් නිසා ශෝක වෙනවා. අන්තිමට දුකට පත්වෙනවා. දරුවන් සළකන්නේ නැති වුනහම, දරුවන් මරුවන් බවට පත්වුනහම, එක්කො දරුවන් අකාලයේ මිය ගියහම ඔන්න ඒතකොට ශෝකයට පත්වෙනවා. ඉතිං ඒ වගේම ගවරැල. ගවරැලට කරදරයක් වුනහම, විනාශයක් වුනහම ඒකට තැවෙනවා. ඒ විදියට ගවරැල හැටියට මෙතන දක්වලා තියෙන්නේ අර කියාපු වස්තු සම්භාරය, තැන්පතු. ඉතිං ඔය ඔක්කොම දුකක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ. ඒක නිසා ‘උපධි හි නරස්ස සොවනා’ - ‘න හි සො සොවති යො නිරූපධි’ ඒ උපධීන් නැති කෙනා තමයි ශෝකයට පත් නොවෙන්නේ කියලා. අන්න එතන කියාපු උපධි සංකල්පය අනුවයි අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ නිවනට නිරූපධි කිව්වේ මොකද කියලා. නිරූපධි කියලා කියන්නෙ අන්තිම පරිච්ඡේදයෙන්, අවසාන වශයෙන්, බලන කොට අපි මේ සංසාරයේ කරලා තියෙන්නේ උපධි ගොඩ ගසා ගැනීමක්. තැන්පතු ගොඩගසා ගැනීමක්. ඔය වස්තු ඉඩකඩම් ධන ධාන්‍යාදිය පමණක් නොවෙයි ගැඹුරින්ම කල්පනා කරලා බලනකොට එකතු කරගත්තු උපධි තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා කියන මේ පඤ්චුපාදානස්කන්ධ කියලා කියන ඒව. උපාදාන කියන වචනයක් තිබෙනවා. උපාදාන කියන්නේ අල්ල ගන්නවා, එල්ලෙනවා කියන එක. යමක එල්ලිලා ඉන්නවා එහෙම නැත්නම් අල්ලගෙන ඉන්නවා. උපදි කියලා කියන්නෙ යමක් මත සිටිනවා. ඒ දෙකම බොහෝ විට එක සමාන දෙයක්ම වෙන්න පුළුවන්. ඒක දෙපැත්තකින් ඒ කාරණය දිහා බැලීමක්. යමක් එල්ලී සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තුවෙන්. යමක් මත රඳා සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තුවෙන්. ඉතිං අර රූප වේදනාදි පඤ්චස්කන්ධයෙ තණ්හාව නිසා එල්ලිලා සිටින කියන අදහසින් තමයි පඤ්චුපාදානස්කන්ධ කියලා කියන්නේ. උපාදාන ගොඩක්, උපාදාන ගොඩවල් පහක්. ඒවම හඳුන්වන්න පුළුවන් උපධි හැටියට. මොකද ඒවා ‘මේ මගේ රූපයයි’ ‘මේ මගේ වේදනාවයි.’ ආදී වශයෙන් මමත්වයක් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගන්න කොට ඔන්න ඒක උපධි වෙනවා. ඉතිං ඒවයින් මිදුනු අවස්ථාව ‘සබ්බුපදි පටිනිස්සග’. සබ්බුපදි පටිනිස්සගග කියන වචනයක් යොදනවා නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. සියලුම උපදීන් අතහැර දැමීම කියන කොට දැන් අර ගෘහපතියා කළා වගේ තමන්ගේ වස්තුව දූ දරුවන්ට පවරලා දීලා ඒ කර්මාන්ත වලින් ව්‍යාපාර වලින් ඉවත්වුණු පමණට ‘නිරූපධි’ වෙන්නේ නෑ. මේ හිතේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන මෙතෙක් සංසාරේ ගොඩගසාගෙන ආපු මේ පංචස්කන්ධයත් අතහරින්න වෙනවා. ඒක අතහරින්න වෙන්නෙ අර කියාපු මාර්ගඵල අවස්ථාවේදියි. ක්‍රම ක්‍රමයෙන් විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුළින් මේ රූප වේදනා ආදියෙහි අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, ශුන්‍ය ස්වභාවය, හිස් බව, මේක හරි හැටි තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවේදී ඉබේටම ගිලිහෙනවා. එපා කමක් ඇතිවෙනවා. එපා කමක් ඇතිවෙලා අර තමන්ගේ කරේ හදිස්සියේ එල්ලපු මළකුණක් වගේ මේක තල්ලුවෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි අන්න මාර්ගඵල ප්‍රත්‍යක්ෂය ලැබෙන්නෙ, ඕකටයි නිවන කියන්නෙ. ඒක තමයි ලෝකම සැනසීම කියලා කියන්නේ. බර බිම තැබුවා කියලා කියන්නෙ ඕකටයි - පංචස්කන්ධ භාරය බිම තැබුවා කියලා කියන්නේ. ඔන්න ඔය නිවන කරා යන ගමනයි, මේ පින්වතුන් අද දවසේ මේ ශීල සමාදාන ආදියෙන්, ධර්ම ශ්‍රවණ ආදියෙන් මේ කරන්නෙ. ඉතිං කල්පනා කරන්න ඕන අද මේ ධර්ම දේශනාව අපි සාමාන්‍යයෙන් - ඒක බුද්ධ දේශනාවට අදාළ දෙයක් - සරල අන්දමින් පටන් ගත්තට සමහර විට ක්‍රම ක්‍රමයෙන් මේක ගැඹුරු වෙනවා. ඒ හැම එකක් ගැනම මේ පින්වතුන් කල්පනා කරලා තමන්ගේ පරමාර්ථයට ගැලපෙන ආකාරයට මේ අපි දේශනා කරන කාරණා තමන්ගේ ජීවිතයට ළංකරගෙන හැකි තාක් ඉක්මණින් මේ ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සංසාර දුකින් අත්මිදිලා, අර කියාපු ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් මිදිලා, මේ ලෝකය කෙළවර කරන, ලෝකයෙන් එතර වෙන, ඒ ලෝකෝත්තරවූ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ උතුම් නිර්වාණාමෘතය ලබාගැනීමට - සෝවාන්, සකදාගාමී අනාගාමී, අර්හත් කියන මාගීඵල ප්‍රතිවේධයෙන් ඒ උතුම් නිර්වාණ නිරූපධි තත්ත්වය ලබා ගැනීමට - මේ අද දින රකින ලද ශීලය, කරන ලද භාවනාව, මේ අසන ලද සද්ධර්මය හේතු වාසනා වේවා, උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගන්න. දැන් එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරය ඒ තම තමන් නමින් නෑසී මිය පරලොව ගියාවු යම්තාක් ඥාතීන් වෙත්නම් ඒ ඥාතීනුත් ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම රාජ්‍යාණන් වහන්සේලා ඇතුළ සමස්ත දෘෂ්ටික දෙවි දෙවතාවුනුත් අනුමෝදන් වී අවීචියේ සිට අකනිටා දක්වා වූ සියලු සත්ත්වයින් අනුමෝදන් වී හැකිතාක් ඉක්මණින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්න. ‘එත්තාවනා ච අම්හේහි…………..’